ඇමරිකාවට එරෙහි වූ ස්නෝඩන් හින්දා ලාංකිකයින් අමාරුවේ

May 17, 2017 | 1:00 pm    0   203

ඇමරිකාවට එරෙහි වූ ස්නෝඩන් හින්දා ලාංකිකයින් අමාරුවේ

අමෙරිකා එක්සත් ජනපද රජයේ රහස් හෙළි කළ බවට චෝදනා එල්ල වී ඇති එඩ්වඩ් ස්නෝඩන්ට උදව් කළ ශ්‍රී ලාංකිකයන්ට දේශපාලන රැකවරණ ලබාදීම හොංකොං රජය ප්‍රතික්ෂේප කරයි.

එඩ්වඩ් ස්නෝඩන් රුසියාවට පලායාමට ප්‍රථම තාවකාලිකව හොංකොං හි රැඳී සිටි අවස්ථාවේ දේශපාලන රැකවරණ පතා සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් සහ පිලිපීන ජාතිකයන් පිරිසක් 2013 ජුනි මාසයේ රහසිගතව නවාතැන් පහසුකම් සපයා තිබෙන අතර ශ්‍රී ලංකාව සහ පිලිපීනය ආරක්‍ෂිත රටවල් බව සලකමින් මෙම දෙපිරිසටම දේශපාලන රැකවරණ ලබාදෙන ලෙස කළ ඉල්ලීම මෙලෙස ප්‍රතික්‍ෂේප වී ඇති බව වාර්තා වෙයි.

මීට වසර තුනකට පෙර එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ඒජන්සියේ සේවයේ නියුතුව සිටි එඩ්වඩ් ස්නෝඩන් සිය රට තුළ සිදු කරනු ලබන පුරවැසියන්ගේ තොරතුරු ලබාගැනීමේ හා එක්රැස් කිරීමේ ක්‍රියාවලිය හෙළි කළේය.

මෙම හෙළි කිරීමත් සමඟ ලොව පුරා මහත් කැළඹීමක් ඇති වූ අතර මෙම සිදුවීමත් සමඟ ස්නෝඩන්ව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් දියත් වීමෙන් පසුව එක්සත් ජනපදයෙන් හොංකොං බලා පලා ගිය ස්නෝඩන් එහි රහසිගතව සති දෙකක් පමණ රැඳී සිටින්නට සමත් විය.

එසේ රැඳී සිටි කාලය තුළ ස්නෝඩන්ට උදව් කරනු ලැබුවේ හොංකොංහි සේවය කළ ලාංකික පවුලක් හා පිලිපීන කාන්තාවක වන අතර පසු කලෙක ස්නොඩන් රුසියාවේ දේශපාලන රැකවරණ පැතීය.
ස්නෝඩන්ට උදව් කළ ලාංකිකයන් හා පිලිපීන කන්තාව විසින් පසුව හොංකොංහි දේශපාලන රැකවරණ ඉල්ලා ඇති අතර පෙරේදා(15) දින ඔවුන්ගේ ඉල්ලීම හොංකොං ආගමන විගමන පාලකවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.

දරුවන් දෙදෙනෙකුගෙන් යුතු ශ්‍රී ලාංකික යුවලක්, ශ්‍රී ලාංකිකයෙකු හා පිලිපීන කාන්තාවක මෙන්ම ඔවුන්ගේ දරුවා ද මෙලෙස හොංකොංහි දේශපාලන රැකවරණ ඉල්ලා තිබුණු බව සඳහන් වන අතර කෙසේ නමුත් ඔවුන් එරට නීතිඥයින් මඟින් කැනඩාවේ දේශපාලන රැකවරණ ලබා ගැනීමේ ඉල්ලුම් පතක් ඉදිරිපත් කිරීමට නියිමිත බවද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: