අතීත මතකයන් අවදි කළ මාලනි බුලත්සිංහලගේ නැගණිය (මෙතෙක් ඔබ නොදුටු ඡයාරූප එකතුවක් සමගින්)

August 8, 2017 | 8:39 pm    0   1646

අතීත මතකයන් අවදි කළ මාලනි බුලත්සිංහලගේ නැගණිය (මෙතෙක් ඔබ නොදුටු ඡයාරූප එකතුවක් සමගින්)

මාලනී අක්කා ජනප්‍රිය වෙනකොට පවුලෙ අපි හැමෝටම ඒක බලපෑවා – සන්ධ්‍යා බුලත්සිංහල

කටහඬකට, එක් අයෙකුගේ නොව රටකගේම ආදරණීය හඬක් වෙන්න පුළුවන් නම් භාග්‍යයක්. ඒ භාග්‍ය ඇයට තිබුණත් ඒ හඬ විඳින්න තව දුරටත් අපට භාග්‍යයක් නැත. මතක ගී යායක් ඉතිරි කර ගිය මාලනී බුලත්සිංහල මතකයන් සහෝදරත්වයේ හදවතින් විඳගනිමින්, මාලනීගේ නැගණිය සන්ධ්‍යා බුලත්සිංහලගේ ජීවිතයේ අපුර්වත්වය සොයාගෙන මම ගියා සන්ධ්‍යා බුලත්සිංහල මහත්මියගේ නිවසට. මිදුලෙන් ගෙට ගොඩවුණ මගේ ඇස ගැටුණේ ළමයි රංචුවක් වටකරගෙන ස්වර අතර මිහිර උගන්වන ඒ ආදරණීය ගුරුතුමියයි. ළමයි එක්කෙනා දෙන්නා පිටවෙලා ගියාම පුංචි කාලේ මතක් කරගෙනම අපි කතාවට වැටුණා.

“අපේ පවුලේ ඇත්තටම 7 දෙනෙක් ඉඳලා තියෙනවා. අපේ පවුලේ වැඩිමලා පොඩි කාලේදීම නැති වෙලා. එතකොට 6 දෙනයි. මම තමයි පවුලේ බාලයා, මාලනී අක්කා පවුලේ තුන්වෙනියා. පොඩි කාලේ හරිම විනෝදෙන් ගෙවපු ජිවිතයක් අපිට තිබ්බේ. තාත්තා කලාවට හරිම ලැදියි. ගෙදර හැමදාම හවසට ඩෝල්කි, මැන්ඩලීන් ගගහා සින්දු කියනවා. ඇත්තම කියනවා නම් අපි කිසිම කෙනෙක් පොඞ්ඩක්වත් දඟ ළමයි නෙවෙයි. ඒ නිසා ගුරුවරුන්ගේ ආදරේ මැද තමයි අපි පාසලේදී හිටියේ.”

සන්ධ්‍යා සාමාන්‍ය පෙළ කරලා ඉවර වෙලා උසස් පෙළ කරන්න කොළඹ ආනන්ද බාලිකාවට එනවා. සන්ද්‍යාගේ අක්කා ඒ කියන්නේ මාලිනි බුලත්සිංහල ඒ වෙනකොට ආනන්ද බාලිකාවේ ගුරුවරියක්.

“අක්කා එක්ක තමයි ඒ කාලේ ආවේ ගියේ. එත් ගොඩක් වෙලාවට අක්කට ඉස්කෝලේ ඇරිලා ගෙදර එන්න වෙලාවක් තිබ්බේ නැහැ. කේමදාස මාස්ටර් එක්ක හරියට සංගීත වැඩ කරා. තව රේකෝඩින්, ජින්ගල්ස්, කැසට් පටවලට ගීත ගායනා කරන්න එහෙම අක්කට හරියට තිබුණා. අක්කා ඒවාට යනකොට මම අක්කත් එක්ක යනවා. ඒකෙන් මට කොඩක් කලාකාරයෝ අඳුරගන්න ලැබුණා. අක්කා ජනප්‍රිය වෙනකොට ඒක පවුලේ හැමෝටම බලපෑවා. අක්කා නිසා අපිට සැලකිල්ලක් ලැබුණා.”

සන්ධ්‍යා කියන විදිහට පොඩි කාලේ ඉඳලා මුදල් ලැබීමේ වාසනාවක් ඇයට තියෙනවා.

“ඒ කාලේ මම අවුරුදු ගාණක් තිස්සේ හරියට ජය මංගල ගීත කියන්න යනවා. අක්කා තමයි මාව යවන්නේ. ඒ ගියාම කවරේ දාලා රුපියල් 10 කොලයක් හම්බවෙනවා. සමහර දවස්වලට පහ හය කියලා තියෙනවා. ඒ සල්ලි ගෙනල්ලා අම්මට දෙනවා. එතකොට අම්මා පන් මල්ලක් අරගෙන බොරලැස්ගමුව හන්දියට ගිහින් මල්ල පිරෙන්න බඩු අරගෙන එනවා.”

උසස්පෙළ කරලා ගෙදර හිටපු සන්ධ්‍යාට අක්කා නිසාම තවත් හොඳ අවස්ථාවක් ලැබෙනවා.

“දවසක් කපුගේ අයියා ආවා අක්කා හම්බවෙන්න ෂෝ එකක් කරන්න කතා කරගන්න. අක්කා එයාගේ ඩයරිය පෙන්නුවා. මාස ගාණෙම සංගීත සංදර්ශන පිරිලා. ඉතින් අක්කා කීවා මට එන්න වෙන්නේ නැහැ, මම නංගිව එවන්නම් කියලා. කපුගේ අයියා මම සින්දු කියවා අහලවත් නැතුව හා කීවා. පස්සේ මම ඒකට සහභාගි වුණා. සංදර්ශන කිහිප වාරයක්ම පැවතුණා. ඒකෙනුත් හොද ආදායමක් ලැබුණා.”

සන්ධ්‍යා බුලත්සිංහලගේ සංගීත ගමනේ ඊළඟ පිටුව ආරම්භ වන්නේ රාජ්‍ය සංගීත කණ්ඩායමට සම්බන්ධවීමත් සමඟයි.

“අක්කගේ ලොකු පැහැදීමක් තිබුණා රාජ්‍ය සංගීත හා නැටුම් කණ්ඩායම ගැන. පස්සේ අක්කා මාව ඒකට යොමුකරා. ඉන්ටවීව් 3ක් තිබුණා. අන්තිම එක ජෝන් ද සිල්වා එකේ තිබුණේ. හෝල් එක පිරෙන්න සෙනඟ. ඒ හැමෝටම පේන්න තමයි ඉන්ටවීව් එක කරන්නේ. කොහොම හරි මාවත් ඒ කණ්ඩායමට තේරුණා. ඒකත් රැකියාවක් වගේ. අවුරුදු දෙක හමාරක් විතර මම ඒකේ හිටියා. ඒකේ ඉන්නකොට තමයි මට ගුරු පත්වීම ලැබුණේ.”

අපේ සුන්දර කතා බහ අස්සේ සන්ධ්‍යාගේ ආදරණිය සැමියා ලාල් ආනන්ද අබේනායක අපි අසලින්ම වාඩි වුණ නිසා ප්‍රේමය ගැන අහන්න මට හිතුණා.

“ප්‍රේම සම්බන්ධතා නම් තිබිලම නැහැ. ලාල්ත් අපිත් එක්ක රාජ්‍ය සංගීත කණ්ඩායමේ හිටියා. යාළුවො වගේ තමයි අපි හැමෝම හිටියේ. යන්නේ එන්නේ කන්නේ බොන්නේ සේරම එකට. පුදුම බැඳීමකින් අපි හැමෝම හිටියේ. අපේ සම්බන්ධෙ පටන්ගන්නේ ගොඩක් කාලෙකට පස්සේ ගුරු පත්වීමත් හම්බුණාම. කොහොම හරි සංගීත කණ්ඩායමේ හිටපු කට්ටිය පස්සේ පස්සේ මුණගැහෙනවා. එතකොට ඒ හැමෝම විවාහ වෙලා. ලාලුයි මමයි තමයි විවාහ වෙලා හිටියේ නැත්තේ. ඉතින් හැමෝම විහිළු කරා ‘උඹලා දෙන්න බැඳහල්ලා කියලා” එත් අපේ එහෙම හැඟීමක් තිබ්බේ නැහැ, ඔහේ හිටියා.”

හැඟීමක් නොතිබුණ ලාල් ආයෙම වතාවක් මුණගැහෙන්නෙ හරි අපූරු විදිහට.

“මම මුලින්ම වැඩ කරේ ලුම්බිණියේ. ලාල් පශ්චාත් උපාධිය කරපු නිසා එයාව ටීචින් ප්‍රැක්ටිස් දාලා. එතකොට එයාට ලැබුණේ පන්නිපිටිය ධර්මපාලේ, ඉතින් එහෙදි දරුවෙක් ලැබෙන්න ඉන්න ගුරුවරියක්ට උදව්වක් විදිහට වෙන පාසලක් ඉල්ලලා. පස්සේ අනුලා එකට දාලා තියෙන්නේ. එදා හවස ආයේ ස්ථාන මාරු කරන රෝලන් සර් ළඟට ගිහින් කියලා ‘එතන කිසිම පිරිමි කෙනෙක් නැහැ, ඔක්කොම ගැහැණු විතරයි කියලා. පස්සේ ලාල්ව ලුම්බිණියට දැම්මා. පස්සේ ආයේ රෝලන් සර් ගාවට ගිහින් සර් මට ලුම්බිණියේ ඉන්න බැහැ කියලා. පස්සේ ඇයි අහපුවාම කියන්න බැහැනේ සන්ධ්‍යා ඉන්න නිසා කියලා. ඒ නිසා කොහොම හරි ලුම්බිණියට ලාල් ආවා.”

මේ දේවල් සිද්ධ වෙන්න කාලෙකට කලින් ලාල් සන්ධ්‍යාට විවාහ යෝජනාවක් කරනවා. එත් අවස්ථා දෙකකදීම සන්ධ්‍යාට ඒකට තමන් දෙන්න ඕනේ පිළිතුර දෙන්න ලැබෙන්නේ නැහැ. මොකද ඒ කතා කරපු හැම වෙලාවකම සන්ධ්‍යාගේ ගෙදර කාර්යබහුලයි. ඒත් සිද්ද වෙන්න තියෙන දේ සිද්ධ වෙනවා කියන්න හොඳම උදාහරණේ මේ ආදර කතාව.

“ඒ කාලේ පරණ ගුරුවරුන්ට තිබ්බා ලොකු විභාගයක්. ඉතින් ගුරුවරු ෆ්‍රී වෙලාවට හෝල් එකට එනවා පාඩම් කරන්න. ඉතින් ලාලුත් එනවා. කට්ටිය ලාල්ව දැකලා කතා කරලා. ලාල් කට්ටියට අවශ්‍ය කරන දේවල් උගන්නලා හිතවත් වෙලා. පස්සේ ටීචර් කෙනෙක් ඇවිත් මට කීවා ‘සන්ධ්‍යා හොඳ කෙනෙක් ඉන්නවා ඔයාට ගැළපෙනවා කියලා.’ මම දන්නවා මේ කියන්නේ ලාල් ගැන කියලා, එත් මම සද්ද නැතුව හිටියා. පස්සේ ඒ ටීචම ලාල්ටත් කියලා ඔයාට හොඳ කෙනෙක් ඉන්නවා කියලා. ලාල් අහලා කවුද කියලා. එතකොට මං ගැන කියලා. ලාල් අපෝ අහන්නවත් එපා සන්ධ්‍යා මට කැමති නැහැ, මම කලින් අහලා සන්ධ්‍යා අකමැති වුණා කියලා.”

ඒ ගුරුවරියගේ මැදිහත්වීමෙන් අන්තිමට සන්ධ්‍යා සහ ලාල්ගේ විවාහ සිද්ද වෙනවා. විවාහ වෙච්ච දවසට පහුවදා තමන්ගේ ආදරණීය ගෝලයෙක් වෙච්ච සංජක ප්‍රසාද් දොළේවත්ත කරපු වැඩක් ගැන සන්ධ්‍යා කියනකොට මට හිතුණේ ගුරුවරියකගේ අතීත මතකවල කොයිතරම් රහක් හැංඟිලා තියෙනවද කියලා.

“ලාල් එතකොට සිරසෙත් වැඩ කරනවා. ඉතින් අපේ විවාහය දවසේ ලාල්ට සිරසෙන් කතා කරා සුබ පතන්න. ලාල් දන්නේ නැහැ ඒක ඒ වෙලාවේ සජීවීව ගිහිල්ලා. වෙලාවට ඕක අහගෙන ඉඳලා සංජක පහුවදා මුළු ඉකොලේම ගිනිතියලා, අන්න සන්ධ්‍යා මිස් බැඳලා කියලා.”

ඒ ආදරණිය මතක අදටත් හරිම සුන්දරයි. ඒ සුන්දරත්වය දෙන්නගෙම ඇස්වල මට පෙනුණා. ඒ ආදරණිය මතකෙත් එක්ක මට හිතුණා මාලනී බුලත්සිංහලගේ මතකෙත් ආදරණිය විදිහට අපේ කතා බහට එකතු කරන්න. කතාවට මුල පිරුවේ සන්ධ්‍යාගේ සැමියා ලාල් ආනන්ද.

“මට මතකයි දවසක් අපි ෂෝ එකක සංගීතය දෙන්න සුදු අත්කොට කමිස ඇඳගෙන ඉන්නවා. එකේ ආරාධිත අමුත්තා තමයි මාලනී අක්කයි, කපුගේ අයියයි. කොහොම හරි ඒකේ නිවේදන කටයුතු කරගන්න හිටපු කෙනාට කොළඹට එන්න බැරුව හිර වෙලා. ඉතින් මට කිවා වැඩසටහන කරන්න කියලා. මම ඉතින් හරි කමක් නැහැ කියලා වැඩසටහන කරගෙන ගියා. එතකොට මාලනී අක්කා වේදිකාවට ගොඩවෙලා යන්න ඕනේ පැත්තට නොගිහින් මගේ ළඟට ඇවිත් කීවා, ‘මල්ලි මම ආවේ ඔයාට බැණලා යන්න. ඔයා කොච්චර හොඳට මේ වැඬේ කරනව ද, ඒ වුණාට ඔයා ඒකට හරියන ඇඳුමක් ඇදගෙන නැහැ කියලා. මම ඉතින් කීවා මේ මම කරන්න හිටපු වැඩක් නෙවෙයි කියලා. කොහොම හරි ඊට ටික දවසකට පස්සේ මම හිටපු ඉස්කොලේට වාහනේ ඇවිත් මට කුරුතා වගයක් දීලා, ආයේ එනවුන්ස් කරන වෙලාවට මේවා අඳින්න කියලා කිව්වා. ඒ කාලේ අපි නෑදෑයෝ වෙයි කියලා හිතලවත් තිබුණේ නැහැ.”

ඒ තමයි අපිට අහිමි වෙච්ච සැබෑ කලාකාරියකගේ ආදරණීය මතකය. කොහොම වුණත් මාලනී බුලත්සිංහල ගැන කතා කරනකොට අපිට කසුන් ගැන අමතක කරන්න බැහැ. කසුන් ගැන කතා කරන්නත් මුලින්ම බාර ගත්තේ ලාල් ආනන්ද.

“කසුන් පුතා කියන්නේ වෙලාවකට අපේ කුටුම්භ ආරක්ෂකයා. ඉස්සර මාලනී අක්කා තමයි ඒ ආරක්ෂාව අපිට දුන්නේ. අද කසුන් පුතා ඒ දේ කරනවා. කසුන් කියන්නේ එයාගේ දක්ෂකමින්ම ඉස්සරහට ආපු කෙනෙක් මිසක් අම්මාගේවත් තාත්තගේවත් දේවල් අරගෙන ජනප්‍රිය වෙච්ච කෙනෙක් නෙවෙයි. මම එකට හොඳ සිද්ධියක් කියන්නම්. මම සිරසේ ඉන්න කාලේ අපේ වැඩසටහනක් තිබුණා අලුත් ගීත හඳුන්වලා දෙන. ඉතින් මට නිහාල් සින්දු කීපයක් දීලා කීවා මේකෙන් ටේ්‍රලර් එකක් කපන්න කියලා. මම සින්දු ටික අහලා එක සින්දුවක අමුත්තක් තිබුණ නිසා මම එක අරන් ටේ්‍රලර් එක හැදුවා. එක යනකොට නිරෝෂා, සමිතා කෝල් කරකර අහනවා කවුද ඒ සින්දුව කියන කොල්ලා හරි අමුතු හඬක් තියෙන්නේ කියලා. මම නොදැන අරන් තිබුණේ කසුන් පුතාගේ අනන්තයට යන පාර දිගේ සින්දුව. කවදාවත් මම සිරසේ හිටියට පුතා කියල නැහැ බාප්පේ අනේ මගේ සින්දුවක් තියෙනවා දාලා දෙන්න කියලා.”

ඒ අපි ආදරේ කරන අපේ කාලේ ගායකයෙක් ගැන එයාගේ බාප්පා කියන කතාව. ඊළඟට කසුන් ගැන කතා කරේ එයාගේ පුංචි අම්මා.

“අපේ අයියාගේ නෝනා තමයි මාලනී අක්කගේ දානේ ගොඩක් වෙලාවට ලැස්ති කරන්නේ. එත් අපි අදටත් කසුන් පුතාට කියන්නේ නැහැ ‘අම්මගේ’ දානේ කියලා. අපි කියන්නේ දානේ තියෙනවා කියලා. පුතා අම්මට විතරක් නෙවෙයි තාත්තටත් ඒ විදිහටම ආදරෙන් සලකනවා. පුතා ජයේ අයියා ඉස්පිරිතාලේ ගෙනියන එක, ඉස්පිරිතාලෙන් අරන් එන එක, ගෙදර යන එක, එයාව බලාගන්න එක වගේ දේවල් ෆේස්බුක් දාන්නේ නැහැ. හැබැයි පුතා ඒ සේරම කරනවා. අපිට වුණත් සල්ලි හදිස්සියකදී අපි පුතාට තමයි කියන්නේ.”

බොහෝ දෙනෙක් පහුගිය කාලේ කසුන් කල්හාර ගැන පතුරපු කටකතාවලට සන්ධ්‍යා පිළිතුරු දුන්නේ ඒ විදිහට. සන්ධ්‍යා කියන්නේ ගොඩක් දරුවන්ගේ සංගීත දැනුම වර්ධනය කරගන්න අවංකවම සේවය කරන ගුරුවරියක්. ඒ නිසාම අද දවසේ දරුවන් සංගීත විෂයට දක්වන ප්‍රතිචාරය ගැන ඇය කීවේ මේ විදිහට.

“ගොඩක් දක්ෂ ළමයි ඉන්නවා. අපේ පාසලේ විදුහල්පතිනි විජිතානි ධම්මිකා මහත්මිය හරිම කලාවට ලැදි කෙනෙක්. ඒ නිසා එයා ළමයින්ගේ කලා කටයුතු වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙනවා. අද කාලේ ළමයි ගොඩක් කැමති දැන් තියෙන සින්දුවලට තමයි. ඒ දේවල්වලට ඒ ළමයින්ට බැණලා වැඩක් නැහැනේ. මොකද දැන් ඇහෙන්නේ ඒ සින්දුමනේ.”

පැය තුනකටත් වැඩි වෙලාවක් සන්ධ්‍යා සහ ලාල් ගේ කැදැල්ලේ ගතකරපු මම ඒ දෙන්නගේම අතීත කතාවල සුන්දරත්වය විඳගත්තේ හැබෑම ලෙන්ගතුකමින්. මේ පිටු අතරේ එල්ලන්න පැරණි පින්තුර පොත් ඇතුළට මාව එක්කරගෙන ගියේ ඒ පින්තුර ඇතුළේ සැඟවුණු කතා ගොඩකුත් එක්කමයි. මාලිනි බුලත්සිංහල නමැති ඒ ආදරණිය ගායිකාවගේ හඬ අද අපිට ජීවමානව ඇසෙන්නේ නැත. එත් ඇගේ ආදරණිය නැගණිය, අද දවසේ කතා නායිකාව සන්ධ්‍යා බුලත්සිංහල “සඳ මඬල” ඒක පුද්ගල ගී ප්‍රසංගයේදීත්, මිත්‍ර කපුගේ සමඟ ‘පිය සටහන්’ ගී ප්‍රසංගයේදීත් ඇගේ සුමිහිරි හඬ ප්‍රේක්ෂකයා වෙත තිලිණ කරන්නට ඇය සුදානම්. දෙදෙනෙකුගේ මතක එක්ක ආදරණිය හෝරා ගණනාවක ලිඛිත සාක්ෂිය මේ පිටු අතර මේ විදිහට ලියා තබන්නේ තවත් බොහෝ දේ මගේ මනසේ හිරකරගෙනයි.

ෂදීසා ධර්මප්‍රේම
ඡායාරූප – ලයාන් කොළඹගේජගත් නානායක්කාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: