උසස් පෙළට එහා වටිනාකමක් ජීවිතයට ඇත

April 7, 2017 | 2:00 pm    0   207

උසස් පෙළට එහා වටිනාකමක් ජීවිතයට ඇත

මේ ඇරඹී ඇත්තේ වසන්ත සමයයි. ගහ කොළ මලින් පිරී යද්දී කොහාගේ ගී හඬ හැම අත පැතිර යද්දී අවුරුදු අසිරිය විඳගන්නට බොහෝදෙනා බලා සිටින්නේ බලාපොරොත්තු සහගතවය. එහෙත් බහුතරයක් දෙනා ඒ අසිරිය විඳගන්නට බොහෝ සතුටින් සෑදී පැහැදී සිටිද්දී ඒ සතුට විඳින්නට මනසින් නිදහසක් නොමැති පිරිසක් ද මේ මොහොතේ අප අතර සිටී. සෑම වසරකම කවර හෝ පිරිසක් මුහුණ පාන්නා වූ මෙම ඉරණමට කිසි දිනක විසඳුමක් නොමැත්තේ අප රටේ අධ්‍යාපන රටාව ගොඩනැඟී ඇති ආකාරය නිසාය. මේ කියන්නට යන්නේ අපේ රටේ සෑම වසරකම පාසල් දරුවන් විශාල ප්‍රමාණයකට මුහුණ දෙන්නට සිදුවන ඛේදවාචකයක් ගැනය. මෙය ඛේදවාචකයක් යැයි කියන්නට හේතුවක් ද ඇත. ඒ අප රටේ දරුවන් පිරිසක් මේ හේතුව නිසාම සිය ජීවිතයෙන් වන්දි ගෙවන නිසාය.
සාමාන්‍යයෙන් පාසලකට දරුවෙකු ඇතුළු කරන පළවෙනි දවසේ සිටම ලංකාවේ අධ්‍යාපන රටාවට අනුව තරගකාරීත්වයක් ගොඩනැඟෙන බව අප සැවොම දන්නෙමු. ඒ ශිෂ්‍යත්වය පදනම් කරගෙනය. සැබවින්ම ශිෂ්‍යත්වය අම්මලාගේ විභාගය වෙද්දී ඒ විභාගයෙන් සමත් වන්නන්ට ජනප්‍රිය පාසල් තුළ ඉගෙනගන්නට අවස්ථාව හිමිවේ. එහෙත් අසමත් වූවන් ගැන දෙමාපියන්ද වැඩිහිටියන්ද ගුරුවරුන්ද බලන්නේ ප්‍රසංශනාත්මක හැඟීමකින් නොවේ. ශිෂ්‍යත්වයේ තරගය එසේ අවසන් වෙද්දී මීළගට බෙහෝදෙනා තරග කරන්නේ ජීවිතේ කඩඉම ලෙස සළකන සාමාන්‍ය පෙළටය. සැබවින්ම සාමාන්‍ය පෙළ ජීවිතයේ කඩඉමක් යැයි කියන්නට බොහෝ හේතු ඇත. ඒ සාමාන්‍ය පෙළ සමත් වන්නන් ජීවිතය ගොඩ යන්නන් ලෙස සාමාන්‍ය සමාජය තුළ පිළිගන්නා නිසාය. ඒ නිසාම සාමාන්‍ය පෙළ විෂයන් 10 ගොඩ දාගන්නට බොහෝ දෙනා එකකින් සෑහීමකට පත් නොවී එකම විෂයට ටියුෂන් පන්ති දෙකක් තෝරාගන්නේ සාමන්‍ය පෙළ හොඳින් ගොඩදාගන්නටය. සාමාන්‍ය පෙළ විෂයන් අතර බොහෝ දෙනා බියවන්නේ ගණිතයටය. ඒ ගණිතය අසමත් වූවහොත් උසස් පෙළ කරන්නට කිසිවෙකුට ඉඩ නොලැබෙන අධ්‍යාපන රටාවක් අපට දායදව ඇති නිසාය. ඒ නිසාම සාමාන්‍යය පෙළ ගණිතයට ඇත්තේ ලොකු වටිනාකමකි. ගණිතය සමත්වන්න බොහෝ දෙනා උත්සහ කරති. අන් සියලු විෂයන් අභිබවා ගණිතයට ඇති මේ වටිනාකම නිසාම ගණිතය පාස්වීමේ තරගයෙන් දින්නට බොහෝ දෙනා උත්සාහ දරති. දිවා රෑ නොබලා වෙහෙස වී පාඩම් කළද සියලු දෙනාම ගණිතයට එකසේ දක්ෂයන් නොවේ. ඒ නිසාම ගණිතය බොහෝ පාස් වන්නට උත්සහ දරන බොහෝ දෙනා ඒ කඩඉම ජය ගනිද්දී බොහෝ දෙනාට ඒ කඩඉම ජය ගැනීම මඟ හැරී යැයි.
අප රටේ ඛේදවාචකය ඇරඹෙන්නේ එතනින්ය. සියලු විෂයන් සමත් වූවද ගණිතය අසමත් නම් අප්‍රේල් මාසයේ නිකුත් කරන විභාග දෙපාර්තමේන්තු ප්‍රතිඵල ලේඛනයට අනුව මුළු විභාගයම අසමත්ය. සාමාන්‍ය පෙළ හොඳින් සමත් වී උසස් පෙළින් ජීව විද්‍යාව හෝ වාණිජ අංශයෙන් එසේ නොමැති නම් කලා අංශයෙන් පෙනී සිටින්නට සිහින දුටු බොහෝ දෙනාගේ සිහින බොඳ වී යන්නේ අප්‍රේල් මාසයේය. විභාගයෙන් ජය ලැබූවන් අවුරුදු අසිරිය සමඟ විභාගය සමත්වීමේ සතුට සමරද්දී පරාජිත වූවන්ගේ ඉරණම ඛේදජනකය. මව්පියන්ගේද හිතමිතුරන්ගේද ප්‍රසංශාවන් විභාගය සමත් වූ වන්ට ලැබෙද්දී අසමත් වූවන්ට ලැබෙන්නේ පරාජිතයෙකුට මෙන් සැලකිළිය. ඒ නිසාම එවැනි බොහෝ දෙනා අන්‍යයන් විසින් අත් කළ තම පරාජිත ඉරණම බාරගන්නේ ජීවිතයෙන් වන්දි ගෙවීම තුළින්ය.
මේ මෙවර ද අන් සෑම වසරකම ද ඉදිරියට ද සාමාන්‍ය පෙළ අසමත් වන අප රටේ බහුතරයක් දෙනා මුහුණදෙන ඉරණමය. මෙවර ද එම ඉරණම සාමාන්‍ය පෙළට මුහුණ දුන් දරුවන් 04 දෙනෙකු වැළඳගත්තේ තමා පරාජිත යැයි යන සිතුවිල්ල අත් වූ නිසාය.
එහෙත් මෙවර සාමන්‍යය පෙළ ප්‍රතිඵල හරහා අප හිතන්නට දෙයක් ඉතිරි කොට ඇත. ඒ ගණිතය අසමත් වීම ජීවිතය අවසානය නොවන බවය. උසස් පෙළට එහා ගිය තව බොහෝ මාර්ග ගොඩ යන්නට ඇත. වෘත්තීය පුහුණු ආයතන ද වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ද රට පුරා බොහෝ ඇත. ඒ නිසාම ඇපල් අපට ඔබට කීමට දෙයක් ඇත. ඒ ඔබට ඇත්තේ වටිනා තරුණ ජීවිතයකි. විභාගය අසමත් වීම ඔබ දිවියේ අවසානය නොවේ. ඒ නිසාම ලබන වසරේ උසස් පෙළට පෙනී සිටින සියලු ලාංකීය දරු පරපුරට අපට කීමට ඇත්තේ එක් දෙයක් පමණි. ඒ උසස් පෙළට එහා ගිය වටිනාකමක් ඔබට ඇත යන්න පමණි. එය සිසු දරුවන් මෙන්ම මුළු මහත් සමාජයේ සියලු දෙනා අවබෝධ කොටගත යුත්තකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: