අලුත් අවුරුදු සමයේ වැඩිපුරම වටලලා තියෙන්නේ අවුරුදු කෑමලු
April 14, 2017 | 10:00 am 0 215

සිංහල දෙමළ අලුත් අවුරුදු සමය නිමිත්තෙන් රට පුරා ආපනශාලා ඇතුළු ආහාර නිෂ්පාදන ආයතනයන් 19730 ක සිදු කළ වැටලීම්වලින් ආහාර අත්අඩංගුවට ගැනීම් 3412 ක් සිදු කළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදනය කළ ආයතනයන් 2716 කට එරෙහිව නඩු පවරන බව ද ඒ මහතා පැවැසුවේය. උත්සව සමය වෙනුවෙන් මිනිස් පරිභෝජනය සඳහා නිෂ්පාදනය කරන ආහාර සම්බන්ධයෙන් අප්‍රේල් 01 වැනිදා සිට වැටලීම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් උපදෙස් මත මේ වැටලීම් සිදු කළ බව ද ඒ මහතා කීය.
අවුරුදු උත්සව කාලයේදි කළ වැටලීම්වලදි වැඩිම වැටලීම් ප්‍රමාණයක් සිදු කළේ රසකැවිලි, පොල්තෙල්, පිටි වර්ග ආශ්රිත නිෂ්පාදනයන් සඳහා බවත් බස්නහිර පළාතේ වැඩිම වැටලීම් සිදු කළ අතර වයඹ හා දකුණ පළාත්වල මීළඟ වැඩිම වැටලීම් සංඛ්‍යාවක් සිදු කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.
රට පුරා පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 342 ම ආවරණය වන පරිදි මේ වැටලීම් සිදු කළ බවත් ඒ සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000 ක් පමණ සහභාගි වූ බවත් උපුල් රෝහණ මහතා පැවැසුවේය.