අසම්මත වුණත් අනියම් පේ‍්‍රමය සුන්දරයි

March 15, 2017 | 2:00 pm    0   744

අසම්මත වුණත් අනියම් පේ‍්‍රමය සුන්දරයි

තමන් වටේ කැරකෙන ගමන්, තරුවක් වටේ කැරකෙන ආකාශ වස්තුවක ජීවත්වෙන ජීවින්ගෙන් මිනිස්සු කියන ජීවි විශේෂය ඉරටත් කලිං ඇහැරිලා එක හුස්මට එක පොදියට දඩිබිඩියේ කිටි කිටියේ අනුන් වටේ කැරකි කැරකි එක හැල්මට දුවන්නෙ මුළු ලෝකෙම අනෙකාට කලියෙං අල්ලන්න හිතාගෙන. මිනිස්සු තමන්ගෙ වාසියට, නෑ එහෙම කියන එක අසාධාරණයි, පජාතයි වගේ නං මෙහෙම කියමුකෝ මනුෂ්‍ය සංහතියේ යහපැවැත්ම උදෙසා ගොඩනඟාගත්තු රීති මාලවකට අනුව ජීවත් වෙන්න හුරුවෙලා ඉන්නවා. ඒවට කියනවා පොදුවේ සංස්කෘතිය, සිරිත් විරිත් කියලා. එහෙමත් නැත්නම් සමාජ සම්මතයන් කියලත්. ඒ අතරින් සමහර සමාජ සම්මතයන් ඒ ඒ රටවල නීති බවටත් පත්වෙලා තියෙනවා. ඒත් මේ සමාජ සම්මත පළාතෙන් පළාතට රටවල්වලින් රටවලට වෙනස් වෙනවා. ඒ කොහොම වුණත් ලෝකේ ජීවත් වෙන ගෑනු මිනිස්සුන්ගෙන් අති බහුතරයක් මේ කියන සමාජ සිරිත් විරිත්, නැත්නම් සමාජ සම්මතයන් ඉස්සරහදි හැඟීම් දැනීම් ලොප් කරගන්නවා. එහෙමත් නැත්නං නිර්වින්දනය කරගන්නවා. මාක්ස්ට අනුව කියනව නං මේ ක‍්‍රමය ඇතුළෙදි මිනිස්සු තමන්ගෙ හැඟීම්, ආශාවන් ආත්මාර්ථකාමි ගණන් බැලීම් කියන අයිස් වතුරෙ ගිල්වනවලූ. මිනිස්සු බයයි පිළිගත්තු සමාජ සම්මත බිද දාන්න ගියොත් සමාජයේ මේ දක්වා තමන් ගොඩනඟාගත්තු තත්ත්වය විනාශ වෙයි, සමාජයේ ගැරහුමට ලක්වෙයි කියලා.
ඒ විදිහට හිරිවට්ටගත්තු හැඟීම් සහිත මිනිස්සු මවා ගත්තු ප‍්‍රතිරූපයක් සම්මත සමාජය ඉස්සරහ තියලා තමන්ගෙ ජීවිත අති සාර්ථකයි කියලා පෙන්නන්න තතනනවා. නමුත් තමන් හිත ඇතුළේ තෙරපගෙන ඉන්න අසම්මතයි කියලා මහා සමාජය සම්මත කරපු හැඟීම් මුදා හරින්න විවිධ විදියට මිනිස්සු උත්සහ කරනවා. තරුණ වයස කියන්නෙම නාහෙට අහන්නැති මහ එපා කරපුම කාලේ විදිහටනෙ හුඟක් වැඩිහිටියෝ අර්ථ දක්වන්නේ… ඉතිං අන්න ඒ තරුණ වයසෙදි හුඟක් දෙනා සමාජෙ ඇතුළේ ජනප‍්‍රිය වෙන්න නැත්නම් වැඞ්ඩෙක් වෙන්න නොකරන දෙයක් නෑ. එතනදි අර කලිං කියපු සමාජ අසම්මතයි කියන දේවල් කරලා සමාජය ඉදිරියෙ කැපී පෙනෙන්න උත්සහ කරනවා. ඒ උත්සහයන් සමහර අවස්ථාවලදි සාර්ථක වුණත් සම්මත රාමුවක් ඇතුළේ හිරවෙච්ච, නියම කරපු පාට කන්නාඩි අස්සෙන් ලෝකෙ දිහා බලන, දඩිබිඩියේ ලෝකෙ අල්ලන්න දුවන මිනිස්සුන්ට මේ අසම්මත දේවල් කරන අයව පේන්නෙ අමු ම අමු පිස්සෝ නැත්නං කාලකන්නි විදිහට.
ඒ වගේම තරුණ වයස කියන්නෙම අලූත් අත්දැකිම් ලබන්න පුදුම තරම් ආස කාලෙ නිසා හුඟක් දෙනා කව්රුත් නොකරන අසම්මතයි කියලා කියන දේවල් කරන්න පෙලඹෙනවා. ඒ විදිහට මහ සමාජය විසින් අසම්මතයි කියලා සම්මත කරපු දෙයක් ගැනයි මේ කියන්න හදන්නෙ.
ජීවයක් බිහිවෙන්නෙ ශුක‍්‍රාණුවකුයි ඩිම්බෙකුයි අතර ඇතිවන ආදරයකින් නොවුණට ඒ ෙසෙල දෙකේ අයිතිකාරයෝ අතර ඇතිවන ආදරයේ ප‍්‍රතිඵලයක් විදිහටයි. (100%ක් ඒ විදිහටම වෙන්නෑ  ඒ විදිහට ගත්තොත් ජීවයේ ඇරඹුම වෙන්නෙම ආදරය කියන හැඟීම. මේ ආදරය නැත්නං පේ‍්‍රමයේ විවිධ ප‍්‍රභේද අතරිං සමාජයේ අසම්මතයි කියලා කව්රුත් එක හඩින් සම්මත කරන අනියම් පේ‍්‍රමය ගැන කතා කරමු. සිංහල භාෂාවේ හුඟක් වෙලාවට වැරදි, නරක දෙවල් හඳුන්වන්න සිංහල හෝඩියේ මුල්ම අකුර වෙන “අ”  කියන උපසර්ගය පාවිච්චි කරනවා. ඒ අනුව අනියම් පේ‍්‍රමයත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ගත්තාම වැරදි දෙයක්. අසම්මත දෙයක්. එහෙමනං ඒ වැරදි, අසම්මතයි කියන අනියම් පේ‍්‍රමයට මිනිස්සු යොමුවෙන්නෙ ඇයි? තමන්ට පණ කඩාගෙන ආදරේ කරන පෙම්වතෙක්, පෙම්වතියක්, බිරිදක්, සැමියෙක් ඉන්නකොට අහවල් කෙංගෙඩියකට ද මිනිස්සු අනියම් පේ‍්‍රමයන් හොයාගෙන යන්නෙ.
ඇත්ත. ඒකයි ප‍්‍රශ්නෙ. තමන්ගෙ නියම පෙම්වතිය හෝ පෙම්වතාගෙන් නොලැබෙන යමක් හොයාගෙන යෑමේ ප‍්‍රතිඵලය විදිහට අනියම් පේ‍්‍රමය හඳුන්වන්න පුළුවං. සම්මත සමාජය ඇතුලේ ලිංගික ආකර්ෂණය කියන්නෙ ආදරය කියලා වරදවා වටහාගන්න හු`ගක්දෙනා තමන්ගේ රහසිගත,  එහෙමත් නැත්නං හිරිවට්ට ගත්තු අසම්මත ජීවිත ඇතුළේ හුදෙකලා වුණු මොහොතෙදි තේරුම්ගන්නවා මහා සමාජය ඇතුළේ සම්මත කරගත්තු ආදරය තමන්ගෙ අසම්මත ජීවිතයෙ තියෙන හිස්තැන් කඩතොලූ මකන්න ප‍්‍රමාණවත් නැති වග. අන්න ඒ හිස්තැං කඩතොලූ පුරවගන්නයි සමහරු අනියම් පේ‍්‍රමයන්ට යොමුවෙන්නෙ. මේ විදිහට අනියම් පේ‍්‍රමයක් ගොඩනඟා ගන්නකොට බොහෝ විට එකතු වෙන්නෙත් මහා සමාජයේ සම්මත සබඳතා පවත්වන සම්මත ජීවිත ගතකරන නමුත් තමන්ගෙ අසම්මත ලෝකෙ ඇතුළේ අසරණ වෙච්වි පුද්ගලයෝමයි.
කෙනෙක් අහන්න පුළුවං මේ විදිහට අනියම් සබඳතා පවත්වන එක සැබෑ නැතිනං නිත්‍යනුකූලව කරන පේ‍්‍රමයට කරන අසාධාරණයක් නේද කියලා.  ඔව් ඒක ලොකුම ලොකු අසාධාරණයක්. එහෙමනං අනිත් අතට තර්කයක් ගොඩනැෙඟෙනවා එතකොට අසම්මත ජීවිතේට සාධාරණයක් අවශ්‍ය නැද්ද? ප‍්‍රසිද්ධ සමාජයෙ වෙනකෙකුට ආදරය දක්වනවා දරාගෙන ඉන්න අනියම් පේ‍්‍රමයට සිද්ධ වෙනවා. ඒ අතින් බැලූවාම අනියම් පේ‍්‍රමය වඩා පරාර්ථකාමි නොවේද?
කෙනෙක්ගෙන් අනියම් පේ‍්‍රමය ගැන අදහස ඇහුවම ඔහු කීවේ ”කියාගන්න බැරි දරාගන්න  ඕන දෙයක්” කියලා. ඒ වගේම “විලංගුවලින් බැඳලා තියෙද්දි නොලැබෙන දෙයක් හොයාගෙන යෑමක්” විදිහටයි තව කෙනෙක් අනියම් පේ‍්‍රමය විස්තර කළේ.
කතාව කෙලවර කරද්දි කවුරුහරි ඇහුවොත් ඔයා මේ කියන්නේ අනියම් පේ‍්‍රමය හොඳ දෙයක් කියල ද කියලා, මට කියන්න තියෙන්නෙ එක හැල්මට ලෝකෙ අල්ලන්න දුවන මිනිස්සුන්ගෙ හිරිවැටිච්ච ආත්ම බැඳලා තියෙන ටික දෙනෙකුගේ  වාසියට ගොඩන`ගපු සමාජ සම්මත රාමු, පාට කන්නාඩි බිඳගෙන මිනිස්සු එළියට ආපු දවසට මිනිස්සුන්ට තවදුරටත් අසම්මත, අනියම් සබදතා අවශ්‍ය නොවේවි. එදාට ඔවුන්ට සම්මත අසම්මත කියලා වර්ගීකරණයක් නැතුවම නිදහසේ ජීවිතය විදින්න හැකි වේවි.
ඒ කොහොම වුණත් අනියම් පේ‍්‍රමය කියන්නෙ සම්මත සමාජය ඇතුළෙ අනාචාරය කියලා හඳුන්වන නීතිමය වරදක්.
ගයාත‍්‍රී නවරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: