අපේ උණට වඩා අමාරු දොස්තර මහත්තුරුන්ගේ උණ

April 13, 2017 | 5:00 pm    0   160

අපේ උණට වඩා අමාරු දොස්තර මහත්තුරුන්ගේ උණ

අවුරුදු කාලයේ අපට ඇති සතුට නැතිවන පුවතක් පසුගියදා අසන්නට ලැබුණා.ඒ,රජයේ වෛද්‍ය නිලධාරීන් වැඩවර්ජනයකට සුදානම් වන පුවතයි.

මේ පුවත සමග ඇසුණ තවත් පුවත් වූවේ දිවයින පුරා උතුර නැගෙනහිරද ඇතුළුව බොහෝ ප්‍රදේශවල එච් 1 එන් 1 කාණ්‌ඩයට අයත් ඉන්ෆ්ලුවන්සා උණ, ඩෙංගු හා ඩෙංගු රෝගයට සමාන වෛරස්‌ උණ රෝගයක්‌ පැතිර යන බවයි.

මෙම උණ රෝගයෙන් රට පෙළෙද්දී රජයේ වෛද්‍ය නිලධාරීන් මාලබේ පුද්ගලික විශ්ව විද්‍යාලයක් පෙන්වමින් මෙවර නටන්නේ කුමන පදයක් ද යන්න අපට පැහැදිලිව තේරුම් ගැනීමට හැකි අතර මීට පෙර ද ඔවුන් එවැනි නැටුම් නැටූ බව අපට හොඳ හැටි මතකය.

වෛද්‍ය සේවා සහ භාණ්ඩවල ගාස්තු නියාමනය,පිටිසර වෛද්‍ය හිඟය,රාජ්‍ය ඔසු සැල් රට පුරා ආරම්භ කිරීම,කිරි පිටි විරෝධය,සොයිසා රෝහලේ මාතෘ මරණ,ළමා මන්ද පෝෂණය,බාල සේලයින්,බාල එන්නත් සහ බෙහෙත් වර්ග,බාල ශල්‍යාගාර අත්වැසුම්,ග්ලයිෆොස්ට් (Glyphosate) අඩංගු රසායන ද්‍රව්‍ය ආසනික් අඩංගු කෘමි සංයෝග,උතුරු මැද වකුගඩු රෝගය, ඉන්දියන් වෛද්‍යවරුන්ගේ ආගමනය,බෝ නොවන රෝග නිවාරණය වැනි මාතෘකා ඔස්සේ  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරීන් පසුගිය කාලයේ නැටූ නැටුම් අමතක කළ නොහැක්කේ ඒවා පසුපස තිබූ පටු අරමුණු පසුව හෙළිවූ නිසායි.

තම වැටුප් හා දීමනා,තම  සුබසාධනය,තම ප්‍රවාහන පහසුකම් හා වරප්‍රසාද,තම අභිමතය පරිදි සේවා උසස්වීම් හා ස්ථාන මාරු සිදු කිරීම,තමන්ට විරුද්ධ සාමාජිකයන්ගෙන් සහ දේශපාලන නායකයන්ගෙන් පළිගැනීම,අන් අයගේ අයිතිවාසිකම් කප්පාදු කිරීම සහ අනෙක් වෘත්තීන් ඉහළට ඒම වැළක්වීම  මෙම වැඩවර්ජන පසුපස තිබූ කූඨ අරමුණුයි.

ඔවුන් රෝගී ජීවිත බිල්ලට තබමින් අරගල කළ ආකාරය අනුව එම ප්‍රශ්ණ දැන් විසඳී තිබිය යුතුයි.

එසේනම්  එන්නත් සහ රසායන ද්‍රව්‍ය ආනයනය කර බෙදාහරින ආයතන අදත් සුපුරුදු පරිදි සිය කටයුතු කරගෙන යන්නේ ඇයිද?.. හොර වෙදුන් 30000ක් පමණ තවමත් නිදහසේ ප්‍රතිකාර ලබාදෙන්නේ ඇයිද?..බෝ නොවන රෝග සහ මන්දපෝෂණය තුරන්වී තිබෙනවා ද?..,උතුරු මැද වකුගඩු රෝගය සහ දුර බැහැර ප්‍රදේශවල වෛද්‍ය හිඟය විසඳී තිබෙනවා ද? යන ප්‍රශ්න රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ නිලධාරීන්ගෙන් ඇසිය යුතුමය.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වත්මන් පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය විනාශ කිරීමේ  ඉලක්කයට පෙර අවසන් ඉලක්කය වූයේ  ඉන්දීය  හෝ වෙනත් විදෙස් වෛද්‍යවරුන්ගේ පැමිණීම වළක්වාලීමයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඉන්දීය සෞඛ්‍ය ප්‍රමිතිය සම්බන්ධයෙන්  ප්‍රශ්න කරමින් අර්බුදයක් ඇති කිරීමට උත්සහ දැරුවේ ඉන්දීය  වෛද්‍යවරුන්ගේ ආචාර ධර්ම ඉහළ මට්ටමක පැවතීම මෙන්ම ඔවුන්ගේ කාර්යක්ෂම බව සම්බන්ධයෙන් බියට පත්වූ නිසා බව අද වන විට රටම දනී.

උපාධි සහ පශ්චාත් උපාධි සඳහා ඉන්දීය පොත් පරිහරණය කරන අතරම බොරු විරෝධයක් මවා පෑ ඔවුන් සමාජයට මුහුණ දෙන්නේ ‘රෙදි ඇඳගෙන ද ‘ යන්න විමසිය යුතු කරුණක් වනවා.

මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පෙන්වමින් වෙනත් ගමනක් යන මෙම සංගමයේ නිලධාරීන්ට අනුව මෙරට වෙනත් පුද්ගලික අධ්‍යාපන ආයතන නොමැති විය යුතුයි.

එහෙත් අවසානයේ සිදුව ඇත්තේ පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය පමණක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ  කුහකත්වය නිසා නැවතීම පමණකි.

කෙසේ වෙතත් රටම බිළිගත් රෝග කිහිපයක් පැතිරෙද්දී අහිංසක මිනිසුන් බිළි ගැනීමට උත්සාහ දරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මේ වර්ජනය පිළිබඳව රටම බලාසිටින්නේ ප්‍රසාදයකින් නොවන බව ඔවුන් වටහා ගත යුතුමය.

 

උපුටා ගැනීම – නෙත් ගොසිප්

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: