ඉන්දියාව සමඟ සටන් වඳින 20-20 සංචිතය මෙන්න

September 5, 2017 | 3:00 pm    0   253

ඉන්දියාව සමඟ සටන් වඳින 20-20 සංචිතය මෙන්න

සංචාරක ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේදී දෙරට අතර පැවැත්වෙන අවසන් තරගය වන 20-20 තරගය වෙනුවෙන් වන ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කර ඇත. 

සනත් ජයසුරිය ප්‍රමුඛ වත්මන් ක්‍රිකට් තේරීම් කමිටුවේ අවසන් රාජකාරිය මෙය වනු ඇත. මෙම තරගාවලියෙන් පසුව එම කමිටුව සිය තනතුරු වලින් ඉවත්වන බව ලිපියක් මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇත.

මෙම තරගය හෙට (06) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා නම් කල ශ්‍රී ලංකා සංචිතයට  2020 විශේෂඥයින් වන සීකුගේ ප්‍රසන්න, ඉසුරු උදාන හා දසුන් ශානක යන ක්‍රීඩකයින් කැඳවා ඇත. මෙම සංචිතය ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විතය.

වේගපන්දු යවන ක්‍රීඩක විකුම් සංජය නැවතත් ශ්‍රී ලංකා 20-20 සංචිතයට කැඳවා ඇත. ඔහු නිමාවූ ඕස්ට්‍රේලියානු තරගාවලියේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් 2020 වරම් හිමි කර ගත් ක්‍රීඩකයෙකි. පිට ආශ්‍රිතව ආබාධයකට ලක්ව සිටි වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් ද නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දොරගුළු විවර වී ඇත.

ඊට අමතරව දකුණතින් පා දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ ද දඟපන්දු බල ඇණිය සවිබල ගැන්වීම පිණිස සංචිතයට තෝරාගෙන ඇති අතර, යොවුන් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් හට මෙවර සංචිතය තුල සිය ස්ථානය අහිමිව තිබේ.

ආර්. ප්‍රේමදාස තණතීරුව මත ශ්‍රී ලංකා කණ්ඩායමේ 2020 දස්කම් හා තරග ඉතිහාසය එතරම් සුභදායී නොවන්නේ, මෙහි ක්‍රීඩා කර ඇති ජාත්‍යන්තර 2020 තරග 13 අතුරින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 2ක් පමණක් නිසාවෙනි.

ශ්‍රී ලංකා 20-20 සංචිතය 

උපුල් තරංග (නායක), නිරෝශන් දික්වැල්ල, ඩිල්ශාන් මුණවීර, ඇන්ජලෝ මැතිව්ස්, මිලින්ද සිරිවර්ධන, දසුන් ශානක, සීකුගේ ප්‍රසන්න, වනිඳු හසරංග, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, තිසර පෙරේරා, ඉසුරු උදාන, ලසිත් මාලිංග, සුරංග ලක්මාල්, විකුම් සංජය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: