ඇය කොයිතරම් මේ කුරුල්ලට ආශා කළා ද කිව්වොත් ඌ නො පැමිණි දවසට ඇය උමතුවෙන් වගේ අහස දිහා බලාගෙනම හිටියා.

March 7, 2017 | 5:00 pm    0   346

ඇය කොයිතරම් මේ කුරුල්ලට ආශා කළා ද කිව්වොත් ඌ නො පැමිණි දවසට ඇය උමතුවෙන් වගේ අහස දිහා බලාගෙනම හිටියා.

හිත කොයිතරම් රිදිල තිබුණත් හිත පුරාවටම ගොඩගන්න බැරි පාළුවකින් වෙලාගෙන තිබුණත් නො වරදවාම ඇය ඉර බැහැගෙන යන හැන්දෑවට අෑතින් පෙනෙන විශාල මාර ගහට උඩින් පෙනෙන රතු අහස දිහා බලාගෙන ඉන්න පුරුදු වුණා. ඒ හැමදාම එන විශාල කුරුල්ලෙක් බලන්න. රන් පාටින් දිලිසෙන ඒ පිහාටු විහිදලා ඌ මාර ගහට උඩින් එහා මෙහා පියාඹන ආකාරය බලන්න අෑ ආශා කළා. ඒ කුරුල්ලා විඳින නිදහසට ප්‍රේම කළා. කොටින්ම ඒ කුරුල්ලගෙ ලස්සනට ඇය වශී වුණා. ඇය කොයිතරම් මේ කුරුල්ලට ආශා කළා ද කිව්වොත් ඌ නො පැමිණි දවසට ඇය උමතුවෙන් වගේ අහස දිහා බලාගෙනම හිටියා. මේ නිසා ඇය තීරණය කළා, ආයෙත් ආපු දවසට ඒ කුරුල්ලව හැමදාටම ඇය ළඟ රඳවගන්න.

අපි ආදරේ කරද්දිත් එහෙමයි. අපි ආදරේ කරන කෙනා අපේ ඇස් මානෙම තියාගන්න අපි උත්සාහ කරනවා. දකින්න නැති වෙනකොට, කටහඬක් ඇහෙන්නෙ නැති වෙනකොට පිස්සුවෙන් වගේ අපි හොයන්න ගන්නවා. ආදරේ එහෙමයි. ඒකයි ගොඩක් අය කියන්නේ ආදරේ කියන්නේ උමතුවක් කියලා. ඔයා හිතාමතා එහෙම හැසිරුණේ නැතත් ඔයාටත් නො දැනෙන්න ඔයා උමතුවෙන් හැසිරෙනවා

ඇයත් මේ කුරුල්ලව කූඩු කරගත්තා. වෙනදා හවසට විතරක් කුරුල්ලව දකින, ඇය දැන් උදේ හවා දෙකේම ඌ ළඟට වෙලා ඉන්න පුළුවන් වුණා. වෙලාවට කන්න දෙන්න කූඩුව අස්පස් කරන්න. මේ හැමදේම ඇය බොහොම ආශාවෙන් කළා. ඇයගේ ඇස් ප්‍රීතියෙන් දිලිසෙන්න වුණා. ඒත් ඇයට නො පෙනුණේ වෙනදා දිලිසෙන කුරුල්ලගෙ ඇස් දෙක අඳුරුවෙලා කියලා විතරයි. ඒ ඇස්වල කඳුළු පිරිලා කියලා විතරක් ඇයට පෙනුණේ නැහැ. මොකද ඒ තරමට ඇය මේ කුරුල්ලව ළඟින් තියාගන්න ආස කළා. මෙහෙම කාලය ගෙවිලා යන්න වුණා. වෙනදා දිලිසෙන කුරුල්ලගෙ ලස්සන පියාපත් විඩාබර වෙලා ගියා. වෙනද වගේ නිදහස් සැහැල්ලු බවක් ඇයට මේ කුරුල්ලගෙන් පෙනුණෙ නැහැ. මේ නිසා කූඩුව පිරිසිදු කරන එකත් ඇයට දිනෙන් දින මඟ හැරුණා.

දිනෙන් දින මෙහෙම ගෙවෙනකොට කෑමක් බීමක් පිරිසිදු සුළඟක්වත් නැතිව මේ කුරුල්ලා විඩාබරව මියගියා. කූඩුවේ ‍ෙදාර ඇරලා මියගිය කුරුල්ලව අතේ තියාගෙන අෑ මහ ගොඩක් හයියෙන් ඇඬුවා. ඒත් එහෙම ඇඬුවේ කුරුල්ලා මියගිය නිසා ද එහෙමත් නැත්නම් කූඩු කරගත්තට පස්සෙ ඇයට ඒ කුරුල්ලව මඟහැරුණ නිසා ද කියල කියන්න මම දන්නෙ නැහැ.

මම මේ කතාව මේ විදියට කියන්න ඕන කියල හිතුවෙ පසුගිය දවසක එක්තරා තරුණයෙක් කියපු කතාවක් මට මතක් වුණ නිසා. අපි අපේ නොවී දුරින් හිටපු කාලේ ඔයා මට මීට වඩා ආදරේ කළා. ඒත් මාව ඔයාගෙමයි කියල දැනුණට පස්සේ ඒ ආදරේ අඩුවෙලා කියල හිතෙනවා මට. ඔහු කිව්වේ එපමණයි. ඒත් එතන ඉඳන් මට හිතන්න ගොඩක් දේවල් ඉතුරු වුණා. ඒක ඇත්තටම එහෙම ද කියලා…

අපි ගොඩදෙනෙක් ආදරේ අයිති කරගන්නකම් ගොඩක් ආදරේ කරනවා. ඒත් ඒ ආදරේ අපේ වුණාට පස්සේ ඇත්තටම අපේ අතින් ඒ ආදරේ මඟහැරෙනව ද එහෙමත් නැත්නම් ඉස්සර වගේ අපි අපේ ආදරේ පෙන්වන්නේ නැද්ද කියල ප්‍රශ්නයක් ඇතිවෙනවා. අපිත් අපේ ආදරේ අයිති කරගෙන කූඩු කරගත්තට පස්සේ ඒ ආදරේ අගය අඩු වෙනව ද? ඒ ප්‍රශ්නෙ ඔයා ඔයාගේ හිතින්ම අහන්න. පිරිමි ළමයි ආදරේදි ගොඩක් කැමති එයාලගේ නිදහසට. ඒත් ගැහැණු ළමයි කැමති හැමවෙලාවේම හැමමොහොතකම තමන් ගැන හොයල බලනවට. ආදරේ පටන් ගන්න කලින් තිබුණා වගේම හැම මොහොතෙම දැනෙන ආදරයක් අපි හැමෝම හොයනවා. අයිති කරගත්තට පස්සේ ඔයාට ඔයාගේ ආදරේදි ආදරේ කරන්න මඟ හැරුණොත් මම අර මුලින් කිව්ව කතාවේ වගේ ඔයාටත් ඔයාගේ ආදරේ නැති වේවි ඔයාටත් නො දැනීම.

උපුලි පුන්සරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: