අතක් නැතිව ඔලිම්පික් යන මොනරාගල යකඩ කෙල්ලගේ කතාව

November 27, 2017 | 12:11 pm    0   190

අතක් නැතිව ඔලිම්පික් යන මොනරාගල යකඩ කෙල්ලගේ කතාව

කොළඹින් සැතපුම් සිය ගණනක් දුරින් පිහිටි පිටිසර ගම්මානයක හැදිලා වැඩිලා, අපේ පුංචි ලංකාවේ නම ජාත්‍යන්තරයට රැගෙන ගිහින් සුදු මිනිස්සුත් එක්ක හරි හරියට ඔට්ටුවෙලා සිංහ කොඩිය ලෝකයේ ඉහළින්ම රඳවපු දිරිය දියණියක් හා ‍ෙදාඩමලු වන්නට අපට වාසනාව ලැබුණා. ඇයත් එක්ක ‍ෙදාඩමලු වෙන්න ලැබීම ඇත්තටම වාසනාවක් වුණාට ඇගේ ජීවන ගමනේ නම් වාසනාව රැඳිලා තිබුණේ බොහොම අඩුවෙන්. ඒ වාගේම තමයි ඔබට මට වගේ නෙවෙයි, දෛවය ඇයට සරදම් කරන්නේ හා හා පුරා කියලා අම්මාගේ පෙකණි වැල කඩාගෙන මේ ලෝකේ එළිය දැකපු මොහොතේ ඉඳලමයි. ඉතින් අපි අහපු ඇයගේ මුවින්ම ගෙවුණ අතීතය පිළිබඳව.

“මගේ නම අමරා ඉන්දුමතී කරුණාතිලක. මගේ ගෙවල් මොනරාගල. මොනරාගල කීවාට ටවුන් එකේ ඉඳන් ගෙදරට කිලෝ මීටර් 25ක් තියෙනවා. පොල්ගහගම තමයි ගෙදර තියෙන්නේ..”
ඇය මෙහෙම කතා කරගෙන යද්දි ඇයගේ හුස්මත් මොහොතකට නතර වුණු තැනක් තිබ්බා. ඒ මෙතැන.

“මගේ පවුලේ අම්මා ඉන්නවා. තාත්තා නැහැ. තාත්තා නැති වුණා ඛ්චදජඥප එකකින්…” එහෙම කියද්දිම ඒ පුංචි ඇස් රතුවෙලා චුට්ටක් විතර කුඩා වුණා. ඇස් කොනට උනපු කඳුළු බිංදුවක් ඇය දකුණතින් පිසදැම්මේ කාටත් හොරෙන්. ආයෙත් ලොකු හුස්මක් අරන් ඒ කතාව මෙහෙම ඉවර කළා.

“දැන් අවුරුදු 4ක් වෙනවා. 2013 නැති වුණේ.” එහෙම කියපු ඇය ආයෙත් මොහොතකට ගොළු වුණා.

තාත්තාත් අහිමි මේ පවුලේ ඉන්දුට අමතරව තව නංගිලා දෙන්නෙකුයි, මල්ලියෙකුයි ඉන්නවලු. ඒ කාටවත් සොබාදහම කිසි අඩුවක් කරලා තිබුණේ නැහැ. හරිම නීරෝගී දරු පැටව් ටිකක් එතැන උන්නේ. ඒත්… අපේ කතා නායිකාව ඉන්දුට නම් සොබාදහම සලකලා තිබුණේ හරි නපුරු විදිහට. මොකද කියනවා නම් උපදිද්දිම ඉන්දුගේ වම් අත පිහිටලා තිබුණේ වැලමිට ගාවට විතරයි. ඔබට මට අත්වල ඇඟිලි 10ක් තිබුණාට පුංචි ඉන්දුට එදා ඉඳලම තිබුණේ ඇඟිලි 5යි.

ඉන්දු ස්කෝලේ ගියේ මොනරාගල මාරිලා මහා විද්‍යාලයට. අනිත් හැමෝම වගේ පුංචි ඉන්දුත් දුවලා පැනලා සෙල්ලම් කරන්න හරි ආසයි. ඒ වාගේම ක්‍රීඩාවටත් හරි දක්ෂයි. ඉන්දු නිවාසාන්තර ක්‍රීඩා උළෙලවල්වල පළාත් ක්‍රීඩා උළෙලවලත් ජයග්‍රහණ ලබාගෙන තිබුණේ මේ දක්ෂතාවයන් නිසාමයි. නමුත් එදා ඉන්දු අතින් පැරදිලා තිබුණේ නම් අත පය හතරම හොඳට තිබුණ අය වීමත් විශේෂයි.

මෙහෙම ගෙවුණු ජීවිතේ හරි පුදුම විදිහට වෙනස් වෙනවා 2002 අවුරුද්දේ එක දවසක. එදා රිහාබ් ලංකා ආයතනයේ ප්‍රේමදාස මහතා මොනරාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට එනවා ආබාධිත අයට තිබුණ රැස්වීමකට සහභාගී වෙන්න. එදා ඉන්දුගේ අම්මත් එක්ක ඉන්දුත් ගියා එතැනට. එහිදි ඉන්දු ගැන පැහැදුණ කේමදාස මහතා ඉන්දුට රැකියාවක් දෙන්න පොරොන්දු වෙනවා. හැබැයි ඉතින් රැකියාව කරන්න නම් පුංචි කාලේ ඉඳන් නංගිලා මල්ලිලා එක්ක එකට හැදුණ වැඩුණු ඒ බිම දාලා යන්න වෙනවා. ඉන්දුගේ අම්මා නම් ඒකට කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. ඇයි ඉතින් අත පය හතර හරි හොඳට තියෙන දරුවෙක් නම් කමක් නැහැනේ.

ඒත් මේ පුංචි කෙල්ලගේ තාත්තාට නම් ලොකු විශ්වාසයක් හිතේ තිබුණා දෝණි කවදා හරි මේ හැමදේම ජයගන්නවා කියලා. ඒ විශ්වාසය තාත්තාගේ හිතේ ඇතිවෙලා තියෙන්නේ ඉන්දු ලොකු ළමයෙක් වුණ දවසෙලු. එදා ඉන්දුගේ හඳහන බලපු ඉස්කෝලේ ලොකු සර් තාත්තට කියලා තියෙනවා ඉන්දු කවදා හරි රටේ ප්‍රසිද්ධ කෙනෙක් වෙනවා කියලා. ඉතින් ඒ විශ්වාසය නිසාම තාත්තා ඉන්දුට අවසර දෙනවා කොළඹ එන්න.

ඉස්සර ඉන්දු හැමදාම කල්පනා කරනවලු අක්කලාට, නංගිලාට, මල්ලිට මේ හැමෝගේම අත් හොඳට තියෙද්දි මට විතරක් මෙහෙම වුණේ ඇයි කියලා. ඒ වෙලාවට හිතට දැනෙන්නේ දුකටත් වඩා කේන්තියක්ලු. ඒ නිසා ඉන්දු ඒ කාලේ නංගිලා, මල්ලිලාට ගහනවලු. පව්… පොඩි එකී හිතේ තිබුණ හැමදේම පිටකරලා තියෙන්නේ ඒ විදිහට. ඒත් දැන්නම් ඉන්දු කියන්නේ ඒ හැමදේම තේරුම්ගත්තු හරිම තැන්පත් දරුවෙක්.

ඉන්දුට ඕනි වුණේ ලෝකය දකින්න. සමාජයේ අනිත් අය වාගේම හරි හරියට ජීවත් වෙන්න. ගෙදරට වෙලා හැංගිලා ඉන්න ඒ හිතේ කිසිම බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. එයාට ඕනි වුණේ කවදා හරි තමන්ම හම්බකරලා අම්මටයි තාත්තටයි සලකන්න ඕනි කියන සිතුවිල්ල විතරයි.

මාලිගාවත්තේ රිහාබ් ලංකා ආයතනයට ආවම තමයි ඉන්දුට හිතුණේ ලංකාවේ ආබාධිතයෙකුට ඉන්නේ තමා විතරක් නොවන බව. මොකද එතැන හිටපු හැමෝම එහෙම අය ඉන්දුගේ මුල්ම රැකියාව ජුකී මැෂින් ඔපරේටර්වරියක්.

එතැනදි ප්‍රේමදාස සර් තමයි ඉන්දුට පැරා ක්‍රීඩා පිළිබඳ දැනුවත් කරලා තියෙන්නේ. ඊට පස්සේ ක්‍රීඩාවට යොමු වෙන ඉන්දු මුලින්ම තරග කරන්නේ අපේ දෑස් මානයේ තිබුණ තුරඟ තරග පිටියේදී. එහෙම කියපු ඉන්දු තුරඟ තරග පිටියට ඇඟිල්ල දිගු කළේ පුංචි හිනාවකුත් එක්ක.

මහෙම රැකියාවත් එක්ක පුහුණුවීම් කරපු ඉන්දු 2006දී මුල්ම ජාත්‍යන්තර පදක්කම මව්බිමට දිනා දෙනවා. ඒ මැලේසියාවේ පැරා ආසියානු කුසලතා තරගාවලියේදී මීටර් 400 ලෝකඩ පදක්කම දිනාගනිමින්.

2008දී ඉන්දු පන්නල ර්ඒඉ – ඉතඪථතඪදඥ ආයතනයට රැකියාව සදහා යොමු කරන්නෙත් ප්‍රේමදාස මහතාමයි. රිහාබ් ලංකා ආයතනයෙ වගේ එතැන හිටියේ ආබාධිතයෝ නෙවෙයි. ඉතින් ඉන්දුට එතැන පරිසරය එක්වරම නුහුරුයි. ඒත් ඒ හැමෝගේම කරුණාව මැද ඉන්දුට පුළුවන් වුණා තමන්ගේ ගමන දියුණුව කරා යොමු කරවන්න.

ඉන්දු අලුත් රැකියාව කරන ගමන් ආයෙත් 2009 වසරේ සිට සුපුරුදු පරිදි පුහුණුවීම්වල නිරතවෙනවා. ආයතනයෙන් ඉන්දුට ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලැබිලා තිබුණා. ඉන්දුට 2010 ආසියානු තරගාවලියට චීනයේදී සහභාගී වෙන්න අවස්ථාව ලැබණු අතර එහිදී මීටර් 100, 200 දෙකේදීම හතරවැනියා සහ පස්වැනියා බවට ඉන්දු පත්වෙනවා.

ඊට පස්සේ බලාපොරොත්තු අත් නොහළ මෙම දිරිය දියණිය 2012 වසරේ මැලේසියාවේ පැවති ආසියානු ශූරතා තරගාවලියේදී ලක් මාතාවගේ තම රනින් සරසන්නට සමත්වන්නීය. එහිදි මීටර් 100, මීටර් 200 සහ දුර පැනීම ඉසව් තුනේදීම රන් පදක්කම් ත්‍රිත්වයක් දිනාගැනීමට සමත් වූවාය. ඒ නිසාම ලන්ඩන්වලදි පැවති පැරා ඔලිම්පික් උළෙල නියෝජනයට ඇයට වරම් හිමිවෙනවා. හා හා පුරා කියලා පැරා ඔලිම්පික් තරගාවලියකට ශ්‍රී ලංකාව නියෝජනය කළ පළමු ක්‍රීඩිකාව බවට පත්වන්නේ ඇයයි.

මොනරාගල පිටිසර ගමක දුප්පත් පවුලක අතකුත් නැතිව උපන් ඉන්දුට කවුද හිතුවේ ඔලිම්පික් යන්න පුළුවන් වෙයි කියලා නේද? එහෙම අහද්දි ඉන්දු කීවේ මගේ තාත්තා විතරයි මේක විශ්වාස කළේ කියලා.

ලන්ඩන්වලදී ඇය අධිෂ්ඨාන කරගන්නවා 2016 ඔලිම්පික් උළෙලේදී ලංකාවට පදක්කමක් දිනා දෙනවාමයි කියලා. වෙනදාටත් වඩා මහන්සියෙන් පුහුණුවීම් කරන්න තරම් ඇයගේ ඒ අධිෂ්ඨානය බලවත් වුණා. ඉස්සර හිටපු චමින්ද සර් වාගේම, ඩයන් ගෝමස් සර්වත් ඇය මතක් කළේ බොහොම ගෞරවයෙන්.

මේ අතරතුර ඇයගේ ජීවිතේ තවත් පැත්තක් ඇය ජයගත්තා. ඒ රැකියාවෙන්. මැෂින් ඔපරේටවරියක් ලෙස සේවය කළ ඇය 2012දී ඩේටා එන්ටි්‍ර ඔපරේටවරියක් ලෙස උසස්වීමක් ලබනවා. අංශ දෙකේන්ම දියුණුවීමත් සමඟ තමන් අබාධිතයි කියන දේ හිතෙන් අෑත්වෙලාම ගියාලු. ඇය එහෙම කියද්දි ඒ පුංචි ඇස් අග දිලිසෙන පුංචි කඳුළු බිංදු දෙකක් වගේ ඇසට හසු වුණා. ඒ කඳුළු ඉනුවේ දුකට ද සතුටට ද කියලා ඇයවත් සමහරවිට නොදන්නවා ඇත.

යළිත් 2013 වසරේ කටාර්වල පැවති පැරා ලෝක ශූරතා තරගාවලියට ඇය සහභාගී වෙනවා. ඒ විතරක් නෙවෙයි 2014 පැරා ආසියානු තරගාවලියටත් ඇයට සහභාගි වෙන්න අවස්ථාව ලැබෙනවා. එහිදී මීටර් 200 සහ දුර පැනීමේ ඉසව්වලින් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනාගනිමින් උපන් බිමට කීර්තියක් ගෙන ඒමට ඇය සමත්වූවාය.

2015 ප්‍රංශ පැවති ලෝක ශූරතා තරගාවලිය නියෝජනයටත් ඇය වාසනාවන්ත විය. යළිත් වරක් එකම තරගාවලියකදී රන් පදක්කම් තුනක් තමාගේ නම ඉදිරියෙන් සටහන් කරගැනීමට අපේ කතානායිකාවට හැකිවිය. ඒ 2016 ඩුබායිවලදී පැවති ආසියානු-ඕස්ට්‍රේලියානු ශූරතා තරගාවලියේදී මෙවර ඇය ජයගන්නේ මීටර් 200, 400 සහ දුර පැනීම තරග ඉසව්වලින්. එම වසරේදීම චීනයේ පැවති තරගාවලියකදී මීටර් 400 රිදී පදක්කමක් සිය පදක්කම් මල්ලට එකතු කරගැනීමටත් ඇයට හැකියාව ලැබී තිබුණා.

බර්ලින්වල පැවති තරගාවලියේදීත් මීටර් 200 සහ මීටර් 400 තරග ඉසව්වලදී රිදී සහ ලෝකඩ පදක්කම් දෙකක් ලක්මවට දිනාදුන් බව ද ඇය අපිට මතක් කළේ ආඩම්බරයෙනි.

ඉන් අනතුරුව රියෝ ඔලිම්පික් උළෙල මෙන්ම 2017 වසරේදී ලන්ඩන් ලෝක කුසලාන තරගාවලියටත් ඇයට සහභාගිවීමට අවස්ථාව ලැබී තිබුණේ ඇයගේ දක්ෂතාවල නිම් වළලු පුළුල් කරමිනි.

මෙම වසරේ පැවති වෙළඳසේවා තරගාවලියේදී ඉන්දු හොඳම ක්‍රීඩිකාව බවට පත්වන්නේ ආබාධිත ක්‍රීඩිකාවන් සමඟ තරග කරලා නම් නෙවෙයි. ඒත් ඒ කාටවත් අතක් නැති මේ දියණිය පැරදවීමට නම් හැකියාවක් ලැබී තිබුණේ නැහැ. මීටර් 100, මීටර් 200, මීටර් 400, මීටර් 100 සහ මීටර් 400 දිවීම සහාය යන ඉසව් පහෙන්ම රන් පදක්කම් 5ක් ඇයගේ නමින් ලියවෙන්නේ ඒ නිසාමයි.

මීට අමතරව 2015 සහ 2016 වසරවලදි දක්ෂතම ආබාධිත ක්‍රීඩිකාව වශයෙන් දෙවරක් ජනාධිපති සම්මානයෙන් පවා මෙම විශිෂ්ට ක්‍රීඩිකාව පිදුම් ලැබීමට සමත් වූවාය.

2016 වසරේදී සිරස ආයතනයේදී ලබාදුන් සම්මානයකින් පවා පිදුම් ලැබූ ඇය 2015 වසරේදී ර්ඒඉ ආයතනයේ දිරිය කාන්තාවට හිමි සම්මානය ද තමාගේ නමට ලීයවා ගැනීමට තරම් ඇය වාසනාවන්ත හිමි විය.

මේ සියල්ල හමුවේදී යළිත් මොහොතකට ඇය ගොළු විය. ඒ මේ සියලු දේ පිටුපස සිටිමින් ඇයට යෝධ ශක්තියක් වුණු සිය පියාගේ මතකය යළිත් අලුත් කරන්නට සිදුවීම නිසාවෙනි.

ටොරින්ටන්වල තුරඟ තරග පිටිය පෙනෙන මානයේ ඇයත් සමඟ ‍ෙදාඩමලු වෙද්දි දවස ගෙවෙනවා දැනුනෙවත් නැති තරම්. ඉරත් දැන් අවරට හැරිලා. ඒ අහසෙත් තිබුණේ පාළු දුක්මුසු ස්වරූපයක්. වලාකුළුවලින් බරවුණු අහස හරියට අඬන්න ඔන්න මෙන්න වාගේ. ඒ අතරතුර ඇය යළිත් කටහඬ අවදි කළේ මෙලෙසිනි.

“තාත්තා නැති වුණා දවසේ මම හිටියේ සුගතදාස ක්‍රීඩාංගණයේ තරගයකට සහභාගී වෙමින්. මා හැම තරගයකට සහභාගි වෙන්නේ ගෙදරට කතා කරලා. ඒත් එදා මම කතා කරපු හැම මොහොතේම කතා කරේ අනිත් නෑදෑයෝ. මට එතකොට පොඩි වෙනසක් දැනුණා. ඒත් ඇහුවම කවුරුත් මොකුත් කීවේත් නැහැ.” ඉන්දුගේ කටහ‍ෙඩ් ජවය ටිකෙන් ටික අඩුවන බව නම් මට හොඳටම දැනුණා. ඒත් කතාවට බාධා කරන්න තරම් හිතක් තිබුනේ නැහැ මට.

“මගේ මල්ලි යුද හමුදාවේ කෙනෙක්. එයා තමයි තාත්තා නැති වුණ පණිවුඩය මට කීවේ. මගේ ලෝකේම කඩා වැටුණා ඊට පස්සේ. එහෙම කියපු ඉන්දු දෑසින් වැටෙන කඳුළු නතර කරගන්න ගත්තේ ලොකු ආයාසයක්. අවසානයේදී ඇය මගෙන් ඇහුවේ අද තාත්ති හිටියා නම් කොච්චර සතුටුවෙයි ද නේද මල්ලි කියලා. ඊට පස්සේ මට මොකුත්ම ඇහුණේ නැහැ. ඇහුණේ අපේ නැසීගිය ගායක ප්‍රින්ස් උදය ප්‍රියන්ත මහතා දෙව්ලොව ඉඳන් මේ ගීතය ගායනා කරනවා විතරමයි.

“සුදු මල් පොකුරක් අතින් දරාගෙන
ඔබේ සොහොන ළඟ තනිවී..
රහසේ සැලෙනා කඳුළැලි තවරා
සිහිකරමි මගේ පියාණෙනී…”
ඒත් එක්කම මට මැවී පෙනෙුණේ පුංචි ඉන්දු තාත්තාත් එක්ක හුරතල් වුණු ඒ අතීත මතකය.

“බාල වියේ ඔබේ තුරුලේ
නැළවී සෙනෙහස් ඔරුවේ..
සිතුවිලි අතරේ මා තනි කෙරුවේ
නැවත නොයෙන්නට ගිය ගමනේ…”
ප්‍රින්ස් උදය ප්‍රියන්ත එදා මේ ගීතය ගයන්නට ඇත්තේ ඉන්දු වෙනුවෙන්ම නොවේදැයි මට සිතුණ වාර නම් අනන්තයි.

ඇයගේ දුක්බර මතකයට සමුදීලා ඇයගේ අනාගත බලාපොරොත්තු පිළිබඳව විමසන්නට හිතුණේ ඒ නිසාමයි. ඇයගේ අනාගත බලාපොරොත්තුව මීළඟ ඔලිම්පික් තරගාවලියෙන් ලක් මව බැබළවීමයි. ඉන් අනතුරුව ක්‍රීඩාවට සමුදෙන බව ද ඇය සඳහන් කළේ තරමක් දුකකිනි.

අනාගත තරුණ පරපුරට ඇය දෙන එකම අවවාදය වන්නේ මොන දේ නැති වුණත් තමාගේ බලාපොරොත්තු නැති කර නොගෙන අවසානය දක්වාම උත්සාහ කරන්න කියාය.

ඉන්දුගේ ඔලිම්පික් සිහිනය ජයගෙන ලක් මව රනින් සැරසීමට ඇයට වාසනාව හිමි වේවායි අපි ද ඉන්දුට සුභ පතා සමුගෙන ආවේ මෙවන් දියණියක වැදූ මවට පියාට අනේක වාරයක් පිං දෙමිනි.

සංවාදය – සචිත් යාපා

ඡයාරූප – ජගත් නානායක්කාර

ඉරිදා ඇපල් පුවත්පතෙන් උපුටා ගන්නා ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: