ආරුගම්බේ අරුමය හා කරුමය

February 20, 2017 | 12:37 pm    0   320

ආරුගම්බේ අරුමය හා කරුමය

‘Beach’ සහ ‘Surfing’ යන වචන දෙකත් සමඟම අපි හැමෝගෙම කල්පනාවට එන මුල්ම තැන තමයි ආරුගම්බේ. ලංකාවේ ප්‍රධාන සංචාරක ආකර්ශනයක් වගේම ප්‍රධාන “Surfing point” එකක් විදියට ආරුගම්බේ කා අතරත් ප්‍රසිද්ධයි.

අප්‍රේල් මාසයේ මැද ඇරඹෙන season එක මාස හයක් පුරාවටම පැවතෙනවා. ඒ කාලයට beach එක පේන්නේ නැති තරමටම මිනිස් හිස්වලින් පිරිලා. නමුත් පළපුරුදු Surfersලට විතරක් නෙමෙයි Surf කරන්න කැමති නවකයන්ටත් ආරුගම්බේ කියන්නේ ඉතා වටිනා
තෝතැන්නක්. මේ නිසාම “Main Point” හා “Baby Point” වශයෙන් වෙන් වෙන්ව ස්ථාන දෙකක් දැකගන්න පුළුවන්.

Surf කරන්න නො දන්න අයට ඒ අත්දැකීම් දෑසින් හරි විඳගන්න අපිත් පහුගිය දවසක ලංකාවේ නැගෙනහිර වෙරළබඩ ඇති ආරුගම්බේ ගියා. ගමනට වරුවක්ම ගත වුණත් මාර්ගයේ දෙපස දැකුම්කළු පරිසරය නිසාම ගමන් මහන්සිය වැඩිය දැනුණේ නැ. කලින් දවසේ මඩකලපුවේ හිටිය නිසා උදෑසනම A4 මාර්ගයේ කල්මුණේ, කෝමාලි, පොතුවිල් පහු කරගෙන දවල් වෙද්දි ආරුගම්බේට එන්න අපිට හැකි වුණා. මේ මාර්ගයේ හමුවෙන සිංදු කියන මාළුවන් සිටින මඩකලපුවේ ප්‍රසිද්ධ කල්ලඩි පාලම අපි කාටත් ඉතා උද්යෝගිතමත් දසුනක් වුණා. හැබැයි අපි ගිය දවස off season එකේ මුල් භාගයේ වුණ නිසා වැඩි අහපසුවක් නැතුවම නිදහසේ විනෝද වෙන්න හැකි වුණා. අපිට දැනගන්න ලැබුණ විදියට මුහුදු වතුර මට්ටමත් පෙරට වඩා අඩි 6ක් 7ක් විතර off season එකේදි අඩු වෙනවා. ඒ වගේම තමා ආරුගම්බේ සේවා සපයන්නන්ගේ දවසේ ආදායම, දවසකට ලක්ෂ 2ක් 3ක් හොයද්දී, රුපියල් 1000ක් හොයන්නත් කට්ටක් කන දවස් එමටයි. දැන් ඔබට හිතෙනවා ඇති ආරුගම්බේ හරි දියුණුයි කියලා. නමුත් හැමදේකට වගේ අඳුරු අහිමිරි පැතිකඩකුත් ආරුගම්බේට තියෙනවා. නිතර යන එන උදවියට වුණත් හැඟෙන දෙයක් තමයි කලින් අවුරුදුවලට වඩා වර්තමානයේදී ඉතා සීඝ්‍ර ලෙස එන සංචාරකයින් ප්‍රමාණය අඩුවීම. සීයට හැත්තෑවකින් පමණ අඩුවෙලා කියලයි කියන්නේ. මෙයට ප්‍රධානතම හේතුවක් තමයි, සංචාරකයින්හට ගෞවරණීය සුහද සේවාවක් සපයන්නට අපොහොසත් වීම. විදේශිකයන් සමඟ නොයෙකුත් සුළු සුළු වාසි තකා, රණ්ඩු සරුවල් කරන guidesලා වගේම, දේශිකයන්ව නො සලකා හැර පහත් කොට සේවා සපයන්නෝ ද ඉතා සුලබයි.

මෙවැනි අසාධාරණයක් දේශීය සංචාරකයන් සුළුවට තැකුවත් විදේශිකයන් නොයෙකුත් සමාජ ජාලා, මාධ්‍ය හා සන්නිවේදන ක්‍රම මඟින් ලෝකේම දැනුවත් කරනවා. මේ නිසාම, අද ආරුගම්බේට ලොකු කළු පැල්ලමක් එකතු වෙලා තියෙනවා. මේ ගැන සංචාරක ක්ෂේත්‍රයේ බලධාරීන් අවධානය යොමු කළ යුතු කරුණක්.

සංචාරකයන්ට ඉතාමත් සුහදව, ගෞරවයෙන් හා සම මට්ටමෙන් සලකා ඉතා චතුර ලෙස ඉංගීසි භාෂාව හසුරුවන උදවිය ද නැතුවා නොවේ. මේ අයගෙන් බොහෝමයක් පිට පළාත්වලින් පැමිණි, කුඩා කළ හොඳ ඉංගී්‍රසි අධ්‍යාපනයක් ලැබූ, සංචාරක කර්මාන්තය පිළිබඳ හොඳ දැනුමක් ඇති අය. ඒ නිසාම කිසි වැරදි වැටහීමකින් තොරව, අනිසි වැඩවලින් තොරව, customerලා බලාපොරොත්තු වන සේවාව සපයන්න හැකි වෙනවා. ඒ අයගෙන් කෙනෙක් තමා “කළු අයියා” කියන්නේ. ආරුගම්බේ “Ishara Bay Village” හි හිමිකරු වන ඔහු, නුවරින් පැමිණී මැදි වයසේ කාලවර්ණ තරුණයෙක්. ඔහු අපට සඳහන් කළ විදියට කර්මාන්තයේ දියුණුව රදා පවතින්නේ හැම සුළු බැඳීමක්ම මත. ඒ නිසාම සංචාරකයන්ට හොඳ අත්දැකීමක් පමණක් නොව ආරක්ෂාවක් වගේම රැකවරණයක් ලබාදීම හැම සේවා සපයන්නෙක්ගේම වගකීම. මෙවැනි වටිනා අපූරු මිනිසුන් සමඟ අපේ මුළු සවස් කාලයම රන්වන් මුහුදු වෙරළ මත ගෙවා දමන්න අපි තීරණය කළා.

විවිධ වර්ණයන්ගෙන් සැරසුණු ධීවර යාත්‍රා, Surf boards වගේම ‘Cabanas’ ද ආරුගම්බේට ගෙන එන්නේ ආවේණික වූ නැවුම් අත්දැකීමක්. අපිට Surf කරන්න බැරි වුණාට මොකද පළපුරුදු Surfersලා එක්ක තරග කරන හැඩි දැඩි සුනඛයන් ද ආරුගම්බේට අලුත් දෙයක් නෙවෙයි. ඉර බැහැගෙන යනනවත් එක්කම හොඳට නාගෙන, වැලි මාලිගාවක් හදලා, Cabanaවකටත් ඔළුව දාලා ඒ හැමදේම හොඳින් විඳගෙනත් එන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙවේ සිංහ රූපයක් තම පපුවේ කොටාගෙන ඉන්න අපූරු “කළු අයියා”වත් මුණගැහිලා අත්දැකීම් බෙදාගන්නත් උත්සාහ කරන්න. මොකද අද ආරුගම්බේට අත්වෙලා තියෙන ඉරණමෙන් මුදවා ගැනීම “කළු අයියාගේ” වගේම, ලංකාවට ආදරේ අති අපි සියළුදෙනාගේම වගකීමක්.
නාලා, කාලා අපි වගේ fun එකක් ගත්තට, හොඳ කල්පනාවෙන් ආරුගම්බෙට ගිහින් එන්නත් අමතක කරන්න එපා!

ඉන්දීවරී චන්ද්‍රසේකර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: