අපේ පිනෙන් තමයි එජාපය හඳ බලන්නේ – දයාසිරි ජයසේකර

August 21, 2017 | 4:19 pm    0   555

අපේ පිනෙන් තමයි එජාපය හඳ බලන්නේ – දයාසිරි ජයසේකර

මේ දිනවල මෙරට දේශපාලන පොර පිටිය ඉතාමත් උණුසුම්. සෑම තැනකම කතාවෙන්නේ විශ්වාසය භංගවීම පිළිබඳව. ක්‍රීඩාවත් එහෙමමයි. විශේෂයෙන්ම ක්‍රිකට් අර්බුධය හොදටම ඔඩු දුවලා තියන්නේ. මේ හැමදේම ගැන කතා කරන්න හොදම කෙනා ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර. ඉතින් අප එතුමා එක්ක මේ ගැන කතාබහ කලේ ඒ නිසාමයි.

ඔබ ගොඩනැගුණේ එක්සත් ජාතික පක්ෂයෙන්, තමන් ගොඩනැගිච්ච පක්ෂය අර්බුදයක තියෙනකොට මොකද හිතෙන්නේ?
ඕනෑම පක්ෂයක අර්බුද ගැටුම්, වාද විවාද, ඇතිවෙනවා මේකත් එහෙම සිද්ධියක්. මම දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක්. එක්සත් ජාතික පක්ෂයේ වෙන දේවල් මට අදාළ නෑ. අදාළ කරගන්නෙත් නෑ.

දුකක් නැද්ද හිටපු පක්ෂයට එහෙම වෙන එක ගැන?
නැහැ. ඒක ඉතින් එයාල විසඳා ගනී. ඒක එයාලගේ ප්‍රශ්නයක්නේ.

යහපාලන ආණ්ඩුව හොරු අල්ලනවා කියල සද්දේ දාගෙන විසිල් ගහගෙන මාධ්‍ය සංදර්ශන තියාගෙන ආපු ගැම්ම පහුගිය කාලේ හේදිලා ගිහින් තිබුණේ. දැන් මොකද මේ එකපාරටම හොරු අල්ලන්න හිතුණේ?
හොරු අල්ලන්න ආපු කට්ටියම හොරු එක්ක ඩීල් දාගෙන ඉඳලා එයාලගේ හොරු මාට්ටු වුණාම තමයි දැන් ආයේ මතක් වෙලා තියෙන්නේ මේ රටේ හොරු හිටියා. අපි එනකොට එයාලා අල්ලනවා කියලා ජනතාවට පොරොන්දු වුණා. අනේ අපිට අමතක වුණා. අපේ එක්කෙනෙක් මාට්ටු වුණා දැන් නම් හොරු අල්ලන්න ඕන කියලා දැන් තමයි සිහිය එළඹිලා තියෙන්නේ.

හොරුත් එක්ක ඩීල් දැම්මේ කවුද?
රටම දන්නවා කවුද කියලා.

මොකද්ද ඒ ඩීල් එක? ඩීල් දැම්ම කෙනාගේ නම හෙළිකරන්න බය ද?
ඔය දාපු ඩීල් එන්නේ එළියට. බයක් නෑ. ජනතාව අඳුනගෙන ඉවරයි කවුද ඩීල්කාරයෝ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය භේද කරන්න. තමන්ගේ නොහැකියාව වහගන්න ආරවුල් ඇති කරවන්න ඩීල් දැම්මේ. දැන් ඒ හොරුත් එක්ක ඉඳලා එයාලගේ හොරු එළිවෙලා. දැන් ඉතින් හොරු අල්ලන්න වෙනවනේ. ඔය අල්ලනවා කිව්ව හොරු කියපු කාලෙ ඇල්ලුව නම් ඔය ප්‍රශ්න එයාලට නැහැ.

නම නොකියා චෝදනා කරන්නේ විජේදාස රාජපක්ෂ ඇමැතිවරයාට ද?
නෑ.

ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයම මහින්ද රාජපක්ෂ පාර්ශවය එක්ක ඩීල් දාල මෛත්‍රී ජනාධිපතිට එරෙහිව. එහෙමද?
මේක කවුරුත් දන්න ප්‍රසිද්ධ රහසක්. කාටද ඔය උවමනාව තියෙන්නේ. හොරු අල්ලන කියල ආව නම් ඇයි හොරු අල්ලන්නේ නැත්තේ. ඔය හොරු අල්ලනව කියන අය ගාව තමයි ඒකට උවමනා බලය තියෙන්නේ. මේ අපි ගාව නෙමෙයි. එතකොට කවුද එහෙම ඒක පස්සට දාන්නේ? සත්‍ය පැහැදිලියි. නොහැකියාව වහගන්න කරන කුමන්ත්‍රණයක් මේක.

ඔය කියන්නේ රවී කරුණානායක ඇමතිකමෙන් ඉවත් කිරීමට එරෙහිව පළියට පළිය ගන්න එජාපයෙන් කරන වැඩක්ද මේ නැවත හොරු අල්ලනවා කියන එක?
ඔව්. රාජිත ඇමතිවරයා, පාඨලී ඇමතිවරයා මේ ගැන දිගින් දිගටම කතා කළා. මේ හොරු, දුෂණ වංචා කරපු අය අල්ලන්න රටට හෙළිකරන්න කියන එක. නමුත් ඒක කරන්න ඕන තැන්වල අය නිදාගෙන වගේ සද්දේ වහලා පැත්තකට වෙලා ඒ ගැන අමතක කරලා හිටියේ.

ශිරන්ති රාජපක්ෂ, රෝහිත රාජපක්ෂ ත්‍ක්‍ෂෘ අරගෙන ආවේ ඒ පළිය ගන්නද?
කට්ටියම සද්ද නැතුව ඉදලා, දැන් මේ සිද්දිය මේ වෙලාවේ මතුවෙන්නේ නිකන් නෙමෙයි.

කට්ටියම සද්ද නැතුව හිටියට ඔබතුමාට කතා කරන්න තිබුණනේ. ඇයි කට වහන් හිටියේ?
කට වහන් හිටියේ නෑ. අපිවත් හොරුන්ගේ ගොඩටනේ දැම්මේ. අපි ආවේ මේ රජය ගෙනියන්න බැරි අවස්ථාවක ජනාධිපතිතුමා කළ ඉල්ලීමකට සහයෝගය දීලා මේ රජය පාර්ශව කිහිපයක් ලෙස එකතුවෙලා ඉදිරියට කරගෙන යන්න. හොරු අල්ලන්න කියල ආපු කට්ටිය ඒක හරියට කරන්න ඕන. ඒක නෙමයි එයාල කළේ.

හොරු හදපු මත්තල, හම්බන්තොට හොරු අල්ලන්න ආපු මේ ආණ්ඩුව විකුණගෙන කනවා කියලා චෝදනා එල්ල වෙනවා?
එකනම් පිළිගන්න බැහැ. රට අන්ත අගාධයකට යන වෙලාවේ මේ ආණ්ඩුව පිහිටුවන්නේ. එක පැත්තකින් ජිනීවා යෝජනා එක්ක ඇවිත් තිබුණු බරපතළ චෝදනා හේතුවෙන් රටට සම්බාදක පැනවෙන්න ඉඩ තිබුණා. අනිත් එක රට ජාත්‍යන්තරයට වූ ණය කිසිසේත් දරගන්න බැරි තත්ත්වෙක හිටියේ.

හම්බන්තොට වරාය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ රජය නියෝජනය කරන ඇමතිවරු සියලු දෙනා එකඟ වෙලා නෙමෙයිද තීරණයකට ආවේ?
එකඟත්වයට ඇවිල්ල තමයි තීරණය කළේ.

හම්බන්තොට මත්තල විකිණුවේ නෑ කිව්වට විජේදාස රාජපක්ෂ ඇමතිවරයා කියනවනේ ආයේ ලංකාවට අයිති කරන් මිසක් පස්ස බලන්නේ නෑ කියලා?
ඒක එතුමාගෙන් තමයි අහන්න වෙන්නේ. මොනවද මේ කියන්නේ කියලා.

දැන් එතුමාට ගෙන්න යන විශ්වාසභංගය ගෙන්නවොත් ඒකට පක්ෂව ඡන්දය දෙනවද?
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ට එරෙහිව ආණ්ඩු පක්ෂයෙන්ම විශ්වාවාසභංගයක් ගේන්නේ නැහැ කවදාවත්. ඒක මහා විහිළුවක්. ඕක නොතේරෙන අඳ බාලයෝ ටිකක් තමයි ඔය ඕක කියවන්නේ. එක එක්කෙනාගෙන් මාසෙට රුපියල් ලක්ෂයක් විතර අරන්, වාහනයක් අරන්, නිකන් දෙන දිරච්ච ලණු කාලා බොරුවට කෑගහනවා.

එතකොට එකසත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ඔහුට කරන චෝදනා බොරු ද?
ඒවා බලාගන්න එක්සත් ජාතික පක්ෂයේ කට්ටියම දැනගන්න ඕන. අපිට බෑ ඕවට අතගහන්න.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා මේ ප්‍රශ්නයේදී මොන පර්ශවයේ ද ඉන්නේ? විජේදාස පාර්ශවයෙ ද? එජාප පාර්ශවයෙ ද?
එතුමා රජයේ නායකයා. ඕවා විසඳගන්න ඕන කට්ටිය විසඳ ගනීවි. එතුමා රජයේ කටයුතු කරාවි.

මොකද මේ ඡන්දය කල් දදා ඉන්නේ, බයද පරදී කියලා?
අපි බය නෑ. අපි කියන්නේ ඡන්දේ තියන්න කියලා. අපි කියන්නේ පළාත් සභා මැතිවරණය හරි තියන්න කියලා.

ඒ වුණාට චෝදනාව තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ මොහොතේ මැතිවරණයකින් ජයගන්න බැරි නිසා පස්ස ගහනවා කියලා.
එක බලන්න ඡන්දයක් තියන්න ඕන. මෙහෙම කියන්න බැහැනේ පුළුවන් ද බැරිද කියලා. අපි කියන්නෙත් තියන්න මේ මැතිවරණය. අපි ලෑස්තියි කියලා.

දැන් මැතිවරණයකට ගියොත් ඔබේ පක්ෂය දෙකට කැඩී යාමේ අවදානමක් තිබෙනවා?
කැඩෙනවද නැද්ද බලන්න ඡන්දයක් තියන්න ඕන. එතකොට බලමු කැඩෙනවද නැද්ද කියලා. කෙටි කාලීන පරාජයන් දිගු කාලීන ජයග්‍රහණ බවට පත්වෙනවා.

යහපාලන ආණ්ඩුව කිව්වට නිශ්චිත දැක්මක් නැහැ, එහෙට මෙහෙට ඇඹරෙනවා කියන චෝදනාව වසර දෙක පුරාම එල්ල වෙනවා?
දැක්මක් තියෙනවා. නමුත් පක්ෂ දෙකක එකතුවක් තියෙන නිසා ගැටුම් තිබෙනවා. අවුරුදු හැටක් හැත්තෑවක් දෙපැත්තට බෙදිලා මරාගත්ත පක්ෂ දෙකක් මේ එකතු වෙලා තියෙන්නේ. ඉතින් එකඟතාවයන්ට එනකොට ප්‍රශ්න ඇතිවෙනවා.

ජනාධිපතිවරයා ඇතුළු නිදහස් පක්ෂය අගමැතිවරයාගේ එහෙයියෝ වෙලා කියල චෝදනාවක් එල්ල වෙනවා?
චෝදන්නා කරන්න පුළුවන් කාට වුණත්. හැබැයි අපි එක්සත් ජාතික පක්ෂයටවත්, වෙනත් පක්ෂයකටවත් මුක්කු ගහන ජාතියේ පක්ෂයක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂය ගෙනාපු යෝජනා විශාල ප්‍රමාණයක් අපි පරාජය කරලා තියෙනවා. එහෙයියෝ වෙලා එහෙම කරන්න බැහැනේ. එහෙයියෝ වෙච්ච අය ඇති. හැබැයි අපි එහෙම නෑ.

එජාප මන්ත්‍රීවරු කියනවනේ මේක එයාලගේ ආණ්ඩුව, ඔය මන්ත්‍රීකම ඔබ ඇතුළු පිරිසට පිනට ලැබුණු දෙයක් කියලා?
අපි කියන්නේ මේක අපේ ආණ්ඩුව. අපේ පිනෙන් තමයි එයාල හඳ බලන්නේ. ඔය වැට් යෝජනාව ගෙනාවා කාර්තුවකට මිලියන තුනකට අඩු කරනවා කියල. එහෙම කරා නම් රටේ ලොකු අර්බුදයක් එනවා. අපි තමයි එක මිලියන 5 කළේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනකොට අන්තිම නරක තත්ත්වෙක තිබුණේ. එක වෙනස් කළේ අපි. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් බරපතළ හානිදායක යෝජනා ඉවත් කරන්න කටයුතු කළේ අපි. එජාපයට තනියම බෑ ඒක කරන්න.

එජාපය අර්බුදයට ලක්වෙනවා කියන්නේ යහපාලන ආණ්ඩුවම අර්බුදයකට ලක්වෙනවා කියන එක?
නෑ එක එහෙම වෙන්නේ නැහැ. එයාලගේ පක්ෂේ අර්බුදය රජයට අදාළ නැහැ. රජය වැඩ කරගෙන යනවා.

ක්‍රිකට්වලට මොකද මේ වෙලා තියෙන්නේ ?
ජයග්‍රහණ අත්වෙලා තියනවා, පරාජයන් අත්වෙලා තියනවා. ඉන්දියාව මේ වෙලාවේ ලෝකයේ හොඳම කණ්ඩායම. ලෝකේ අනිත් රටවල් එක්කත් ඔවුන් ඉතා හොඳින් ටෙස්ට් තරගවලට මුහුණදෙනවා. අපෙත් අඩුපාඩු තියනවා. අපට දැන් ඉන්න ටෙස්ට් කණ්ඩායම වෙනස් කරන්න ඕන කියල මං හිතන්නේ නැහැ. ඒක හොඳ කණ්ඩායමක්. ඉස්සරහට නැගීමක් දකින්න අවුරුද්දක් දෙකක් යයි.

මේ ප්‍රශ්නය තියෙන්නේ කණ්ඩායමේ ද? ක්‍රිකට් පරිපාලනයේ ද?
ක්‍රීඩකයන්ගේ ප්‍රශ්න තිබෙනවා. ඔවුන්ගේ ෆිට්නස් සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණා. ඒක මුළු රටම පිළිගත්තා. පරිපාලනය තුළ අර්බුද තිබෙනවා. පුහුණුකරුවන් වරින් වර මාරු කිරීම මත ගැටලු ඇති වුණා.

අර්ජුන රණතුංග ඇමතිවරයා දිගින් දිගටම චෝදනා කරනවා තිලංග සුමතිපාල කියලා සූදුකාරයෙකුට ක්‍රිකට් භාර දීපු නිසා මේ ප්‍රශ්න ඇතිවෙලා තිබෙන්නේ කියලා?
පරදිනකොට හැමෝම ඔහොමනේ. පරදුනහම දිනපු මිනිහගේ වැරදි කියනවා. අර්ජුනටත් ඒක වෙලා තියෙන්නේ. ක්‍රිකට් පරිපාලනය ගැන ඔහු නගන චෝදනා බහුතරය මං ප්‍රතික්ෂේප කරනවා. තිලංගයි, එයයි අතර ප්‍රශ්නෙට මට අත ගහන්න බැහැ. එයාල ඡන්දෙන් පත්වුණ මිනිස්සු. එයා තිලංගට සූදුකාරයා කිය කියා මේකේ සභාපති කරන්න ගෙනා පුද්ගලයා වසර ගණනාවක් මේ ක්‍රීඩාව වළ පල්ලට යවන්න කටයුතු කළ එක්කෙනෙක්. එතකොට අර්ජුන ඇමතිවරයාගෙන් අහන්න තියෙන්නේ ඒකද යහපාලනය කියලා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ බලය චාලි ඔස්ටින් කියන ක්‍රීඩකයින්ගේ කළමනාකරුවෙකු අත්පත් කරගෙන බලපෑම් කරන බවට චෝදනා එල්ල වෙනවා?
ඒ සම්බන්ධයෙන් වහාම තීරණයක් ගන්න කියල මන් දැනුම් දීලා තිබෙනවා. එක පුද්ගලයෙකුට ක්‍රීඩකයින් හත් අට දෙනෙක් මෙහෙයවන්න තිබෙන හැකියාව අවලංගු කරලා එක් කළමනාකරුවෙකුට එක ක්‍රීඩකයෙක් පමණක් මෙහෙයවීමේ කාර්ය පමණක් ලබා දෙන්න කියල ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දීලා තිබෙනවා. ඒක ක්‍රීඩා නීතියටත් ඇතුළත් කරන්න කටයුතු කරනවා.

මේ තිබෙන චෝදනා එක්ක තිලංග සුමතිපාල ඉල්ලා අස්විය යුතුයි කිව්වොත්?
එහෙම මැච් එකක් දෙකක් පරාද වුණා කියලා සභාපති ඉල්ලා අස් වෙන්න කිසිම උවමනාවක් නැහැ. එහෙම කරනවා නම් රටේ සියලුම සභාපතිවරුන්ට අස් වෙන්න වෙයි. ප්‍රශ්න තිබෙනවා නම් අපි පරීක්ෂණ කරනවා. අන්න එතැනදී වැරදි නම් අස් වෙන්න වෙයි. නැත්නම් ඔහු වැඩපිළිවෙලක් කරගෙන යනවා, අපිත් සහයෝගය දීල ඒක කරගෙන යනවා.

පොලිස්පති පුජිත් ජයසුන්දර පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ අවස්ථාවෙදි කතාබහට ලක්වුණා. ඒ පීඩනයට ලක්වූ පුද්ගලයා ඔබෙන් ඉල්ලුවොත් නීතිඥවරයෙක් ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටින්න කියලා?
මම ඔහු වෙනුවෙන් පෙනී සිටිනවා. මට පොලිස්පතිත් එකයි, සාමාන්‍ය මනුස්සයත් එකයි. හැබැයි දැන් මට ඇමතිකමේ ඉඳන් නඩු කතා කරන්න හැකියාවක් නැහැ.

කසුන් ගනේවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: