අපේ ආදරෙත් අවසානයක් දන්නේ නැතුව ඇවිත් ඔහේ පාවෙනවා. – ප්‍රේමවන්තයෝ

කෙනෙකුගේ මුළු ආත්මයම ස්පර්ශ කරන ප්‍රේමයත් හරියට මහ මුහුදේ අෑතට වෙන්න ගිලිලා ඉන්න නිසොල්මන් අයිස් කන්දක් වගේ. හරියට යන තැනක් නැවතුමක් නොදැන මේ අයිස් කන්දත් පාවෙනවා. අපිට පෙන්නේ මේ අයිස් කන්දේ පොඩි කොටසක් වුණාට ඊට වඩා මහ ගොඩක් මුහුද යට හැංඟිලා තියෙනවා. දවසින් දවස දශමෙන් දශමේ තමාව දියවෙලා යනවා කියලා දැන දැනත් මේ අයිස් කන්ද තවදුරටත් රැඳිලා ඉන්නවා. මට හිතෙන්නේ අසීමාන්තිකව ආදරය කරන ඔයත් මමත් මේ වගේ අයිස් කන්දක් කියලා.

අපේ ආදරෙත් අවසානයක් දන්නේ නැතුව ඇවිත් ඔහේ පාවෙනවා. සමහර වෙලාවට අපි දන්නවා මේ ගමනේ අවසානේ මොකද්ද කියලා. ඒත් අපි ඒක දන්නේ නෑ වගේ හිත රවට්ට ගන්නවා තවත් වෙලාවට මේ අවසානේ පිළිගන්න අකමැති නිසා අපි නොදන්න ගාණට ඉන්නවා හරිම නිසොල්මන් විදියට. ආදරේදී අපිට අනිත් පාර්ශවයට කියන්න දාහක් දේවල් හිතට එනවා. ඒත් අපි කියන්නේ ඒවලින් බොහොම පුංචි කොටසයි. සමහර වෙලාවට එයාගේ හිත රිදෙයි කියලා හිතලා අපි ගොඩක් දේවල් කියන්නේ නැතුව ඉන්නවා. මොන වරද වුණත් එන දුක, තරහව, වේදනාව මේ හැමදේම හිත යට හංගගෙන තනියම දුක් විඳිනවා. හැමදාම අනිත් කෙනාගේ හිත රිද්දවන්න අකමැත්තෙන් ඉන්න මිනිස්සු ආදරේදී අසීමාන්තිකව ජීවිතේ විඳවනවා. එහෙම අයගේ ජීවිතේ කාලෙත් එක්ක බොහොම හෙමින් දියවෙලා යනවා. ආදරේ එහෙමයි. මිනිස්සුන්ට බොහොම අසාධාරණ දේවල් විඳ දරාගෙන ආදරේ කරන්න පුරුදු කරවනවා. ඒකයි මම මුලින්ම කිව්වේ අසීමාන්තික ලෙස ආදරය කරන මිනිස්සු හරියට මුහුදේ ගිලිලා පාවෙන අයිස් කන්දක් වගේ කියලා.

ආදරය කියන්නේ නිරන්තරයෙන් අන්ත දෙකක දිවෙන අවිනිශ්චිත හැඟීමක්. ආදරේ හැමවෙලේම තියෙන්නේ ලැබීම හා නොලැබීම අතර. ඒ හැඟීම් දෙක අතරේ ‍ෙදාලනය වෙන ආදර කතාවක හිමිකාරයෙක් නම් ඔයා, ඔයාට කවදාවත් සැනසීමක් ලැබෙන්නේ නැහැ. මේ ගෙවෙන තත්පරෙත් ඔයා ඉන්නේ ඒ දෙගිඩියාවෙන්. ආදරේදි කරන්නේ ඒවගේ නොසන්සිඳෙන අවිනිශ්චිතබවක්් ඔයාගේ හිත ඇතුළට දාලා ඔයාගේ සැනසීම නැති කරන එක. ඒ බව දැන දැන ඔයත් මමත් කරන්නෙම ඒ සැනසීම කැමැත්තෙන්ම නැති කරගන්න එක.
හැමදේකදිම සීමාවකට යටත් වෙන අපි, සීමාවන් දමාගන්න අපි, ආදරේදි විතරක් සීමාවන් නැතිවම ආදරේ කරනවා. තමන්ට තමන්වත් පාලනය කරන්න දෙන්නෙ නැති අදෘශ්‍යමාන බලයක් තියෙනව වගේ තමයි ආදරේ අපිව හසුරුවන්නෙ. ආදරේදි මිනිස්සු දෙයක් වැරදි බව දැන දැනම ආයෙ ආයෙත් ඒ වැරැද්දම කරනවා. ඒ තරමටම මිනිස්සුන්ගෙ සීමාවන් මිනිස්සුන්ට අමතක කරන්න ආදරේට පුළුවන් වෙනවා.

පසුගිය දවසක මගේ යාළුවෙක් මෙහෙම කිව්වා. එක්කෝ උඹ ඔය ආදරේ සදහටම හිතින් අයින් කරගන්න ඕන. එහෙම නැත්තම් උඹ එයා උඹගෙ වෙනවද නැද්ද කියලා හිත හිත දුක් විඳිමින් ජීවත්වෙන්න පුළුවන් තරමට උඹේ හිත ශක්තිමත් කරගනින් කියලා. ඒ වෙලාවේ මහ ලොකුවට ඒ ගැන හිතුවෙ නැතත් පස්සේ ඒ කියපු කතාව හිතන්න ගොඩක් දේවල් ඉතුරු කරලා තිබුණා. ඇත්තටම අපි ආදරේ කරද්දි අපි ගන්න ඕන තීරණ හරිම වෙලාවෙදි ගන්න ඕන කියලා මට දැන් හිතෙනවා. අත්හරින්න ඕන වෙලාවෙදි අපිට ඕනම දෙයක් අත්හරින්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැති වුණොත් ඒ දේ කොහොම මොන විදියට වෙනස් වුණත් ඒ හැමදේම දරාගන්න පුළුවන් තරමට ඔයාගේ හිත ශක්තිමත් කරගන්න ඕන. මට හැඟෙන හරිම දේ ආදරේදි ගන්න තියෙන ඕනම තීරණයක් ඒ වෙලාවෙදි ගන්න ඕන කියන එකයි.

ආදරේදි අපි බොහොම පරිස්සමෙන් දේවල් ළං කරගන්න ඕන ඒ වගේම තමයි බොහොම කල්පනාවෙන් දේවල් අයින් කරන්න ඕන. මේ දෙකම හරියට කරගන්න බැරි වුණොත් වෙන්නේ අයිස් කන්දට වෙන දේ. මොකද හැම පීඩනයක්ම දරාගෙන ඉන්න අයිස් කන්ද එක මොහොතකදි තමන්ට තමන්වත් නැති කරගෙන තමන් අවට තියෙන දේවලුත් ගිල්ලවගෙන දියවෙලා යනවා. අපිත් අපේ ආදරේ නිසා දවසක මේ හැමදේම නැති කරගන්නෙ නැතුව බොහොම ඉවසීමෙන්, කල්පනාවෙන් ආදරේ කරමු නේද?

උපුලි පුන්සරා

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)
Like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 19 =