අපිට ලැබෙන හැම අවස්ථාවෙන්ම බලන්නේ දක්ෂතා අතරට එන්න – ලහිරු තිරිමාන්න

September 6, 2017 | 8:25 am    0   62

අපිට ලැබෙන හැම අවස්ථාවෙන්ම බලන්නේ දක්ෂතා අතරට එන්න – ලහිරු තිරිමාන්න

කලක් ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වය දැරූ ලහිරු තිරිමාන්න වසර එක හමාරකට පමණ පසු පසුගිය ඉන්දීය සංචාරයේ අතරමැදදී එක්දින තරගාවලියට කැඳවන ලදී. අපේ පිතිකරුවන් එකා පසුපස එකා ක්‍රීඩාගාරයට ආපසු යත්දී අපේ ගෞරවය රැකදෙන්නට මහන්සු වුයේ මේ හුරුබුහුටි ක්‍රීඩකයාය. ඉරිදා ඇපල් තිරිමාන්න සමඟින් ඒ පිළිබඳව සල්ලාපයේ යෙදුනේ මෙලෙසිනි.

තිරිමාන්න කොච්චර කාලෙකින්ද නැවතත් ජාතික කණ්ඩායමට එක් වුණේ?
මම ටෙස්ට් තරගාවලියට හිටියා. ඊට පස්සේ මැච් එකක් ගැහුවෙ නම් මාස 19කින් විතර පස්සේ.

කැපිල්ලක් තිබුණ ද නැත්නම් සුපුරුදු දක්ෂතා නැති නිසා ද කණ්ඩායමේ හිටියෙ නැත්තේ?
සුපුරුදු දක්ෂතා අතර හිටියේ නෑ. ඊට අමතරව ආබාධ දෙක තුනකට ලක්වෙන්න සිදු වුණා. පසුගිය කාලේ ක්‍රීඩා කරන්න බැරි වුණේ ඒකයි.

ශ්‍රී ලංකා, ඉන්දියා තුන්වැනි එක්දින තරගයේදී තිරිමාන්න ලකුණු 80ක් රැස් කරපු එක ගැන මොකද හිතෙන්නේ?
ගොඩාක් සතුටුයි. මොකද මම පළවෙනි වතාවට මාස 19කින් විතර පස්සේ ඇවිල්ලා සෙල්ලම් කරපු මැච් එක. ඉතින් ගොඩාක් සතුටුයි හම්බුණු පළවෙනි තරගයෙන්ම දක්ෂතා අතරට එන්න ලැබීම ගැන.

කණ්ඩායමේ ක්‍රීඩකයින් මානසිකව වැටිලද ඉන්නේ?
එහෙම නෑ. කණ්ඩායමක් විදිහට ඇත්තටම මම ගොඩක් කාලෙකින් කණ්ඩායම ඇතුළට ආවේ. ක්‍රීඩකයෝ අතර ඉතාමත් හොඳ මානසික මට්ටමක් තියෙනවා. තරග පැරදුණා මේ දවස් ටිකේ. ඒ වුණාට කණ්ඩායමේ මානසික මට්ටම මං හිතන්නෙ හොඳ තත්ත්වයක තියෙනවා.

පල්ලෙකැලේ පැවැත්වුණ තුන්වැනි එක්දින තරගයේදී ප්‍රේක්ෂකයෝ හැසිරුණු විදිහ ගැන තිරිමාන්න මොකද හිතෙන්නේ? 

මං හිතන්නේ ඒ ගැන මට වැඩි දෙයක් කියන්න නැහැ. මොකද අපි හැමතිස්සෙම ක්‍රීඩකයන් හැටිහට හිතන්නේ කොහොමද තරගයක් දිනන්නෙ කියල. අපිට හම්බෙන හැම අවස්ථාවෙන්ම අපි බලන්නෙ කොහොම හරි දක්ෂතා අතරට එන්න. ඉතින් මම විතරක් නෙමෙයි සෙල්ලම් කරන 11 දෙනාම හිතන්නේ එහෙම. එහෙම ජයග්‍රහණ අතර ඉන්නකොට අපිත් එක්ක ඉන්නව වගේම ජනතාව මං හිතන්නෙ පරාජයේදීත් අපිත් එක්ක ඉන්නව නම් අපි ගොඩාක් සතුටු වෙනවා.

ඒ සිදුවීම පිළිබඳව ඉන්දියානු ටීම් එකේ අය කතා කළේ නැද්ද?
නෑ. මුකුත් එහෙම කතා කළේ නෑ.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියට එකතුවෙන්න සුදුසුකම් වටයට මුහුණදෙන්න ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවෙයිද?
එහෙම මං ඇත්තටම දන්නෙ නෑ. ගොඩක්ම කියපු විදිහට ඉතිරි තරග ටික අනිවාර්යෙන් ජයග්‍රහණය කළ යුතුයි. හැබැයි අපි ලෝක කුසලානය ගැන මුලින්ම හිතන්න කලින් අපි සුපුරුදු දක්ෂතා අතරට එන්න ඕනි කණ්ඩායමක් විදිහට. ඉතින් අපි අනාගතය ගැන හිතන්න කලින් මුලින්ම අපිට හම්බෙන තරගවලින් අපි කොහොමද ජයග්‍රහණය කරන්නෝනි කියලා බලන්න ඕනි. තරගයෙන් තරගයට යන එක තමයි අපි මේ වෙලාවෙ කළ යුත්තේ.

සංගක්කාර, මහේල අයින් වුණා කල් වැඩියි කියලා හිතෙන්නෙ නැද්ද?
නෑ. එහෙම හිතෙන්නෙ නෑ.

ඉදිරියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට එන්න බලාපොරොත්තුවක් නැද්ද?
ඇත්තටම එහෙම නායකත්වය ගැන අදහසක් නෑ මට. මොකද මම කණ්ඩායමට ආවෙ ගොඩාක් කාලයකට පස්සෙ. මං බලන්නෙ හැමතිස්සෙම මට ලැබෙන්නෙ මොන අවස්ථාවද ඒ අවස්ථාවෙන් උපරිමය කණ්ඩායමට දෙන්න. ඒක තමයි මගේ බලාපොරොත්තුව.

විකට් 300 සම්පූර්ණ වෙච්ච ගමන් මාලිංග කණ්ඩායමෙන් සමුගන්නවා කියන කතාව ගැන තිරිමාන්න මොකද හිතෙන්නේ?
මම ඒ ගැන දන්නෙ නැහැ. මොකද තැන් දෙක තුනකදි ඒක දැක්කා. ඇත්තටම මම දන්නෙ නෑ එහෙම සමුගන්නවද නැද්ද කියලා. ඒ ගැන මට කියන්න බෑ.
සංවාදය –  ගයන්ත වනසිංහ
සටහන – හෂාන් අනුරාධ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: