අධ්‍යාපන අමාත්‍යංශය ෆේල්, ටියුෂන් ගිහින් හරි ළමයි ඉගෙන ගන්නවා නම් ඇති – අධ්‍යාපන ඇමතිවරයා පවසයි

March 7, 2017 | 11:00 am    0   462

අධ්‍යාපන අමාත්‍යංශය ෆේල්, ටියුෂන් ගිහින් හරි ළමයි ඉගෙන ගන්නවා නම් ඇති – අධ්‍යාපන ඇමතිවරයා පවසයි

ශ්‍රී ලංකාවේ පාසල් යා යුතු වයසේ වයස අවුරුදු 5 -17 අතර පාසල් නොයන ළමුන් 51,241ක් සිටී. පාසලක් වහනවා යනු හිරගෙවල් සියයක් විවෘත කරනවා වැනි වැඩක් බව එකලත් මෙකලත් හෙට දවසේත් සත්‍ය කියමනකි. පාසල් ගිය ද එහි ක්‍රියාත්මක වන අධ්‍යාපන ක්‍රමය තුළ ඇති ගුණාත්මකභාවය කෙබඳු ද? වත්මන් අධ්‍යාපන ඇමතිවරයා මෙම තත්ත්වයන් වළක්වා ගැනීමට ගෙන ඇති පියවර කුමක් ද යන්න පිළිබඳ ඔහු සමඟ අප සාකච්ඡා කළෙමු.

එහිදී ඇමතිවරයා ප්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යංශය සර්ව සම්පූර්ණ නැති බවත් ටියුෂන් ගොස් හෝ දරුවන් ඉගෙන ගන්නවා නම් එය යහපත් බවත් පැවසීය.

වර්තමාන අධ්‍යාපන ඇමැතිවරයාගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තිබෙන දැක්ම මොකක්ද?
අනාගත ලෝකය දිනන්න පුළුවන් දරු පරපුරක් බිහිකිරීම.

එක එක ආණ්ඩුවල විවිධ දේශපාලන හැල හැප්පීම්වලට මැදිවෙලා කුඩු පට්ටම් වෙච්ච අධ්‍යාපන ක්‍රමයක ඔය කියන දැක්ම හීනයක් විතරයි.
කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි ඒ වෙනුවෙන් වැඩ කරන්න වෙනවා. ඒක ඇතුලෙ වැඩ කරන්න වෙනවා.

හැමතැනම කකුලෙන් අදිනව අදිනව කියල බෝලේ පාස් කරන්නෙ කාටද?
දේශපාලන අරමුණුවලට සමහරු අපිට වැඩක් කරන්න දෙන්නෙ නෑ. ව්‍යාපාරික අරමුණුත් තියෙනවා.

කවුද කියල කෙලින් කියන්න පුළුවන්නේ? ඒක කියන්න බයයිද?
නෑ එහෙම කියන්න ඕන නැහැ.

එහෙනම් කියන්නෙ කකුලෙන් අදිනව කියලා?
ඒවා විසඳගන්න බලනවා.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව හෙළි කරනවා පාසැල් යායුතු ළමයින් 51,241 පාසැල් ගිහින් නෑ කියලා.
පාළාත් සභා මට්ටමින් සොයා බලන්න ඕන දෙයක් මේක.

ඇමැතිවරයා හෝ අමාත්‍යාංශය, රජය පාසැල් එන්න කියලා අනිවාර්ය කරනවා. ඒත් එන්න බැරිනම් මොකද කරන්නේ?
මේ සඳහා ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගන්න ඕන. පළාත් සභා මට්ටමින් වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕන.

මොකද පළාත් සභාවට බෝලේ පාස් කරන්නේ?
අපි ගන්න තීන්දු තීරණ පළාත් සභා ක්‍රියාත්මක නොකළොත් වැඩේ වෙන්නෙ නැහැ. එයාලා ඒක ක්‍රියාත්මක කළොත් තමයි වැඩේ සම්පූර්ණ වෙන්නේ.

“ක්‍රියාත්මක කරන්න ඕන”. ඒ කියන්නේ තාම ක්‍රියාත්මක කරලා නෑ?
දැන් ක්‍රියාත්මක කරමින් පවතිනවා.

මොනවද?
වැසීගෙන යන පාසල්වලට භෞතික සම්පත් දෙනවා. විදුහල්පතිවරු අරගෙන අවසන්. අධ්‍යාපන පරිපාලනේට බ¼දවාගෙන තියෙනවා. මේ මාස දෙක ඇතුළත පහලොස්දාහක් විතර පිරිසක් අරගන්නවා. ගුරුවරු හිඟය පුරවනවා.

ලංකාවේ කොපමණ පාසැල් සිසුන් ඉන්නවද?
ලක්‍ෂ 45ක්.

ඔබ කතා කරන්නේ පාසැල් එන ලක්‍ෂ 45 ගැන විතරයි.
පාසැල් එන ළමයින්ට දැන් සෞඛ්‍ය රක්‍ෂණාවරණයක් දෙනවා, අම්මා තාත්තා මිය ගියොත් ලක්‍ෂ දෙකයි, රෝහලක නතර වුණොත් රු.1000ක් ගෙවනවා, දවල් ආහාර වේලක් දෙන්නත් උත්සාහ කරනවා.

ඔය කතා කරන්නේ පාසැල් එන ලක්‍ෂ 45 ගැන විතරයි. එන්න බැරි ළමයින්ට මොකද කරන්නේ?
මේ පහසුකම් දෙන්නේ ඒ ළමයි ගෙන්න ගන්න.

ඔබ කියන විදියට දැන් විදුහල්පතිවරු ඉන්නවා, ගුරුවරු ඉන්නවා, ගොඩනැගිලි තියෙනවා, තව ගන්නවා, තව හදනවා, ඒත් ළමයි ගෙදරනේ?
පටන්ගත්තා විතරයි දැන් ඒකටත් අපි වැඩපිළිවෙළක් යොදනවා.

දන්නවද මේ පාසැල් නොයන ළමයි ඉන්නෙ කොහෙද කියලා?
වතු ආශ්‍රිතව සහ යුධ වතාවරණය යටතේ ජීවිත කඩා වැටුණු උතුරු පළාත්වල දරුවන්.

දැන් යුද්ධේ ඉවරවෙලා අවුරුදු 7ක්. දැන් පාසැල් යායුතු සමහර ළමයි ඉපදිලත් නෑ එතකොට?
යුද්ධේ ඉවර වුණාට විධිමත් වැඩ පිළිවෙලක් තිබුණෙ නෑනේ ඒකයි හේතුව.

ඇමැතිවරයා හැටියට මාසෙකට පාසැල් කීයක් නිරීක්‍ෂණය කරනවද?
මං කරන්න ඕන ඇමැතිවරයා විදියට ප්‍රතිපත්ති සම්පාදනය. උදේ ඉඳන් රෑ වෙනකම් ඉස්කෝලවල ඇවිදලා වැඩක් නෑ. මාසෙකට පහකට හයකට යනවා.

දැනට කොපමණ ගුරු හිඟයක් තියෙනවද?
හිඟය හැටදාහයි, අතිරික්තය හතළිස් දාහයි.

පළාත් සභා පාසල් කීයක් තියනවද?
ජාතික පාසල් 352, ඔක්කොම පාසල් 10,161ක් තියෙනවා. 352ක් අඩු කරාම ඉතිරිය පළාත් සභා පාසල්.

ඔය කියන දේවල් කරන්න සල්ලි තියෙනවද?
සල්ලි තියෙනවා.

ඊයේ පෙරේදා චක්‍රලේඛයක් නිකුත් කරා පාසල්වලට බාහිර පුද්ගලයන් ඇතුල් වීම තහනම් කියලා. එතකොට දේශපාලකයෙක් ගිහින් ඉස්කෝලේ ඇතුලේ කතා පවත්වන එක හරිද? දේශපාලන මතවාද පලකරන එක හරිද?
විදුහල්පතිවරයා වගකීම භාරගන්නවානම් මහජන නියෝජිතයෙක් පාසලට ගියාට කමක් නෑ.

කවුද මේ ගැන විමර්ශනය කරන්නේ? කොහොමද කවුද එන්නෙ යන්නෙ කියලා බලන්නේ?
විදුහල්පතිවරයා වගකියන්න ඕන.

විදුහල්පතිවරු කීයක් ඉන්නවද ලංකාවේ?
17,000ක්.

ශිෂ්‍යත්වය අවලංගු කරනවද? නැද්ද?
ඒ ගැන සලකා බලමු ඉදිරියේදි, අම්මාවරුන්ගේ විභාගයක්නේ ඒක.

පාසැල් ළමුන්ට ෆේස් බුක්, සමාජ ජාල තහනම් කරනවද?
තවම එහෙම කරල නැහැ, ගෙදරදි කරන දේවල් අපිට නවත්තන්න බැහැ. පාසැල් තුළ ඒවා පාවිච්චි කරන්න ඉඩ දෙන්නෑ.

ටැබ් දෙන්නෙ කවදද?
මැයි මාසෙන් පස්සෙ පුළුවන් වෙයි.

චෝදනාවක් තියෙනවා ආණ්ඩුවෙන් රට සවාරි ගිහින් එහේ තියන දේවල් දැකලා, මූලික ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ නැතුව දකින දකින දේ බොරුවට කරලා මිනිස්සු රවට්ටන බවට.
දැනුම, තාක්‍ෂණය වෙනස් වෙමින් ලෝකේ ඉදිරියට යනවා. කවුරු මොනවා කිව්වත් ඒක අපි කොහෙන් හරි පටන් ගන්න ඕන.

ටැබ් දෙන්න කලින් පාසැල් නොයන ළමයි පාසලට ගෙන්න ගන්න ක්‍රමයක් හදන්න බැරිද?
එකක් නිසා අනිත් ඒවා නොකර ඉන්න බැහැ. සේරම ටික ටික කරගෙන යනවා.

උසස් පෙළ ප්‍රතිඵල අනුව ඔබට රජයේ විශ්ව විද්‍යාලයකට යන්න අවස්ථාව ලැබෙනවා. ඒත් එක්කම පෞද්ගලික විශ්ව විද්‍යාලයකට ශිෂ්‍යත්වයක් ලැබෙනවා මොකක්ද තෝර ගන්නේ?
මං ගියේ රජයේ විශ්ව විද්‍යාල දෙකකට. ඒක මගේ කැමැත්ත. ඕන කෙනෙක්ට ප්‍රමිතියක් තියෙන පෞද්ගලික තැනකින් ඉගෙන ගන්න අවස්ථාව තියෙන්න ඕන. අපිට පුළුවන්නම් රජයක් හැටියට ලොන් එකක් දෙන්න ඕන පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් හරි ඉගෙන ගන්න කියලා. පස්සේ රස්සාවක් කරන කොට ඒක ටික ටික ගෙවන්න ක්‍රමයක් හදලා. අනිත් රටවල එහෙමයි.

අධ්‍යාපනය විකුණනවට ඔබ කැමැතියි?
අද ලෝකේ බොහෝ රටවල ආර්ථිකය ශක්තිමත් කරගන්නේ අධ්‍යාපනය විකුණලා. නිසි ප්‍රමිතීන්ට අනුකූලව ඒක කරන්න ඕන. ආවට ගියාට පෞද්ගලික විශ්ව විද්‍යාල ගේන්න  බැහැ. ප්‍රමිතිය හරි නම් ප්‍රශ්නයක් නැහැ.

ලංකාවේ පාසල් ක්‍රීඩාව විශේෂයෙන් මලළ ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා.
පරිපාලන සේවාවේ එක දෙක ශේ‍ර්ණියේ ක්‍රීඩා අධ්‍යක්‍ෂවරු අපට හිටියේ නැහැ. දැන් පුරප්පාඩු පුරවලා තියෙනවා.

පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් ඉගෙන ගන්න ලෝන් දෙන්න ඕන කිව්වා, බැරිද ගෙදර ඉන්න ළමයින්ට ලෝන් එකක්දීලා හරි පාසලට ගෙන්න ගන්න?
මේක සාමාන්‍ය තත්ත්වයක්. ඒක වළක්වන්න වැඩසටහන් ඉදිරියට ක්‍රියාත්මක කරනවා.

පසුගිය වසරේ  පාසල් කීයක් වසා දමා තිබෙනවද?
හරියටම මතක නෑ. සංඛ්‍යා ලේඛන බලලා කියන්න ඕන.

පාසල් කීයක් ආරම්භ කරලා තියෙනවද?
කුරුණෑගල එකක් ආරම්භ කළා. අවශ්‍යතාව අනුව කරගෙන යනවා.

ඔබ  කලාවට තියෙන්නේ මොනවගේ ඇල්මක්ද?
කලාව, සාහිත්‍ය, සෞන්දර්ය ජීවිතයට නැතුව වැඩක් නෑ.

ඒ වුණාට ඔබේ නිවස අසලම පාසලේ ගුරුවරයෙක් කවි ලියූ වරදට මාරු කරන්න යනවා කියලා ආරංචියි.
ඒක අසත්‍යයක්. කවි ලියූ වරදට නෙවෙයි. විදුහල්පතිවරයා කරපු පැමිණිල්ලක් අනුව විදුහල්පති දීපූ කාලසටහනට අනුව වැඩකටයුතු නොකරපු ගුරුවරුන් කිහිපදෙනෙක් ගැන විමර්ශනය කරලා තියෙනවා.

විදුහල්පතිවරයට විරුද්ධව ෆෙස්බුක් එකේ කවි ලියූ බවට චෝදනා කරලා තියෙනවද?
සෘජුව නැති වුණත් ඔහු ලියූ කවිවලින් විදුහල්පතිවරයා විවේචනය වෙනවා. නමුත් ගුරුවරයා මාරු කරලා නැහැ.

විදුහල්පති ඇමැතිවරයාගේ ගෝලයෙක්ලු.
මට ගෝලයෝ නැහැ.

ඒ සම්බන්ධ විමර්ශන වාර්තා කෝ?
ඒක මං ළඟ තියෙනවා.

රටට හෙළි කරන්නේ නැද්ද?
ඉදිරියේදී හෙලි කරනවා.

ඇමැතිට හිතවත් විදුහල්පති ඇමැතිගේ බලය පාසලේ පාවිච්චි කරනවා කියලා චෝදනාවක් තියෙනවා.
මගේ බලය කාටවත් පාවිච්චි කරන්න බැහැ.

මේ ආණ්ඩුව ටියුෂන් සම්බන්ධයෙන් දරන මතය මොකක්ද?
ටියුෂන්වලින් හරි දරුවො ඉගෙන ගන්නවා නම් ලොකු දෙයක්.

ඒ කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය ෆේල්?
ඔව්. අධ්‍යාපන අමාත්‍යාංශය සර්ව සම්පූර්ණ වෙලා නෑ. අඩුපාඩු ගොඩක් තියෙනවා ටියුෂන්වලට බැනලා වැඩක් නැහැ. අපේ වැරදි අපි හදාගන්න ඕන.

කසුන් ගනේවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: