ආදරයෙදී මම තව දුරටත් ගුරුවරයෙක් නෙමෙයි

January 16, 2017 | 4:05 pm    0   638

ආදරයෙදී මම තව දුරටත් ගුරුවරයෙක් නෙමෙයි

පුංචි කාලේ අම්ම විතරක් දන්න දරුවෙක් කාලෙත් එක්ක විශාල සමාජයක් දන්න හඳුනන වගේම මුළු මහත් ලෝකයක්ම ආදරයක් කරන පුද්ගලයෙකු වෙන්න පුළුවන්. එහෙම කිව්වාම ඔයා කියන්න පුළුවන් එහෙම වෙන්නේ ඒ අයගේ වාසනාවට කියලා. ඔව් එහෙම වාසනාවකුත් තියෙන්න ඕන. හැබැයි වාසනාවක් තිබුණ පලියට මදියි. ඒකට ඒ අයගේ හිතේ ලොකු උත්සාහයකුත් ශක්තියකුත් තියෙන්න ඕන. අන්න ඒ වගේ කට්ටක් කාලා ලොකු ගේමක් දීලා ජීවිතේ ලස්සන කරගත්තු මිනිස්සු අනන්තවත් ඉන්නවා. අන්න ඒ වගේ මනුස්සයෙකුගේ ජීවිතේ අහුලගල්ල අපට ගොඩක් දේවල් තියෙනවා කියලා මට හිතෙනවා එයාගේ කතාව ඇහුවම. ඒ වගේ රටක්ම දන්න චරිතයක් තමයි තුමිඳු ‍ෙදාඩන්තැන්න කියන්නේ. වරෙක සුන්දර කලාකරුවෙක්, තවත් වරෙක දැනුමට මඟ කියන කථිකාචාර්යවරයෙක්, තවත් වරෙක බොහොම ආදරණීය පෙම්වතෙක්, සැමියෙක්. අන්න ඒ තුමිඳු එයාගේ කතාව අපිට කිව්වේ මෙහෙමයි.

“තුමිඳු කියන්නේ බොහොම සාමාන්‍ය මනුස්සයෙක්”

ගොඩක් අය විවිධ විදියට තුමිඳු දොඩන්තැන්න හඳුනාගනීවි. හැබැයි මම මනුස්සයෙක් විදියට බොහොම සාමාන්‍ය මනුස්සයෙක්. අනිත් පැත්තෙන් ගත්තොත් වෘත්තීය ජීවිතයේදී ඒ තුමිඳු කථිකාචාර්යවරයෙක් වෙනවා. තුමිඳු කියන මනුස්සයාගේ වෘත්තිය කොයිම වෙලාවකවත් කලාව නෙමෙයි. මම කලාව බොහොම ආදරෙන් කරන දෙයක්. ඒ නිසාම මම කැමතියි සමාජය මාව කලාකරුවෙක් විදියට හඳුනගන්නවට තමයි.

“මට සතුටු වෙන්න පුළුවන් තැනක මම නැවතිලා ඉන්නේ”

කලාකරුවෙක් විදියට, කථිකාචර්යවරයෙක් විදියට මම ගොඩක් දුර ඇවිත් ඉන්නවා. ඒක තමයි මගේ සතුට. මගේ වෘත්තිය ජිවිතය කොහොමත් බැඳිලා තියෙන්නේ නාට්‍ය කලාව එක්ක තමයි. ඒ නිසා මම නතර වෙලා ඉන්නේ කොහෙද කියලා කවුරුහරි ඇහුවොත් මම කියන්නේ, මම ගැන මට සතුටු වෙන්න පුළුවන් තැනක මම නැවතිලා ඉන්නවා කියලා.

“මේ ගමන එන්න මම මාර කට්ටක් කෑවා”
හැම කෙනෙක්ම තමන් ඉන්න තැනට එන්න ලොකු කට්ටක් කනවා. මමත් එහෙමයි. මම අනුරාධපුරේ. අපේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු වුණත් අපි බොහොම සාමාන්‍ය පවුලක්. මට මතකයි පාසලට මම කිලෝමීටර් ගණන් පයින් ගියපු අතීතයක් ගැන. කොළඹ ආවමත් මම පුරුද්දට පයින් ගියේ. මම ගොඩක් ඉගෙන ගත්තේ කොළඹ ජීවිතේ ඇතුළදී. හැබැයි මගේ පාසල් ජීවිතයේදී මම බොහොම දුර්වල දඩබ්බරයෙක්. අද කථිකාචාර්යවරයෙක් වුණාට මට තිබුණේ කටක් ඇරලා කාටවත් කියන්න බැරි O/L ප්‍රථිපලයක්. හැබැයි ඒක තමයි turning point එක කියලා හිතෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ නිලතල දරපු මගේ අම්මට තාත්තට මේක ලොකු ලැජ්ජාවක් වුණා. එදා ඉඳලා මම වෙනස් වෙන්න තීරණය කළා. මම ඉගෙන ගන්න try කළා. ඒ වගේම කට්ටක් drama කරන්න ඇවිල්ලත් මම නො අඩුවම කෑවා කියල නම් මතකයි හොඳට.

“පාසලත් අපිව ප්‍රතික්ෂේප කරද්දී අපිව පිළිගත්ත හරි අපූරු මනුස්සයෙක් හිටියා”

ඒ කාලේ මං වගේම අපේ පංතියේ හිටපු ගොඩක් අය මම වගේම දුර්වල අය. මේ නිසා ගොඩක් ගුරුවරු අපේ පන්තියට උගන්වන්න එන එක ප්‍රතික්ෂේප කළා. හැබැයි එක ගුරුවරියක් හිටියා ඇය අපේ පන්තියට බොහොම ආදරෙන් ඉගැන්නුවා. අනිත් ළමයිට නියමිත විෂයන් වගේම නියමිත වෙලාවක් තිබුණා. හැබැයි අපිට තිබුණෙ නෑ. මුළු පාසලක් අපිව ප්‍රතික්ෂේප කරද්දී ඇය විතරක් අපිව පිළිගත්තා. ඇය සම්පූර්ණනේම අපේ ජීවිත වෙනස් කළා. අපේ හැකියාවන් හඳුනගත්තා. මගේ කලාත්මක හැකියාවන් වැඩිදියුණු වුණේ ඒ ගුරුවරියගෙන්. ඒ නිසා ඒ ගුරුවරිය මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. එයා තමයි ආපසු හැරිලා බලද්දී, මට පිහිට වුණ හොඳ මනුස්සයෙක් විදියට මට මතක.

“මේ ගෙවිලා ඉවර වුණ ගමනේදී ආපස්සට ගිහින් නවතින්න කැමති තැනක් තියනවා මට”

මගේ තාත්තා 2012 දී මට නැති වුණා. මට අවස්ථාවක් ලැබුණොත් මම කැමතියි තාත්තා ජීවත්වෙලා හිටපු කාලෙට යන්න ආයෙත්. මම ගිහිල්ලා මොනව කියයි ද කියලා මම දන්නේ නැහැ. ඒත් මට හිතෙනවා මම එයා එක්ක ගත කරපු කාලේ මදියි කියලා.

“ලස්සන කෙල්ලෙක් නිසා මම පොඩ්ඩක් හොයල බැලුවා”

කෙනෙක්ගේ ජීවිතේ අලුතෙන්ම ආයෙත් පටන් ගන්නේ එයාගේ විවාහයෙන්. මගෙත් එහෙමයි. දවසක් මගේ නාට්‍යයක් අවසන් වුණාම ලස්සන කෙල්ලෙක් ඇවිත් මට සුබ පැතුවා. ලස්සන කෙල්ලෙක් නිසාම මම ටිකක් හොයලා බැලුවා. පස්සේ හොයලා බලද්දි අපි එකම විශ්වවිද්‍යාලයේ. එකම විශ්ව විද්‍යාලයේ වුණත් අපි මීට කලින් මුණ ගැහිලා තිබුණේ නැහැ. පස්සේ මට හිතුණා මේ වගේ කෙනෙක් මට බඳින්න ලැබුණොත් හොඳයි කියලා.

“ආදරේදී මම තවදුරටත් ගුරුවරයෙක් නෙමෙයි”

විශ්වවිද්‍යාලයේදී මම ගුරුවරයෙක් වුණත් ආදරය කරන්න පටන් ගත්තට පස්සේ මමත් සාමාන්‍ය පෙම්වතෙක් වුණා. තවදුරටත් මම ගුරුවරයෙක් නෙමෙයි. හැබැයි මම විශ්වවිද්‍යාලයේදී ගොඩක් පරිස්සම් වුණා. හැසිරෙන්න ඕන විදිය ගැන අපි අතරේ ගුරුගෝල සම්බන්ධයක් තිබුණේ නැහැ. මොකද මම උගන්වල නැහැ එයාට. ඒ නිසා තව දුරටත් මම එයාට ගුරුවරයෙක් වුණේ නැහැ. පෙම්වතෙක් විතරක් වුණා.

“මම හිතනවා සමාජයට මම මතක හිටින දේවල් දීලා තියෙනවා කියලා”

මනුස්සයෙක් විදියට මම හැමවෙලේම උත්සාහ කරනවා සමාජෙට යමක් දෙන්න. මම කරන දේ හරියට හා හොඳට කරනවා. හැබැයි මම දන්නෑ හරියටම සමාජෙට යමක් දීලා තියෙනව ද කියලා. කලාකරුවෙක් විදියට මගේ නිර්මාණවලින් ප්‍රේක්ෂකයා සතුටු කරලා තියෙනවා. මම ලියන දේවල් වලිනුත් එහෙමයි. උගන්වද්දී වුණත් මම හැමවෙලේම අලුත් දෙයක් දෙන්න උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා මම සමාජෙට මතක හිටින දෙයක් කරලා තියෙනවා.

“මනුස්සයෙක් විදියට මම තෘප්තිමත්”

මගේ ජීවිතේ හැරිලා බලද්දී ආපස්සට ඇත්තටම මේ ගෙවුණු ජීවිතේ ගැන. කට්ට කාලා ලබාගත්ත ජීවිතේ ගැන මම ඇත්තටම තෘප්තිමත් වෙනවා.

උපුලි පුන්සරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: