ආතරයිටීස්වලට attack කරන පැපොල්

January 4, 2017 | 4:45 pm    0   587

ආතරයිටීස්වලට attack කරන පැපොල්

අලුත් අවුරුද්ද පටන් ගද්දිම ඔන්න අපි අපේ සෞඛ්‍ය සඳහා කරන්න යන්නේ දීර්ඝ කාලීන ආයෝජනයක්. ඒක සිදුවන්නේ අපේම රටේ හැදෙන පලතුරකින්. මේ කතාව ඒ ගැන. පැපොල් නැත්නම් ගස්ලබු කියලා හඳුන්වන පැපොල්වල උපත සිදුවන්නේ ඇමරිකාවේ නිවර්තන ප්‍රදේශවල. විදේශ විනිමය ලබාදෙන පලතුරක් කියලා තමයි පැපොල් හඳුන්වන්නේ. ජීවයේ රත්තරං ගස කියල වස්කෝද ගාමා හඳුන්වලා තියෙන්නේත් පැපොල්වලට ලු.
මැග්නීසියම්, පොටෑසියම්, ප්‍රෝටීන්, කබෝහයිඩ්රේට්, කැල්සියම්, පොස්පරස් වැනි පෝෂ්‍ය පදාර්ථ මේ පලතුරේ අඩංගු වෙලා තියෙනවා. පැපොල් පලතුරටම විශේෂ වූ පැපේන් කියන බලගතු එන්සයිමය නිසා පැපොල්වල වටිනාකම තවත් වැඩියි. ප්‍රතිඔක්සිකාරක ගුණය කියන්නේ ගුණවත් පලතුරක තිබිය යුතු අංගයක්. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරමින් රෝගයන් සඳහා ඔරොත්තු දීමේ හැකියාව ලැබෙන්නේ ප්‍රතිඔක්සිකාරක ගුණයත් එක්ක. ඒ වගේම ශරීරය පැහැපත් කිරීමේ අපූර්ව හැකියාවක් ද ප්‍රතිඔක්සිකාරක ගුණය සතුයි. පලතුරු ලෝකයේ ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉහළ පලතුරක් මේ. ආයුර්වේදයේ නම් කියනවා අර්ශස්, උගුරේ ආබාධ සහ පණු රෝගවලට පැපොල් වැදගත් වෙනවා කියලා. ඉදුණු පැපොල් ආහාර දිරවීම පහසු කරනවා. ඒ වගේම ශක්තිය වඩන පලතුරක්. පැපොල් ආහාරයට ගැනීමෙන් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු වෙනවා. මේ දවස්වල නත්තල් නිසා අපි කෑම කනකොට නො දැනුවත්වම ශරීරයේ තරබාරුකම වැඩිවෙන්න පුළුවන්. මේ ඒ සඳහා අවශ්‍යම පලතුරක්. සාමාන්‍යයෙන් පැපොල් ගෙඩියක ඇති ශක්තිය කැලරි 120 පමණ වෙනවා කියල තමයි කියන්නේ. වියමින් සී හා වෙනත් අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ රැසක් තිබෙන නිසා එය ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ වැංවීමට උපකාරී වෙනවා. මේ නිසා දිනපතා පැපොල් කන අය ලෙඩ රෝගවලින් ඈත් වෙනවා. ඒ වගේම දියවැඩියා රෝගීන්ට ගුණදායක පලතුරක් තමයි මේ.

රෝග නසන පැපොල්
අපේ දෙනෙතේ ක්‍රියාකාරීත්වය මනාව පවත්වාගෙන යන්නට පුළුවන් මේ පලතුරෙන්. ආතරයිටීස් කියන්නේ අපි අකමැතිම රෝගයක්නේ. මේ රෝගය සඳහා විටමින් සී පෝෂ්‍ය පදාර්ථය අතිශයින් වැදගත්. අනෙක් පලතුරුවලට සාපේක්ෂව විටමින් සී බහුල පලතුරක් නිසා පැපොල්වලට පුළුවන් හන්දිපත් රුදාවත් සුව කරන්න. අපි කවුරුත් වයස්ගත නො වන තරුණ පෙනුමක් සහිතව ඉන්නට කැමතියි. රූපලාව්‍ය ක්ෂේත්‍රයේ කවදත් ඉල්ලුමක් පැපොල්වලට තියෙන්නේ ඒ නිසා. විටමින් ඊ පදාර්ථය මේ සඳහා උපයෝගී වෙනවා. පැපොල් කේශ කල්‍යාණයට අපූරු මෙහෙයක් කරනවා. ඒ වගේම හිස්හොරිවලින් පීඩා විඳින අයට මෙය කදිම ඔසුවක්. පැපොල් යුෂ හොඳින් හිස් කබලෙහි ආලේප කිරීමෙන් හිස්හොරි සදහටම මර්දනය කළ හැකි ය. දැනට තියෙන වාර්තා අනුව නම් හාවඩ් විශ්වවිද්‍යාලය මඟින් සිදු කර ඇති පර්යේෂණවලින් ඔප්පු වෙලා තියෙනවා පැපොල්වල තියෙන බීටා කැරොටින් මඟින් පිළිකා මර්දනය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා.
පලතුරු සලාද, බීම, ජෑම් සැදීම සඳහාත් ආහාර වර්ග රසවත් කිරීමට පැපොල් ගන්නවා. පැපොල් ගෙඩි ව්‍යංජනයක් ලෙස ද යොදා ගන්නවා. Papaya Pie, Papaya Custard, Cakes, Papaya Muffins, Pudding, Ice Cream, Preserves, Jelly, Milkshake මේ වගේ කෑම වර්ග ගොඩකුත් පැපොල්වලින් හදන්න පුළුවන්.
අපි දවස තිස්සෙම මහන්සි වෙලා වැඩ කරනවනේ. මේ මහන්සිය මඟහරින පලතුරක් එක්ක හිටියොත් ලෙඩ රෝගවලට බිය විය යුතු නෑ. ඇත්තටම දිනපතා පුරුද්දක් විදියට පැපොල් කනවා කියන්නේ හිතට ගතට දෙකට කදිම ඔසුවක්. මේ අලුත් අවුරුද්දේ රස ගුණ පිරි පලතුරුවලින් ශරීරයේ සමබරතාව හා නිරෝගී බව රැකගමු. එය මේ වසරේ ඔබ සෞඛ්‍ය වෙනුවෙන් කරන ආයෝජනයක් වේවි.

සුලක්ෂි රත්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: