ආශ්චර්යා වසර 16කට පසු ඇස් දෙක ඉල්ලයි

December 13, 2016 | 12:30 pm    1   1434

ආශ්චර්යා වසර 16කට පසු ඇස් දෙක ඉල්ලයි

“මට මතකයි තාමත් ඒ ලස්සන දවස්. මම හරි ආදරෙයි ඒ දවස්වලට. ඉස්කෝලෙ යන්න කලින් මම කණ්ණාඩිය ඉස්සරහට ගිහින් රෝසපාට මගේ කම්මුල් අතගාලා මටම හිනාවුණා. රස්සාවට ගියාම හැමෝම කීවේ ලස්සන ඇස්, ලස්සන කකුල්, බලාගෙන ඇස්වහ වදී කියලා. ලොකු ළමයෙක් වෙනකල් මම නිදාගත්තේ අම්මටයි, තාත්තටයි ගුලි වෙලා. ඒ තරමට මං කළුවරට බයයි. තැලිලා පොඩි වෙලා නැති මගේ හිතට ආදරේ අඩුවක් ඒ දවස්වල දැනුණෙ නෑ. මම ආදරේ දුන්නා. ආදරේ වින්දා. හැමෝම ලස්සනයි කියන මගේ හිනාව මං හැමෝටම දුන්නට හා හා පුරා කියලා මං විඳපු ආදරේට දුන්න හිත මම මගේ ඇස් දෙකෙන් කාටවත්ම දුන්නේ නෑ. ඒ ආදරේ ළඟ මම මගේ එකම හීනයත් හැබෑ කරගන්නෙ නෑ කියලා පොරොන්දු වුණා. දේවි බාලිකාවෙන් නීති පීඨයට යන්න ලැබුණු වරම ආදරේ ළඟ අතහැරපු මම බැංකුවේ රස්සාවට ගියේ ආදරේ වෙනුවෙන් පාරමිතා පුරන්න. අම්මා මගේ අතගන්න කැමති ලොකු ලොකු සල්ලිකාරයන්ට මගේ හඳහන යවද්දි මං අත දුන්න තැනින් හිත ගන්න බෑ කියල අම්මට හැමවෙලාවෙම මතක් කළා. ඒවට අම්මගෙන් අමතක කරන්න බැරි තරම් ගුටි බැට ලැබුණත් ඊට වඩා මං මගේ ආදරේට ආදරේ කෙරුවා. දවස දවස ගෙවිලා ගියා.
රෝස පොහොට්ටුවක් කියලා කියපු මං දැන් පිපුණු රෝස මලක් ලු. වයස අවුරුදු විස්සයි. මගේම කාර් එකේ වැඩට ආපු ගියපු මම එදත් කාර් එකට නැග්ගේ වැඩ ඇරිලා ගෙදර යන්න. හැබැයි මගේ ආත්මයට, මම ජීවත් වුණ ලෝකයට ආයුබෝවන් කියන්න යන අවසාන පැය කීපය තමයි මේ ගතවෙන්නේ කියලා මං දැනගෙන හිටියෙ නෑ. උදේ වැඩට එද්දි වැඳලා ආපු අම්මගේ, තාත්තගේ මූණ, ගෙදර ගිහින් කතා කරන්නම් කියපු මගේ ආදරේ මූණ දකින්න ආයෙ දවස් ලැබෙන්නේ නෑ කියලා මට හාන්කවින්සියක්වත් දැනුණේ නෑ. එදා මං ඇඳපු ඇඳුමේ පාට, එදා පරිසරයේ තිබුණ පාට මගේ ජීවතේ මං අන්තිමට දකින දේවල් කියලා මං දැනගෙන හිටිය නම් අනේ මං එදා ඒ පාරෙන් යන්නෙ නෑ. එහෙම ඉරණමක ඉඟියක් හරි දෙවියො මට පෙන්නලා තිබුණ නම් මං කවදාවත් ඒ දේවල් එහෙම වෙන තැනට තීරණ ගන්නේ නෑ. මට කැම්පස් යන්න තිබුණා. මට ආදරේ නො කර ඉන්න තිබුණා. එහෙම වුණා නම් එදා ඒ ගමනේ දී මට නැති වුණ මගේ ඇස් දෙක අදත් මගේ ළඟ.
මම ජීවිතේට රැවටුණා ද, ජීවිතේ මාව රැවැට්ටුවා ද කියලා කියන්න මම දන්නෙ නෑ. හැබැයි මං ජීවත් වුණා. මුළු ලෝකෙම පට්ටපල් බොරුවක් කියලා පෙන්නලා දෙන්න දෙවියො එදා හවස රාජගිරියෙදි මගේ ඇස් දෙක මගෙන් උදුරලා ගත්තා.”
හීනියට හුස්මක් පිට කරලා ආශ්චර්යා තමන්ගේ ජීවිත තලාවේ පලවෙනි පරිච්ඡේදය ඉවර කළා. ඊළඟ පරිච්ඡේදය ගැන කියන්න ආශ්චර්යා කිසිම අදිමදි කිරිල්ලක් නැතුව ලෑස්ති වෙද්දි මට මගේ පපුවත් ගැහෙන සද්දෙ අහගෙන ඉන්න බැරි වුණා. මොකද එතනින් එහාට ආශ්චර්යගේ ජීවිතේ එයා තනියම හොයාගත්ත එකක් කියලා පිළිගන්න මගේ හදවතටත් එකපාරට බැරි වුණා.
අපි මුලින්ම අපේ ඇස්වලින් දකින්නෙ අපේ අම්මව. ඊට පස්සෙ අපි අපේ ජීවිතේ දකින්නෙ අම්මගේ ඇස්වල එළියෙන්. ඒ ඇස්වල එළිය අපේ ඇස්වහන් ඉන්නකොටත් අපිට පාර කියනවා. අපේ ඇස්වලට කඳුළු එන්න කලින් අම්මගේ ලේ කඳුළු වෙන්නෙ දුර තියාමයි. තමන්ට ඉන්න එකම ගෑණු දරුව මහපාර මැද බෝම්බකට ඇස් දෙක බිලි දුන්නා කියලා දැනගත්තම ඒ අම්මගෙ ඇස් දෙකත් සදාකාලිකවම පිච්චෙන්න පුළුවන්. ආශ්චර්යත් බලාගෙන හිටියෙ එයාගෙ රත්තරන් අම්මත් ඇවිත් අතින් අල්ලගෙන ‘මගේ දුවේ මේ ලෝකේ උඹට කවුරු නැතත් මං ඉන්නවා මගේ දුවේ’ කියයි කියලා. ‘මගේ ඇස් දෙකෙන් මං උඹට මේ ලෝකේ පෙන්නන්නම් දුවේ’ කියයි කියලා. හැබැයි ලස්සන, ඉගෙන ගත්ත, පවුලට මැණිකක් වුණ ආශ්චර්යාගේ නිල් මිණි ඇස් දෙක එයාට නැති වුණාට පස්සේ එයාගේ අම්මා ඇහුවේ ‘ඇයි උඹ මැරුණෙ නැත්තේ’ කියල ලු. ජීවිතේ දෙවැනි කරලා ආදරෙ කරපු ආශ්චර්යාගේ ආදරෙත් එයාව දාලා ගියේ කිසිම සටහනක් ඉතුරු කරන්නෙ නැතුව ලු.
“මට යන්න තැනක් නැති වුණා. මගේ පවුලෙ අය මං ආදරේ කරපු අය හැමෝම මාව අතහැරියා. තිබුණෙ ඉතුරු කරගත්ත සල්ලි ටිකක් විතරයි. ඒත් ගෙදර මලක් වගේ හැදිලා ලෝකේ එළිය දැකලා ජීවත් වුණ මං අන්ධකාරෙත් එක්ක මහපාරට වැටුණට පස්සේ කොහොම ද නංගි මං හෙට වෙනකල් අද ජීවත් වෙන්නේ?” ආශ්චර්යා මගෙන් ඇහුවා.
මම මගේ ඇස් දෙක පියා ගත්තා. ඒ අන්ධකාරෙ ඇතුළේ මට පපුවට දැනෙන්න හුස්ම ගන්නවත් බෑ කියලා දැනුණා. පපුවෙන් ආපු ඉකියක් මං හිර කරගද්දි ආශ්චර්යා හිනා වෙලා දිගටම කතා කරන්න පටන් ගත්තා.
“නංගි මං ගෙවල් හෙව්වා. කවුරුවත් මට ගෙයක් දෙන්න කැමති වුණේ නෑ. අමාරුවෙන් ගෙයක උඩ තට්ටුවක කාමරයක් හොයාගෙන ඒක ඇතුළෙ මං ජීවත් වුණා. කාගෙවත් ආශ්‍රයක්, කටහඬක් නැති කළුවර ලෝකෙක මම අවුරුදු 11 ක් තට්ට තනියම ජීවත් වුණා. වෙලාවකට මට මැරෙන්න හිතුණා. තවත් වෙලාවක ඇයි මම මැරෙන්නෙ කියලත් හිතුණා. ඒත් දවසින් දවස මේ ලෝකෙ ඇතුළෙ මම තනිවෙද්දි මගේ හිත ඇතුළෙ තව ලෝකයක් ගොඩනැඟුණා. මුලදි මං ඇවිදගෙන යද්දි මගේ අතපය තැන තැන වැදිලා තුවාල වුණා. කන්න උයාගන්න ලිප පත්තු වෙනව ද බලන්න මං ලිපට අත දාලා බැලුවා. අවුරුදු 11ක් තනියම උයාගෙන කාපු මගේ හිතේ කවදහරි දවසක අම්මගේ අතින් බත් කටක් කන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණා. අම්මා මාව බලන්න එයි කියලා හිතුවා. ඒත් ඒ අවුරුදු 11ටම එයා ආවේ නෑ. දැන් එයා ආවත් වැඩක් නෑ. අවුරුදු ගාණක් තට්ට තනියම ගෙවපු ජීවිතේ බෙදාගන්න දෙවියො දුන්න මහත්තයෙක් අද මගේ තනි නො තනියට මගේ ළඟ ඉන්නවා. මැරෙන්න හිතපු ජීවිතේ දැන් මට ජීවත් වෙන්න හිතෙනවා. අද මං ජීවිතේ බෙදා ගන්නවා. තනියම මඟේ වැඩ, ගෙදර වැඩ කර ගන්න, මට ඕන දේවල් ගන්න කරන්න යන්න මට දැන් කාගෙවත් උදවු ඕන නෑ. ලොකුම දේ මං අද fashion designer කෙනෙක්.
මගේ හිතයි මනසයි අතර ගණුදෙනුවේ හොඳම ප්‍රතිඵලය විදියට මගෙන් එළියට එන මේ designs මගේ ජීවිතේ පාළුව අමතක කෙරුවා. එක පැත්තකින් ඒ නිර්මාණ ලෝකයා නෙමේ මමවත් දැකපු නැති දේවල්. අනිත් අතින් ජීවිතේ මැරෙන්න හේතු දාහක් එක්ක මට ජීවත් වෙන්න හේතු හදලා දුන්න මගේ ජීවිතේ කොටසක්.”
නයනා ආශ්චර්යා. මේක දෙවියෝ දුන්න නමක් ද, නැත්නම් ඇත්තට ජීවිතේ ඉස්සරහ ගැන කියලා දෙන්න ආශ්චර්යට උපතින්ම ලැබුණ නමක් ද? ඒ දෙකම එයාට ගැලපෙනවා. සුදු නෙළුමක් වගේ දැකපු ගමන් හිත නිවන ඒ රූපෙට ලැබුණ ඒ නුවන් ඇත්තටම ඇයට ආශ්චර්යයක්. ලෝකය දකින්න පුළුවන් වුණ දවස්වල වගේම ඇස්වලින් ලෝකය කළුවර වුණ දවසෙත් එක විදියට එයා එයාගේ ජීවිතේ ආශ්චර්යයක් කරගත්තා.
ඇස්වලින් වහන් වුණ ලෝකය හදවතින් දැකපු ආශ්චර්යාගේ පුදුමාකාර ගමන්මඟ ඇතුළෙ ආශ්චර්යා ඉගෙන ගත්ත දේවල් ගොඩක් තියෙනවා. වැල නො කැඩී එක පෙලට කියාගෙන ගිය ආශ්චර්යාගේ වචන ඇතුළේ අවුරුදු 20ක් හිර වුණ දුක, සතුට, කළකිරීම, ජීවිතය වගේ හැමදෙයක්ම තිබුණා. ඒ හැමදේකටම වඩා ඇටමස්නහරවලින් හැදුණ මිනිස්කම ඒ මනුස්සකම තියෙන්නෙ කොතැන ද කියලා හිතන්නත් ආශ්චර්යා කතාව ඕනෑවටත් වඩා උදාහරණ දුන්නා.
අවුරුදු 11 කියන්නේ කොයි තරම් ලොකු කාලයක් ද? හිතලා බලන්න එක දවසක්, එක විනාඩියක් කවුරුවත් නැතුව ඔයාට ඉන්න පුළුවන් ද? රූප, පාට, ශබ්ද නැතුව ඔයාට හුස්ම ගන්නවත් පුළුවන් ද? නිහඬ වෙලා ඇස් දෙක වහගන්න. වහගෙන ආශ්චර්යා ජීවිතය නෙමෙයි ඔබේ ජීවිතය දකින්න. මනුස්සකම ළඟ ඔයාලගේ හදවත තියෙන්නේ කොතන ද කියලා හිතලා බලන්න. ආශ්චර්යගේ වැහුණු ඇස්වලින් එයාගේ ලෝකෙත් හැබෑ ලෝකෙත් දැකලා ඉවරයි. පාට පාට ලෝකේ ඇතුළේ තියෙන විෂ ඝෝර බව, කළු සුදු මායාව ඇය අත්විඳලා ඉවරයි.
“නංගි මට කාත් කවුරුවත් නෑ කියලා දැනුණ සමහර පිරිමි මගේ පස්සෙන් ආවා. කිසිම දෙයක් නැති මගේ බැංකු පොතේ තිබුණ සල්ලි ටික ගන්නත් සමහර මිනිස්සු මාව බඳින්න හැදුවා. පාර තොටේ යනකොට සාප්පුවකට කඩේකට යනකොට අනේ හපොයි කීවා, මං ඉන්න විදිය ගැන හොඳක් කියපු කෙනෙක් නැති තරම්. හැමෝම මට අනේ කියලා අනුකම්පා කළා. මම ලස්සනට ඇඳලා යනකොට මොකට ලස්සනට අඳිනව ද කියලා අහනවා. මං හිනාවෙනකොට කොහොම ද මෙහෙම හිනාවෙලා ඉන්නෙ අහනවා. ඒත් අද මම සාමාන්‍ය ගැහැණියෙක්. මට ඕන අනුකම්පාව නෙමේ ජීවිතය.
ආශ්චර්යාගේ මේ දහිරිය ළඟ මගේ ඇස්වලට කඳුළු ආවා. ඉඳහිට විවර වෙන දෑසින් එයාගේ පැහැදිලි ඇස් දෙකේ ඡායාව දැකපු මට ආශ්චර්යාට කවදම හරි ලෝකය දකින්න වාසනාව ලැබෙයි කියන බලාපොරොත්තුව හිතට ආවා. ආශ්චර්යාගේ කතාවට ළඟ කොමාවක් වෙලා අහගෙන හිටපු මට ප්‍රශ්නාර්ථ තිබුණේ නෑ. ඒ තරමට එයාගේ ජීවිතය අංග සම්පූර්ණයි. හැබැයි මට ආශ්චර්යලා වගේ අය තව කොයි තරම් නම් අපි ජීවත් වෙන මේ සමාජය ඇතුළෙ ඉන්නවා ඇති ද? එයාලටත් ලෝකය මේ වගේම සලකනවා ඇති ද කියලා හිතුණා. මිනිස්සු මිනිස්සුන්ගෙන් මේ තරම් ඈත්වෙලා ඇස් පියාගෙන, කටවල් වහගෙන, කන් අගුළු දාගෙන ඉන්නේ කොහොම ද කියලා හිතුණා. හැබැයි වෙනස්වලාගෙන එක වෙලාවක දෙයියෙක් තව වෙලාවක යක්ෂයෙක් වෙන හිතක් පපුවක් නැති මිනිස්සුන්ට වඩා තනිකම හොඳයි කියලත් මට හිතුණා.
ආශ්චර්යා ජීවිතේ බැට කෑවේ ඒ වගේ ඉර පායලා බැහලා යන ටිකට වෙනස් වෙන ආත්මාර්ථකාමී මිනිස්සු හින්දා. හැබැයි කවදාවත් ඒ වගේ මිනිස්සු ළඟ ආත්මය පාවලා නො දුන්න මේ සුන්දර ගැහැණුකම දෑස් පේන සියදහසක් ගැහැණුන්ට අභිමානයක්.
ආශ්චර්යාගේ රෝගී තත්ත්වය හින්දා එයාට ලැබිලා තිබුණ සමහර ආයතනවල වරප්‍රසාද ළඟ කෙල හලපු සමහර අවස්ථාවාදියෝ එයාගේ පාස්පෝට් එක ලක්ෂ හැටකට අරගෙන ත්‍රස්තවාදීන්ව රට යවන්න හදපු වෙලාවේ බොහොම ස්තූතියි කියලා ඒ දේවල් ප්‍රතික්ෂේප කරපු ආශ්චර්යට ජීවිතේ තවත් කොතැනවත් වරදින එකක් නැති වෙයි.
අඳුරේ අතපත නොගා අඳුර තුළින් ජීවිතයේ එළිය හොයා ගත්ත ආශ්චර්යා තවත් ජීවිතේ අරුමයක් මිසක කරුමයක් නො වන වග ලෝකයට පවසා අවසන්. දෑසත් එක්කම හදවතත් මිය යන්න තිබුණා කියලා ලෝකයම ඇයට කියද්දී ජීවත්වෙන්න එක හේතුවක් සොයාගත්ත ආශ්චර්යා අද ඒ හේතුවෙන් තව ජීවිතේට හේතු සීයක් හදාගෙන ඉවරයි.බලාපොරොත්තුවෙන් තොර ජීවිතයකින්වත්, හදවතකින් තොර ඇස් දෙකකින්වත් ඵලක් නැති නිසා අද ආශ්චර්යාගේ ජීවිතය බලාපොරොත්තුවලින් පිරිලා. හදවත සැබෑ ලෝකයේ අත්දැකීම්වලින් ශක්තිමත් වෙලා. ”
“අවුරුදු 20ක් මං මාව දැකලා නෑ. ආයෙ කවදාමහරි මං මාව දකින දවසක එදා මං අන්තිමට මාව බලපු දවසේ දැකපු රූපයම මගෙන් මට දකින්න ඕනෙ.”
සත්තමයි, ඒ බලාපොරොත්තුව ඔබට ඉටුකරගන්න පුළුවන් වේවි. ඔබ ගැන ලියපු මේ අකුරු වැලක් ගානේ මේක කියවන හැම වාරයක් ගානේ ඔබට ලෝකය දකින්න වාසනාව ළඟා වේවි. අනුකම්පාවකට හේතුවක් නො වන ඔබ මතුදිනෙක තාමත් ඔබ එක්ක නො වෙනස්ව ඉන්න රූපය දකීවි.
එදා අවසන් වතාවට ඔයාම ඔයාගෙන් දැකපු ලස්සන ඒ විදියටම ඔයාගේ ඇස්වලින් දකින්න පුළුවන් වෙයි. හැබැයි එදාට වඩා ඔයා ඔයාව දකින දවසට සතුටු වෙන්න පුළුවන් ගොඩක් දේවල් ඔයාගේ ජීවිතයේ තියේවි. ලස්සනත් එක්කම එදා තිබුණු හදවතට වඩා පොහොසත් හදවතක් මෙදා තියෙන එක ගැන ඔයාට ආඩම්බරයක් දැනේවි.
ඇය ගැන කඳුළක් ඔබේ දෑසට නො නැගුණාට කම් නැත. ඒත් මේ ලිපිය කියවා අවසානයේ සැබෑ මිනිස් හදවතින් ඇය වෙනුවෙන් එකම ප්‍රාර්ථනාවක් කරන්න.
ඇය මේ ලොව දකින දවස වෙනකොට දකින්න ලෝකයේ ලස්සනක් ඉතුරු නො වී තිබුණත් ඇයට ඇයගේ ලස්සන දකින්න ඇගේ ලෝකයේ නො කෙළසුණ ලස්සන දකින්න වාසනාව ලැබෙන්න කියලා හදවතට ඇහෙන්න මුවින් මතුරන්න. ඒ ප්‍රාර්ථනාවට විශ්වය තුළ ඉඩක් අනිවාර්යෙන්ම ලැබෙනු ඇත.

සටහන – අචලා පියරත්න
ඡායා – ජගත් නානායක්කාර

One thought on "ආශ්චර්යා වසර 16කට පසු ඇස් දෙක ඉල්ලයි"

  1. රවී says:

    මේ සිද්ධිය දැන් කාලේ කට්ටියට මතකද මන්දා….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: