අකාල ප්‍රේම

April 19, 2017 | 5:00 pm    0   286

අකාල ප්‍රේම

කල්පට ඇනීටා හමුවුණේ අහම්බෙනි. දුටුදාම ඔහු ඇයට පෙම් බැන්ඳේය. ඒ හරි හැටියට ඈව හඳුනාගෙනවත් නොවේ. කොටින්ම ඇගේ ජාතිය, ආගම තබා ජීවන පැවත්ම ගැනවත් අවබෝධයක් ඇතිව නොවේ. ඔහුගේ වෑයමේ ප්‍රතිඵලයක් ලෙස ඇනීටා කල්පට තම කුළුදුල් ආදරය පුද කළාය. ඔහු යහපත් ගතිගුණ සහිත තරුණයෙකැයි ඇයට සිතුණ බැවිනි ඒ. මෙසේ තවත් ආදරවන්තයින් යුවළක් තමන්ගේ “ප්‍රථම ප්‍රේමය” සොඳුරු අන්දරයක් ලෙස ගෙත්තම් කරන්නට පටන් ගත්තේය.

දෙදෙනාටම එකිනෙකා ගැන නිවැරදි අවබෝධයක් ලැබෙන්නට වූයේ ආදරය දළු ලා වැඩෙද්දීය. කෙසේ වුවද, අත්විඳින සියලු සිත් නෝක්කාඩුවීම් තුළ ජීවත් වෙමින් නොසැළී සැබෑ පෙම්වතුන් ලෙස කාලය ගෙවීමට තරම් අවැසි මානසිකත්වයක් ඔවුන් දෙදෙනාම සතුව තිබුණේය. ඉතා සංවේදී තරුණයෙකු වූ කල්ප සැළකිය නොයුතු සිද්ධින්හිදී පවා සිත රිදවා ගන්නේය. නොඉවසිලිවන්තකමින් ක්ෂණයෙන් කිපෙන්නේය. ඔවුනට අදාළ නොවූ කරුණක් අරබයා සිත පාරා ගත්තේ වුවද ඔහුගේ කේන්තිය පිටවන්නේ අහිංසක ඇනීටාගේ පිටිනි. ඈ සියලු සිත් වේදනාවන් සිනහවෙන් ඉවසන්නීය. සමහර දිනක සිනාවෙන් වත සරසාගෙන සිටින ඇගේ දෙනයන කඳුළුවලින් පිරී යයි. කල්ප ඈ ගැන හොඳින් දනී.

පවුලේ කටයුතුත් රැකියාවේ වගකීමත් බරෑරුම් වෙද්දී ඔහු ටිකෙන් ටික ඇගෙන් දුරස් විය. එසේ වීමට සැබෑ හේතුව දන්නේ කල්පගේ මනෝභාවයම පමණි. එහෙත් ඇනීටා සිතූ ලෙස එය තෙවැන්නියකගේ ආගමනයක්ද? ආදරය පුදුම ආකාරයේ සම්බන්ධතාවකි. අන්‍යෝන්‍ය බැඳීම වැඩි වන තරමටම සැකයද වැඩිවේ. එකෙක් අනෙකා අත හැරීමට තිබෙන අකමැත්ත නිසාය ඒ. සැබෑ ආදරය තුළ සැකය ගැබ්ව නැතැයි පොදුවේ ගෙන හුවා දැක්විය නොහැකිය. ආදරය යනු සැකය නමැති ගිනි පුපුර වසාගෙන සිටින සිවියයි. එක අතකට උනුන් ආදරයෙන් තව තවත් බැඳ තබන්නේද සැකයමය. එහෙත් පොඩි හිඩැසක් ඇති වූ කළ වහ වහා ආදරය දෙදෙරා යන්න තුඩු දෙන්නේද සැකයමය.

කල්පගේ මනෝ විප්ලවයට විෂයය වන්නේ ඇනීටා පමණක්ම නොවේ. තවත් බොහෝ අය සිටිති. එහෙත් ආදර අන්දරයට ඉන් එල්ලවූ පහර නිසා කාටත් මාතෘකාව වූයේ ඇනීටාය. අම්මා මියැදෙමින් සිටින්නේ යැයි කල්ප සිතයි. එම සිතිවිල්ල ඔහුට ළඟා කරදෙන්නේ දැඩි කනස්සල්ලකි. අම්මා වෙනුවෙන් ඉටු කිරීමට තවත් බොහෝ යුතුකම් ශේෂව ඇතැයි ඔහුට සිතේ. සමාජයට වැඩදායි පුද්ගලයෙකු බවට තමා පත්කරලීමේ බර මුළුමනින්ම දැරුවේ අම්මා බව ඔහු සැමවිටම සිහියට නංවා ගන්නේ කෘතවේදීවය. තාත්තා මියැදුණු දින පටන් අම්මා විඳි දුක ඔහුට සිහිපත් වනවිට අම්මා හැර ඔහුගේ ලෝකය තවත් අයෙක් සිටිය හැකි නොවෙතැයි ඔහුට හැඟේ. ඇනීටා ඔහුගේ ලෝකයෙන් දුරස් කරලන්නේ ඔහුගේ මේ මානසිකත්වයමය.

කල්පගේත් ඇනීටාගේත් ප්‍රථම ප්‍රේමය අකාල ප්‍රේමයක් වූයේ කාගේ වරදින්ද? වැරදිකරුවෙක් නොසිටී නම් වැරදිකරුවා “කාලය” ද? අම්මා, නංගී, කාර්යාල වගකීම්, සහජ නිර්මාණශිලීත්වය, ආදරවන්තියගෙන් ඉටු නොවෙන දෑ ලබා දෙන සෙනහස… මේවා කාලයාගේම මායාවන්ද?

කල්පගේ සිතුවිලි විමසුමට බඳුන් කළ හැක්කේ ඔහුටම පමණි. සමාජය මතුපිටින් දකින්නේ ඔහු කරන කියන දෑය. ඔහුද අනෙක් සෑම මිනිසෙකු මෙන්ම ආදරයට ආදරය කරන්නෙකු බව අමතක කළ යුතු නොවේ. එහෙත් ඔහුගේ ආදරය සංකීර්ණ මනෝභාවයකි. ඔහු තරුණියකගේ ආදරය තුළද දුටුවේ මවකගේ සෙනෙහසම දැයි සිතා ගැනීමට උගහටය.

ප්‍රථම ආදරය ‘අකාල ප්‍රේමයක්’ වන්නේ ආදරවන්තයින්ගේ වරදින්ම නොවේ. එහෙත් ඊට ගොදුරුවන දුහුල් සිත්, විරහව හෙළන සෙවනැල්ල තුළින්ම ජීවිතයට ආලෝකය සොයති. එය ජීවිත වෙනස් කිරීමට තරම් දරුණු වරදක් බව ඔවුනට නොවැටහේ.

සුවිශේෂී නොවූ තවත් එවන් ආදර අන්දරයක පෙම්වතුන්ගේ ජීවන සිතුවිලි විවරණය කරන මනෝ ගවේෂණයකි ‘ආකල ප්‍රේම’. එහි යථාර්තය දැකීමට ඔබගේ ඇසින් නොව ඔවුනගේ ඇසින් ඒ ආදරය අත් විඳින්න.
‘ප්‍රථම ආදරය’ ජීවිතයට දැනෙන්නේ එක් වරක් පමණි.

අජන්ත සෙනෙවිරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: