ඇය යන්න ගියේ නෑ…. මාව යැව්වා…. යන්නම….

January 16, 2017 | 11:30 am    0   560

ඇය යන්න ගියේ නෑ….  මාව යැව්වා…. යන්නම….

ඇය යන්න ගියේ නෑ

මාව යැව්වා… යන්නම…

මට තවම මතකයි ඇය දුටු මුල් දිනය. එක වගේ පෙනුමැති සුදුපාට තවරණයකින් ඇය හැඩ වී හිටියා. පාසැල් ඇරී තක්කඩිකම් කරන්න පෙරුම් පුරපු හිත ලෝකෙටම හොරෙන් තීරණය කළා ඇය හමුවී ඇය තම දෑතට රැගෙන නිදහසේ ඇයව සිපගන්න. ඒක වරදක් ද? හිත අහන්න වුණා. වෙලාවට වැඩක් නො කරන පාසල් හිත මේ හමුවීමට වෙලාවක් දා ගත්තේ නෑ දිනයක් දාගත්තා මිස. සිරිතක් හැටියට වෙලාවට වැඩ කරන්නෝ තමන්ගේ සියලු වැරදි කරන්නෙත් හරියටම වෙලාවටමයි. හිතන මිනිසාට ලෝකය සතුටක්, විඳින මිනිසාට ලෝකය දුකක්. ඒ නිසා පාපයට බිය නැති හිත පළමු වරට කිසිවෙක් නැති තැනක ඇයව තොල්පෙති අතර මුලින්ම තබාගත්තේ ලෝකයක් දිනූ මිනිසෙක් මෙන් මහා ආඩම්බරයකිනි. දෙව්ලොව යා හැකි එකම රථය මිනීරථයක් වීම මෙන් නොව අත්දැකීම් විඳගන්නට නම් බොහෝ හරි සහ වැරදි පාරවල්වල අපිට රස්තියාදු කරන්නම ඕනේ බව ඇයව සිපගත් මුල්ම දා මට සිතුණා.

මුළු ලෝකෙම වෙනම සුවඳක්. උදේ දවල් රෑ වෙනසක් නෑ. සතුට දුක කියා වෙනසක් නෑ. අපි දිනපතා හමුවුණා. කලබල නගරයේ සද්ද බද්ද මැද වගේම නිසංසල අපූරු තැන්වල අප එකට වෙලාව ගෙවා දැම්මා. විටෙක රෑ අහස යට ඇය තුරුළු කරමින් නින්දට ගියා… ඇය ගිනි පුපුරු මෙන් රත් වුණත්… රාත්‍රියේ නින්දට පෙර ඇය නිවී ගියා… සියලු රස මට පූජා කරලා….

මට මතකයි මගේ මිතුරෙක් දිනක ලොකු කතාවක් මැද ඇයව මගෙන් ඉල්ලා සිටියා… මම ඇහුවා ඇයි කියලා… මටත් හිතුණා ඇයව මගේ තොල් අතර උණුසුම් කරන්න… මම මගේ මිතුරාට බැන්නා.. එපා… ඒක වරදක්… මගේ මිතුරා අදහස අතහැරියේ නෑ. මම අකමැත්තෙන් ඔව් සත්තකින්ම අකමැත්තෙන් ඔහුට ඇයව පූජා කරා. වෙනසක් නැතිව ඇය අතින් අතට මාරු වෙන හැමෝගෙම සුරතලියක් වෙන එක නවත්තන්න මට පුළුවන්කමක් තිබුණෙ නෑ. එහෙම ඇයව මගේ පමණක් කරගන්නට ගොඩක් මුදලක් යනවා.

ඒ නිසා කාලය ගෙවෙනකොට ඇයව තනි අයිතියට  ගන්න හිත පෙළඹුණා. යහළුවන් විටෙක ඒත් ඇයව දකිනකොට ඇයව ඉල්ලුවා. ආඩම්බරෙන් මම කිව්වා මේ ඉන්නේ ඇගේ යහළුවන් උඹලා ඕනෙ නම් එයාලව ගන්න… මම දෙන්නේ නෑ මට බෙදාගන්න බෑ…. බදාගෙන ඉන්න ඕනෙ මගේ දේවල් කියලා.

සමහර දවස්වලට ගොඩාක් රෑ වෙලා ඇයව හොයාගෙන වීදි දිගේ ඇවිද්දා.. ඒ බැඳීම නො දැනීම බොහෝ කාලයක් වගේම විශාල මුදලක් වැය කරන්නත් වුණා. ඒත් විටෙන් විට අපේ සම්බන්ධය බිදුණත්… ඈ මා සොයා ආවේ නෑ… මම ඈ සොයා ගියා….

අම්මා තාත්තා සමහර මිතුරෝ නෑදෑයෝගේ දැඩි විවේචන මැද අපි දිගින් දිගටම හමුවුණා. දවසකට එක පාරෙන් පටන්ගත් අපි දවසට විසිතිස් වතාවට හමු වුණා. ඈ නැතිව කිසිදෙයක් සමරන්න බැරි තරම් ඇගේ රසට මත් වී හිටියා… ඇය දෙතොලේ ගෑවෙන විට මහා ආඩම්බරයක් වගේම මහා නිදහසකුත් දැනුණා.

හදිසියේම… ඔව් හදිසියේම කිසිවෙකුට වෙන් කරන්න බැරි වූ අපේ බැඳීමට එක මූසල දවසක් උදා වුණා. ලිපියක් ලැබුණා මට… එය මං කියවගෙන කියවගෙන ගියා. එහි සඳහන් වෙලා තිබුණා මට හැමෝම කිව්වා වගේ ඇගේ මගේ ඇසුරේ ආදීනව… අපිට ආයෙත් හමුවෙන්න බෑ… ලිපිය ලැබී දින ගෙවුණේ මහා වේගයෙන්. මම දැඩි ලෙස අසනීප වුණා. හුස්ම ගන්න පවා අසීරු වුණා. මගේ උන් වටවෙලා රෝහලේ ඇඳ වටේ මගේ දිහා බලාගෙන හිටියේ හූල්ලමින්….

අම්මා, තාත්තා, මල්ලී වගේම මට ආදරේ කරපු මගේ යාළුවෝ නෑයෝ හැමෝම පෙළින් පෙළට විටින් විට මාව බලන්න ආවා….

මගේ අම්මා ඇහුවා… ඇයි මගේ පුතේ ඔය නරක ආශ්‍රය අත නො හැරියේ කියා…. අර ලිපිය බොහෝ විට අම්මගේ අතේ තිබුණා. මට සිද්ධ වෙච්ච දේවල්වලට ඇය ළඟ උත්තර නැතත් මං නො දැනුවත්වම ඇයට ඇබ්බැහි වෙලා තිබුණා. මගේ අම්මේ කියලා කියන්න  හිතුවත් මට කතා කරන්න බෑ. කටට බටයක් දාලා… මුළු පපුවට ගිනි ගන්නවා… හැම හුස්මම ආයාසයෙන් ගත්තේ… ඇය ඊටපස්සේ කිසිම දවසක රෝහලට ආවේ නෑ මා සිපගන්නට..

ඇය නිසා අම්මා අත වූ ලිපියේ සඳහන් වෙලා තිබ්බා… මා ඇය නිසා කරගත් හදිය…
මම කොලයක් අරන් මගේ ජිවිතේ ලියන අවසන් ලිපිය අකුරු කළා බොහෝ අමාරුවෙන්…

ඔබ නොවෙදෝ…
ළඟ සිටියේ….
සන්තෝසේ…
සන්තාපේ….
දුම්වැටියේ….

පොඩි කාලේ සිට සිපගත් දුම්වැටිය මාව මගේ උන්ගෙන් උදුර ගත්තා…
අනේ එකෙක්වත් තමන්ගේ තොල් අතරේ ඇයව රඳවන්න එපා..
ඇය සිපගන්න එන මරණයේ පණිවිඩකරු…
සිගරට් බොන්න එපා…
මගේ ඇස් නිලංකාර වුණා… මම අන්තිම සැරේට මගේ උන් දිහා බලලා හිනා වුණා… මට යන්න වෙලාව ඇවිත්…. අම්මා කෑ ගැහුවා… තාත්තා බිත්තිය පැත්තට හැරුණා.. මගේ උන් මට මූණ දුන්නෑ. මට කැන්සර් එකක් ඇය සතු කළ බවට තිබූ ලිපිය අම්මා අතින් ගිලිහුණා…

මගේ පුතේ ඇයි උඹ මං කිව්වම සිගරට් නැවැත්තුවේ නැත්තේ…
අම්මා කෑ ගැහුවා….

එකපාරම ගැස්සිලා ඇහැරුණා… මම නින්දෙන් නැඟිට්ටා… මොකක් ද ඒ හීනේ… කොට්ටෙට වාරු දීගෙන කල්පනා කරා… එහෙම කල්පනා කර කර දුම්වැටියක් පත්තු කරගත්තා…

අද මිතුරේ හෙට හතුරෝ… දුක්දෙනවා එරෙහි වෙලා… ඒ වාගේ මතු දිනයේ ඔබ එයි දෝ… හතුරු වෙලා… දුම්වැටියේ……

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: