ආගමික ඡායාරූප වල සටහන් වන අද්භූත ආලෝක ලප දේවතා එළිද?

March 27, 2017 | 9:00 am    0   336

ආගමික ඡායාරූප වල සටහන් වන අද්භූත ආලෝක ලප දේවතා එළිද?

ආගමික සිද්ධස්ථාන සහ ආගමික උත්සව පැවැත්වෙන ස්ථාන වල රාත්‍රී කාලයේ දී ගනු ලබන ඇතැම් ඡායාරූප වල අද්භූත ආලෝක ධාරා සහ ආලෝක ලප සටහන් වීම මෑතක සිට අප සමාජයේ විවෘත කතා බහට ලක්වන්නකි. මෙබඳු ඡායාරූප තම ජංගම දුරකථන වල රඳවා ගනිමින් හා සමාජ වෙබ් අඩවි වලට එක් කරමින් ඒවා දේවතා එළි ලෙස හඳුන්වන්නට ඇතැමෙකු පෙළඹී සිටින බව ද නොරහසකි.

මේ සමඟ අප ඔබ වෙත ඉදිරිපත් කරනුයේ පසුගිය දා අප විසින් කරන ලද දැනුම් දීමකට අනුව අපගේ පාඨක හිතවතුන් විසින් අප වෙත යොමු කරන ලද එම මාදිලියේ ඡායාරූප අතරින් කිහිපයකි. එබැවින් මෙම ඡායාරූප මුල්කොට ඒ පිළිබඳ විද්‍යාත්මක හා ධර්මානුකූල පිළිතුරු ඔබ වෙත ලබා දීමට අපි අදහස් කළෙමු.

මෙහිදී මුලින්ම අප හා අදහස් පළ කොට සිටියේ ඡායාරූප ශිල්පය පිළිබඳ විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්ය වරයෙකු හා ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු වන ඉන්ද්‍රනාථ තේනුවර මහතාය.

“ඔය මාදිලියේ ඡායාරූප සිය දහස් ගණනක් මා වෙතත් ලැබී තිබෙනවා. ආගමික සිද්ධස්ථාන සහ ආගමික පුද පූජා පැවැත්වෙන ස්ථාන වල ගනු ලබන ඡායාරූප වල මෙවැනි ආලෝක ධාරා සහ ආලෝක ලප දක්නට ලැබුණොත් බොහෝ දෙනා ඒවා හඳුන්වන්නේ දේවතා එළි හැටියටයි. නමුත් අවමංගල උත්සව සුසාන භූමි ආදියේ ඡායාරූප වල මේවා සටහන් වී තිබුණොත් බොහෝ දෙනෙක් ඒවා හඳුන්වන්නේ මළවුන්ගේ ආත්ම ලෙසයි.

අද අප දකින එවැනි ඡායාරූප සියල්ලම සටහන් වන්නේ සරලසංයුක්ත (Compact Digital ) කැමරාවලයි. ඒ හැරුණුකොට අර්ධ වෘත්තික (Semi Professional) කැමරා වලින් සහ ඉහලාන්ත (High End) කැමරා වලින් ගන්නා ඡායාරූප වල මෙවැනි ලකුණු දක්නට නැහැ.

වාතයේ ඇති ජල වාෂ්ප, කැමරාවේ ෆ්ලෑෂරයේ එළියෙන් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වීම නිසා විවිධ රටා සහිත ආලෝක ලප ලෙසින් පින්තූරයේ සටහන් වෙනවා. නමුත් ඊට වඩා තත්ත්වයෙන් උසස් කැමරාවල ෆ්ලෑෂරය කාචයට වඩා ඉහළින් ඇති නිසා මේ තත්වය ඇති වන්නේ නැහැ. සරල සංයුක්ත කැමරා සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය නිසා පවතින ආලෝකයට අනුව දීර්ඝ අනාවරණ (Long exposure)වුව ලබා ගන්නවා. ඒ අවස්ථාවේ කැමරාව යන්තමින් හෝ සෙලැවුණහොත් සටහන් වන ඡායාරූපය ද ඇදී ගිය ආකාරයක් පෙන්නුම් කරනවා. මේ මා දුටු සියළුම දේවතා එළි ඡායාරූප වල ඇත්තේ ඒ විද්‍යාත්මක යථාර්තය විතරමයි. ඒ හැරුණු කොට ඡායාරූපය ගන්නා පරිසරය තුළ ඇති වෙනත් ආලෝක තත්වයන් නිසා ඡායාරූපයේ දීප්තිමත් ආලෝක ධාරා (Glare) සටහන් වන්නටත් පුළුවන්.”

ඉන් අනතුරුව අපි මේ සම්බන්ධයෙන් ධර්ම ශ්‍රාස්ත්‍රීය විග්‍රහයක් ලබා දෙන මෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමිපාණන්ගෙන් ඉල්ලා සිටියෙමු.

“ලෝකයේ බොහෝ ආගම් වල දේව විශ්වාස ප්‍රධාන ශාස්තෘ දේශනාවේ හරය ලෙස සැ‍ලකෙතත් බුදුදහමේ එවැනි තත්වයක් නැහැ. මිනිසාගේ ස්වාමිත්වයට මුල් තැන දෙන බෞද්ධ දර්ශනයේ කිසිදු තැනක දෙවි‍යකුට හෝ බ්‍රහ්මයකුට තැනක් දී නැහැ. බුදු දහමේ දාර්ශනික හරය එසේ වුවත් ත්‍රිපිටක සාහිත්‍යයේ බොහෝ තැන්වල දෙවියන් සම්බන්ධ විවිධාකාර කරුණු ඉදිරිපත් වෙනවා. නමුත් ඔය කියන ආකාරයට මිනිසුන්ගේ නවීන තාක්ෂණික උපක්‍රම වලට ඒ දෙවිවරුන් පිළිබඳ සංඥා ග්‍රහණය වෙතැයි සිතන්නට බැහැ.

ඕනෑම ආගමක දාර්ශනික පක්ෂය වගේම ජන ආගමික පක්ෂයකුත් තිබෙනවා. ඒ ජන ආගම මිනිසුන්ගේ සිත් සතන් තුළින් ඉපිද තත්කාලීන සිතුම් පැතුම් මත දෝලනය වන්නක්. බුදු දහම සම්බන්ධයෙන් “ජනප්‍රිය බුද්ධාගම” යනුවෙන් හැඳින්වෙන්නේත් ඔය තත්වයයි.

ඒ අනුව ඡායාරූප වලට දේවතා එළි සටහන් වූ බවක් පැවසීම ජන ආගම මත පදනම් වූ ජනප්‍රිය බුද්ධාගමට අදාල වූවක් මිස දාර්ශනික බුදුදහම තුළ කිසිම ඇගැයුමකට ලක්කළ හැකි කරුණක් නොවේ.

දමයන්ති ගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: