ඉසිවරයෙකුගේ උණුසුම අපටද දැණුනි

March 13, 2017 | 5:00 pm    0   298

ඉසිවරයෙකුගේ උණුසුම අපටද දැණුනි

මිනිසුන් නොමිනිසුන් වෙන්කර හඳුනාගත නොහැකි සමාජ වටපිටාවක ඔබත් මමත් ජීවත් වන බව නොරහසකි. කණ කැස්බෑවන් විය සිදුරෙන් අහස බලන්නාක් මෙන් දුර්ලභව ලබාගන්නා මනුෂ්‍ය ජීවිත තුට්ටුවකට දෙකකටවත් මායිම් නොකොට මහමඟ මරා දමා යන සාමාජයක මිනිසුන් සතා සිවුපාවුන් මෙන් කපා කොටා මරා දැමූවද අනේ අපොයි කියා හදවතින් දුක් වන මිනිසුන් හමුවන්නේද කලාතුරකිනි. එවන් යුගයක වචනයේ පරිසමාප්ත අයුරින්ම බෝසත් මිනිසුන් යැයි කීමට හැකි මනුෂ්‍යයින් එකෙකු දෙන්නෙකු හෝ අපට හමුවෙන්නේ අහම්බෙනි. මේ කියන්නට යන්නේ එවන් බෝසත් ‍ෙදාස්තර මහත්තයෙකු ගැන පසුගිය දවසක අහන්න ලැබුණ කතාවකි.

මේ දොස්තර මහත්තයගෙ නම රන්දිල් ප්‍රමෝද ද අල්විස්. ඔහු මේ වෙනකොට මහරගම පිළිකා රෝහලේ ශල්‍ය වෛද්‍යවරයෙක් විදියට තමයි සේවය කරන්නේ. පසුගිය 04 වන දින මේදොස්තර මහත්තයා මුහුණ දුන්නු සිද්ධියක් මේ වනවිට වීඩියෝවක් වෙලා සමාජ මාධ්‍ය තුළ ඉතා ඉක්මණින් පැතිරෙමින් තියෙනවා. ඒ නිසාම අපිත් හිතුවා මේ ගැන කතා කරන්න. මේ සිදුවීම පිළිබඳ ‍ෙදාස්තර මහත්තයගෙ සොහොයුරෙක් තමයි වැඩි විස්තර මාධ්‍ය වෙත ලබාදීලා තිබුණේ.
මේ කියන රන්දිල් දොස්තර මහත්තයා එදින යන්න සූදානම් වෙලා හිටියේ ඔහුගේ බිරිඳගේ නැගණියගේ විවාහගේ දෙවැනි ගමනේ උත්සවයට. වැලිසර ඉඳලා කුරුණෑගලට යන්න තමයි රන්දිල් තමන්ගේ මෝටර් රථයෙන් පිටත් වෙන්නේ. ඒත් නොහිතපු වෙලාවක ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න මේ අයට සිද්ධ වෙනවා. මේ වෙලාවේ රන්දිල් ‍ෙදාස්තර මහත්තය මේ ගැන ඉස්සෙල්ම තියන්නෙ තමන්ගෙ සොහොයුරාට. ඔහු මෙය දැනගත්ත විගස මේ ස්ථානයට එනවා. ඒ වෙනකොට ගොඩක් දේවල් වෙලා. ඔහු දැකපු සිද්ධිය තමයි ඔහු ලිපියකින් සමාජ මාධ්‍ය වෙත දන්වල තිබුණේ.

මේ දොස්තර මහත්මයා තමන්ගේ මෝටර් රථය ධාවනය කරන අතරතුර වැස්සියෙකු පිටුපස බල්ලෙකු එලවාගෙන පැමිණ තියෙනවා. වැස්සියට ඇති වූ බිය නිසා ප්‍රධාන මාර්ගයට වේගයෙන් දුවගෙන ඇවිල්ලා මේ ‍ෙදාස්තර මහත්තයගෙ වාහනේ හැප්පිලා. මෝටර රථයට වගේම මේ වැස්සිටත් ගොඩක් හානි වුණා. මේ සතාගේ ඉදිරි පාද දෙකම කාර් රථයේ බොනට්ටුවේ වැදීම නිසා එක් පාදයක අස්ථියක් බිඳිලා එළියට පැමිණිලා තිබුණා. මේ රන්දිල් ‍ෙදාස්තර මහත්තයා තමන් යමින් හිටපු ගමන ගැන දෙවරක් හිතන්නේ නැතුව තමන්ගේ වාහනේ හැප්පිලා අනතුරු වුණ මේ වැස්සියට මහමඟදීම බෙහෙත් කරන්න පටන් ගත්තා.

මෙලෙස අනතුර සිද්ධ වුණ වෙලාවෙම එතනින් යමින් හිටපු කොළඹ ජාතික රෝහලේ තාක්‍ෂණික ශිල්පි මහත්මයෙකුත් මේ සිද්ධිය දැකලා උදව්වට ආපු නිසා මේ වැස්සිට ශල්‍යකර්මයක් කරන්න අවශ්‍ය බෙහෙත් වගේම ශල්‍ය උපකරණත් ලබාගන්න අපහසු වුණේ නැහැ. ඉතින් මේ ‍ෙදාස්තර මහත්තයා දෙනෝදාහක් එහා මෙහා යන මහමග ඉඳගෙනම මේ වැස්සිගෙ බිඳුණු අස්ථිය ශල්‍යකර්මයකින් සකස් කරන්න වුණා. අද කාලේ ගොඩක් මිනිස්සු පාරේ වැටිලා ඉන්න සතෙක් නෙමෙයි වැටිලා ඉන්න මනුස්සයෙක් දිහාවත් නොබලන සමාජයක මේ ‍ෙදාස්තර මහත්තයා තමන්ගේ වාහනයට වූ අලාභය ගැන පවා නොසිතා මුලින්ම කළේ අනතුරෙන් තුවාල වෙලා වේදනාවෙන් කෑගසමින් වැටිලා හිටිය ඒ වැස්සිට මොහොතක් හෝ ප්‍රමාද නොවී ප්‍රතිකාර කිරීම ගැන විතරයි. තමන් ගැන විතරක් හිතමින් ජීවත් වෙන මිනිස්සු බහුතරයක් මේ ‍ෙදාස්තර මහත්තයා ගැන විශේෂයෙන් කතා කරන්න ඕන තරමට ඔහු වැදගත් වුණේ මේ මොහොතේ, මේ සමාජේ ඒ වගේ දෙයක් බලාපොරොත්තු වීම උගහට දෙයක් නිසාමයි.”

තමන්ගේ වරදින් සතෙක් නොව මිනිසෙකු යට වුවද කිසිත් ගණනකට නොගෙන යන මිනිසුන් අතරේ මොහු ගැන ගොඩක් අය කතා කරන්නේ. තමන් අතින් කිසිදු වරදක් සිදු නොවුණද හරි වැරැද්ද නොසොයා වාහනය හෝ තමා යමින් සිටි ගමන ගැන පවා නොසිතා පළමුව මේ සතාගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කිරීම නිසාය. තමන්ගේ වෘත්තීය ගැන උදම් අනමින් පමණක් ජීවත් වන මිනිසුන් අතරේ තම දැනුමින් මිනිසුන්ට මෙන්ම සතුන්ටද උපකාර කළ මේ මිනිසා අප අගය තළ යුතු නොවේද? මේ සිදුවීම සමාජ මාධ්‍ය වෙත ලබාදුන් ලිපිය අවසන් කිරීමේදී රටේ පාලක පන්තියටද දැනෙන පණිවිඩයක් දීමට මේ ‍ෙදාස්තර මහතාගෙ සොහොයුරා අමතක කළේ නැත. ඔහු තියා තිබුණේ “රුපියල් ලක්‍ෂ 120ක් තිබූ පමණින් ජීවකයෙකු විය නොහැකි බවත් ඉන් ඔබ්බට ගිය මුළු මිනිස් හා සත්ත්ව සංහතියටම දායාද කළ හැකි මෙත්තා ගුණය හදවත් තුළ තිබිය යුතු බවත්ය” මෙවැනි මිනිස්සු මෙන්ම ජීවකයන් වෙසෙන සමාජයක අපට හිඳින්නට ලැබීමද වාසනාවකි. අවසාන වශයෙන් අපිට කියන්නට ඇත්තේ ‍ෙදාස්තර මහත්තයෝ, ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුෂ්‍යයෙකු බවයි. මේ මොහොතේ සිහිවන්නේ චන්ද්‍රලේඛා මහත්මිය ගැයූ ගීතයක කොටසකි.

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද
දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත
ඒ දේවතාවුන් දිව්‍යාංගනාවන්
මනුලෝ තලයේ වාසනාවන්

උපුලි පුන්සරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: