අවුරුදු සැමරීමට ගිහින් දැනටමත් 805ක් රෝහලේ

April 13, 2017 | 11:00 am    0   174

අවුරුදු සැමරීමට ගිහින් දැනටමත් 805ක් රෝහලේ

සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට යාම හේතුවෙන් සිදු වූ අනතුරු නිසා පුද්ගලයන් 805 ක් ජාතික රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණ පුද්ගලයන් 293 ක් නේවාසිකව ප්‍රතිකාර ලබා ගත් බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
පසුගිය 09,10, 11 දිනයන්හි රෝහලට රෝගීන් ඇතුළත් කළ දත්ත ඇසුරෙන් මේ තොරතුරු ලබා ගත් අතර බහුතරයක් පිරිස අවුරුදු කාලය සැමරීම සඳහා නිවෙස්වල තීන්ත ගෑමට යාම, අලුත්වැඩියා කටයුතු සිදු කිරීම, අවුරුදුවලට බඩුබාහිරාදිය මිලදී ගැනීමට ගොස් මහා මාර්ගයේ සිදු වන අනතුරු යනාදි කාරණා නිසා වැඩිපුර හදිසි අනතුරුවලට ලක්ව පුද්ගලයන් රෝහලගතව ඇති බව ඒ මහතා පැවැසුවේය. පසුගිය වසරේ අවුරුදු දිනයන් වන 12, 13, 14, 15 දිනයන්හි අනතුරුවලට ලක් වීම නිසා රෝහල්ගත වීම් 938 ක් පැවැති බවත් මද්‍යසාර භාවිතය හේතුවෙන් බහුතරයක් පුද්ගලයන් හදිසි අනතුරුවලට ලක්වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
මහාමාර්ග අනතුරු, හිංසන ක්‍රියා, ක්‍රීඩා අනතුරු, ගිනිකෙළි භාවිතය, වැටීම්, නිවසේ සිදු වන අනතුරු හේතුවෙන් බහුතරයක් පුද්ගලයන් අනතුරුවලට ලක් වන බවත් මේවා වළක්වා ගත හැකි අනතුරු බවත් ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය පැවැසුවාය. උත්සව කාලය තුළදී මත්වතුර භාවිතයෙන් තොරව, ආවේගශීලි නොවී සිටින්නේ නම් හදිසි අනතුරු වළක්වා ගත හැකි බවත් ගිනිකෙළි භාවිතයේදි අතේ තබාගෙන රතිඤ්ඤා පත්තු කිරීමට යාමෙන් වැළැකී සිටිය යුතු බවත් ඇය අවධාරණය කළාය.
ගිනිකෙළි භාවිතයේදි පිළිස්සීමක් සිදු වුවහොත් විනාඩි 20 ක් පමණ සිසිල් ජලයේ පිළිස්සුණු ස්ථානය බහා තබා පිරිසිදු රෙදි කඩකින් වෙළා වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණිය යුතු බවත් හදිසි අනතුරක් නිසා ඇඟිල්ලක් වෙන් වුවහොත් වෙන් වූ ඇඟිල්ල පොලිතීන් කවරයක බහා පිරිසිදු ලෙස අයිස් කැට භාජනයකට බහා වහාම රෝහල වෙත පැමිණිය යුතු බවත් ඇය ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: