ආදරේ කියන්නෙ සෙල්ලමක් ද?

April 21, 2017 | 11:00 am    0   231

ආදරේ කියන්නෙ සෙල්ලමක් ද?

ස්කෝලේ ඇරිලා ඇවිත්
තරඟෙට
කළු කරාඹු කාපු ඉස්සර දවසක
කළු වෙච්ච ඔයාගෙ තොල් දෙක මිරිකලා
මැලදුම් මල් දෙකකිං
අරුංගල් දෙකකුත් දැම්මා මං ඔයාට
මඤ්ඤොක්කා කොළේක නැට්ට කඩලා කඩලා
මාලෙකුත් දැම්මා බෙල්ලට
කොණ්ඩ කරල් දෙක පද්ද පද්ද
දාංගලේට හිනා වුණා ඔයා
කරාඹු ගස් මණ්ඩියම හෙල්ලෙන්න
‘මං අම්මා.. ඔයා තාත්තා..’
ඉර තද තැඹිලි පාට අව් කැරැල්ලක්
ඔයාගෙ නළලට එළුවම
හාද්දකුත් දුන්නා මං නළලට
මදුරුවෝ සිංදු කියන්න ගද්දි
ගස් ගොම්මනේ අඳුරට ඉඩ දීලා
හෙමීට ගෙවල්වලට ගෑටුවා අපි
පපුව ඇතුළේ කණාමැදිරි එළි පත්තු වෙද්දි
‘හෙට වෙන සෙල්ලමක් කරමු..’
ගෙදෙට්ට ළං වෙලා
මගෙ අත අතෑරලා
ඔයා එහෙම කිව්වම
කණාමැදිරි එළි නිවිලා ගියා
පපුව කළුවර කරගෙන
කාලේ ගෙවුනම තටු ගහගෙන
ඔයත් ඉගිළුණා
අතවත් වනන් නැතුවම
ඒත් තාමත්
කළු කරාඹු වැටෙන කාලෙට
මතක් වෙනවා මට ඔයාව
දන්නවද ඔයා..,
අන්න එහෙම දාට
පපුවෙ පත්තු වෙනවා ප්‍රශ්ණයක්
ගහනවා වගේ අකුණක්
ඇත්තටම,
ආදරේ කියන්නෙ සෙල්ලමක් ද?

 

  • තිසර නන්දන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: