එක ලිව්වේ ඉස්කෝලේ කාලේ ලව් එකේ ඇරියස් එකට – සමන් එදිරිමුණි

March 23, 2017 | 2:00 pm    0   431

එක ලිව්වේ ඉස්කෝලේ කාලේ ලව් එකේ ඇරියස් එකට – සමන් එදිරිමුණි

‘සුළඟ නුඹ සහ මම’ මතකයෙන් අමතක නොවන නවකතාවකි. අද ඔබ සිඳු සහ දෙවෙනි ඉනිම යන ටෙලි නාට්‍ය නොබලනවා විය නොහැකිය. ගුවන්විදුලිය තුළ සේයා ඔබට අප්‍රමාණව ඇසී ඇත. ඒවා අප ඇබ්බැහි කරවාගෙන ඇත. ඔහු සමන් එදිරිමුණිය. මදක් නැවතී කියවන්න, ඒ සුන්දර හදවතේ ගොඩනැඟෙන දේ ලියන්න පුංචි අතක් හිමි ඔහු පුංචිම පුංචි සරල මනුස්සයෙකි. අති කාර්යබහුල මිනිසා සිටිය ලෝකයක ඔහුටද ඒ කාර්යබහුල බවින් මිදීමට නොහැකිය. ඉතින් ඉතා වෙහෙස පරිශ්‍රමයක් යොදා ඔහු හමුවට ගියේ මගේ නිවාඩු දිනයක් කැප කරමිනි. ඒ ගමනට මධුර සුමිත් මගේ සම අදහස් මතධාරී මිතුරා එකතු වුණේ ඒ සුන්දරත්වය තවත් අලංකාර කරමිනි. මා ගොඩකවෙලය. මධුර පල්ලේබැද්දේය. සමන් එදිරිමුණි උඩවලවේය. ඒ රත්නපුර ඇඹිලිපිටි මාර්ගයේ එක ළඟ නගර තුනකි. එහෙත් මිතුර, කියවා ගන්න ඔහු ලිවීමේ අතිමහත් දක්ෂයෙකි.
මා ඔහු මුණ ගැසීමට බණ්ඩාරගම නිවසටම ගියේ ඔහුගේ ආරාධනාවට අනුවය. එය සුන්දර මොහොතකි. ඔහුට සිටියේ සුන්දර බිරිඳකි, දරුවන් තුන්දෙනෙකි. ඔහුගේ සූදානම්වීම් පුදුම සහගතය. මෝටර් රථය පිරිසිදු කර එයට සාමාන්‍ය ගමනකට අවැසි කෑම්බීම් ද සහිතව සමන් එදිරිමුණි අයියාත් මමත් මගේ මිත්‍රයාත් බොල්ගොඩ වැවට ගියේ මනස විවේකීව තබා කතා කිරීමට නොව කතා කරවා ගැනීමටය.
ඔය අතර මට මතකයට නැඟී ආවේ ‘සුළඟ නුඹ සහ මම’ නවකතාවයි. එය මා කියවූ සුන්දරම නවකතාවය. එහි තිබූ මගේ අප්පච්චිගේ ගමේ වැව වන උඩවලව මතක් වුණි. එහි පබළු තේමිය පසුව දිමන්සා රහස් කොඳුරපු, තරහ වුණු, රණ්ඩු වුණු කතා එකදිගට හිතට ගලා ආවේය. සමාවන්න අද මම මෙය ලියන අතුරතුර මෙවන් දසුන් සිත තුළ පැන නැඟිය හැක. ආනන්ද ගුරුතුමා ගැන ලියන්න ගොස් මා අමාරුවේ වැටුණි. අදත් එසේ විය හැකිය. අපි කැමති උන් ළඟ අපිම අසරණ වෙමු. කුමක් කරන්නද? ඔබ කියවාගන්න. මම දැන් ලියන්නෙමි. මඳකට නවතින්න. මම ඔබට තව සත්‍යයක් පවසමි. මා මෙතෙක් කල් ඔහුගේ ලොකුකමක් ආඩම්බරයක් ගැන සිතා සිටියේ ඔහු හමු වී නොමැතිවය. එහෙත් එය අයිස් කැටයක් සේ දියවී ගියේ ඔහුගේ ඇසුර ලැබූ වෙලාවේ සිටය. තවත් ගොඩක් දේ ඇත.
“නිර්මාණයක් නිෂ්පාදනයක් වෙනව නම් තව දුරටත් නිර්මාණයක් වෙන්නේ නෑ නේද?”
“එහෙම කියන්න බෑ. මං ඔන්න ඔතනට හරි අකමැතියි”
“නෑ මං එහෙම ඇහැව්වේ අපි ගැටෙන්න ඕන නිසා”
“ඔව් ඔව් ඒක හොඳ ප්‍රශ්නයක්. අපි ඒකට ගමු මෑත කාලයේ ආපු චිත්‍රපට ත්‍රී ඉඩියට්ස්, ර්ථීම් වගේ හින්දි ඒවා එතකොට ඒවා නිර්මාණ නෙවෙයිද? ඒවායි නැද්ද කතා? හැබැයි ඒවා ඉන්දියාවේ පැල් බැඳගෙන දුවපු ඒවා. බලන්න සිංහල පොත්වල ඉහළින්ම තියෙන පොත්. මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදුදා වගේ පොත් ගැන හිතන්නේ විකිණෙන්නේ නෑ කියලද. ඒවා ලක්ෂ ගණන් විකිණෙන්නේ”
ඔහු ලියන ඒවා මිනිසුන්ට රස ගෙනදෙන්නේය. අන්න ඒ නිසා මම ඔහුගේන්  ප්‍රශ්න ඇසීමි. ඔහු පවසන්නේ යම් කෙනෙක් ජීවිතයෙන් වැඩි කොටසක් මොනයම් කාර්යයකට කැප කරයිද එයම ඔහුගේ රැකියාව නොහොත් මුදල් සොයාගැනීමේ කාර්ය කරගත යුතු වන බවයි.
“එදිරිමුණි වෙනම උසක ඉන්නවා. එතකොට එදිරි අයියා මොකටද මේවා ලියන්නේ? සමාජය යහපත් කරන්නද?”
“නෑ. මට විෂන් එකක් තියෙනවා. මම මිනිහෙක් විදිහට මැරෙන දවසට කොයි වගේ වෙන්න ඕනද”
“මොකද්ද ඒ?”
“මම කැමති නෑ කාලකණ්ණියෙක් මැරුණා කියන තැනට කතා වෙනවට. මං කැමතියි මං මැරුණ දවසට මං කරපු දේවල් මිනිසුන් අගය කරනවට. අනික අංක එකට නිර්මාණකාරයා හොඳ මිනිහෙක් වෙන්න එපැයි”
“ඒ කියන්නේ ඔයා හොඳයිද?”
“එහෙම කියනවා නෙවෙයි (අප දෙදෙනාටම සිනහ පහළ විය) සමාජයේ සදාචාර සිරිත් විරිත් එක්ක යනකොට අපට කියන්න පුළුවන් සාපේක්ෂව ගත්තහම ඕනම කෙනෙකුට තියෙන හොඳ ටිකක්. ඒ වගේ මටත් තියෙනවා. මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මගේ නිර්මාණ හරහා දරුවන්ටත් පණිවිඩයක් දෙන්න ඕන. ඒ නිසා මං හිතන්නේ මං ලියන කරන ඒවා මගේ අම්මාටත් බලන්න පුළුවන් ඒවා වෙන්න ඕන බව. ඒක මං හිතල කරන්නෑ. ඔටෝ වෙන්නේ. ඒක දරුවා කියවපුවහම නොමඟ නොයන්න ඕන. ඒවා ඉබේ වෙන්නේ”
“ඔව් ඕක මං අහල තියෙනවා. අපි කළ යුත්තේ ඕන තැනට කියන්න, කරන්න, පෙන්වන්න පුළුවන් දේවල් කියලා”
“ඔව් එතකොට එහෙම හිතාගෙන ලිව්වහම කිසිම වෙලාවක පිට පනින්නේ නෑ. හරියට පීල්ල උඩ කෝච්චිය තිබ්බට පස්සේ කෝච්චිය ඒක දිගේ යනවා වගේ”
“උඩවලවේ ඉස්කෝලේ චරිතයක්ද සමන් එදිරිමුණි?”
“දහය වසරෙන් පස්සේ”
“දඩබ්බර වැඩවලින්වත්”
“තියෙනව, තියෙනවා. සති දෙකකට වතාවක් ප්‍රින්සිපල්ගේ මේසේ ළඟ දණ ගහගෙන ඉඳලා තියෙනවා. ඒ කාලේ අපි දරුණුවට දඬුවම් ලබන්නේ පැණිකෝං හැදෙන කාලෙට. ඒ ගස් දහයක් විතර තාමත් තියෙනවා. ඉතිං ඔය ගෙඩි හය හතක් කාපුවම අපට ඇති. ඒත් ගැහැණු ළමයි හරි ආසයිනේ පැණි කෝං කන්න. ඉතිං ගැහැණු ළමයින්ට පැණි කෝං කඩල දෙන්න අපි හරි ආසයි.
මට තද කරගෙන සිටිය නොහැකි සිනහවක් එකවරම පිට පැනිණි. අපද ඔය දේවල්ම කර ඇති බව මතක්වීමෙන්ය. අඹ කැඩීම අප අනන්ත කර ඇත. හැබැයි ඒ කතා අසා ගැනීමට මම දෙකන් ඇරගෙන සිටියෙමි. මන්ද එදා අපි කැඩූ අඹ නෙලාගත්තේ වෙනත් උන් නිසාය. ඔහු කැඩූ කෝංවලට වූවේත් එවැනි දෙයක්ද?
“ඉතින් අපි ගල් ගහනවා උළු කැට කෑලි ගහනවා. ඒ ගස්වලට. ඉතිං ඒවා ගහද්දි අපට මතක නෑ පහළ යට ඉන්නේ කවුද කියලා. පොඩිවුන්ගේ ඔළු තුවාල වෙලා අන්න අර දඬුවම් ටික ලැබෙනවා. හැබැයි අපි ගුරුවරු සමඟ ඒ තරහ ඇඳගෙන ගියේ නෑ.
“එතකොට ඉගෙනීම් වැඩ හොඳට කෙරුවද?”
“මෙහෙමයි මට නවය වසරෙන් පස්සේ තමයි ගුරුතුමා හම්බවුණේ සමන් අලහකෝන්. එතන ඉඳලා මං තමා පන්තියේ දක්ෂම කෙනා වුණේ. මොකද ඒකට හේතුව සර් මාව ගණන් ගන්නවා. අනිත් අය ගණන් නොගෙන ඉන්න කාලේ එයා තමා මාව දක්ෂ චිත්‍රකාරයෙක් කළෙත්”
“ඔය කතාව මං කියවල තියෙනවා වගේ”
මා එපමණක් කියා අසාගෙන උන්නෙමි. නමුත් ඒ කතා ඔබත් කියවා තිබිය හැකිය. රසයේ නම් අඩුවක් වී නැත.
“ඉතින් ඔය අතර ආදර හැඟුම් එහෙම එනවා. පන්තියේ හිටිය ලස්සනම ගැහැණු ළමයට මං ආදරය කරනවා හිතින්. හැබැයි පන්තියේ හැමෝම ආදරය කළා. නමුත් දවසක් මං අහගෙන මේ ළමයා කියනවා මං නම් කවදහරි යහළු වෙන්නේ ඉගෙන ගන්න කොල්ලෙක් එක්ක කියලා”
“හරියට හරිනේ. දැන් මතකය ආවා. මං ‘අත් හැරුණ­ අත්’ කියවනවනේ. ඒකේ තමා තිබ්බේ”
මං එය කිව්වා පමණි. ඔහු ඔහේ කතාවේමය.
“හරිනේ. ඔතනින් තමයි වැඩේ පටන්ගත්තේ දෙනව පාර කියලා. හැබැයි ඒ ඉගෙන ගත්තේ කැම්පස් යන්නවත් වෙන මඟුලකටවත් නෙවෙයි. අරයා කියන ඉගෙන ගත්ත ඒ ළමයා බවට පත්වෙන්න. එතකොට එයා පන්තියේ පලවෙනියා. මං පන්තියේ 23 වෙනියා. මම ගණන්වලට ලකුණු 17යි. ඔයා විශ්වාස කරන්න දහය වසර දෙවෙනි වාරය වෙනකොට එයා දෙක මං පලවෙනියා”
“අම්මෝ මරුනේ”
“ඔව්. සමහර දවස්වලට එයා තරහ වුණොත් ගෙදර ගියාම උණ හැදෙනවා. එච්චරටම මේක වැදිලා. ලේවලටම කි¼දා බැහැලා”
ඉතිං ඔබ හිතනවද ඔහු ලියන්නේ මොනවද කියලා. ඔහුගේ ජීවිතයේ අත්විඳි දේවල් ඔහු පුදුම තරම් රසවත්ව වැදගත්ව ලියයි. ඔහු පසුව හොඳම විභාග ප්‍රතිඵල සමඟ කොළඹ වේල්ස් කුමාර විද්‍යාලයට එන්නේ තාත්තා වැනි තම අයියා සමඟය. එතැන් සිට ජීවිතය දිගහැරී තිබෙන්නේ ගණිත අංශයේ පන්තිවලය.
එතනින් පසුව පාසල් හැර ගිය පසු අයියා දැනට ලියන පුවත්පත් සමාගමේ දැන හඳුනන අයෙකුට ඔහු හඳුන්වා දී ඇත්තේ සමන් එදිරිමුණිට ලියන්න හැකි යැයි කියාය. එය සැබෑ සත්‍යයක් වී ඇත. අද ඔහු නැඟිය හැකි උසම තැනක ඇත.
පිරිමියෙකුගේ පිරිමි ගති දෝතින්ම රැකගෙන ගැහැණියකගේ ගැහැණුකම රැකදෙමින් ආදරයෙන් ගෞරවයෙන් ඔහු ලියනා කියනා දේවල් අදත් සමාජය යහපත් ලෙස හිතීමට ආරාධනා කරයි. පුදුමයකි. මා ද මේ ලියැවීමට පැමිණ ඇත්තේ ද ඔහු නිසා විය හැකිය. එයද මම ඔහුට අවසනව කියන්නට ඇත. ඔහු ‘ඉලන්දාරියා’, ‘දුන්හිඳ හැඬුවා’, ‘තරු අරුන්දතී’, ‘නාඳුනන්නා’, ‘උදුල සඳ මඬල’, ‘සඳළුතලය’, ‘ගුරුපාර’, ‘තොටුපල ඉවුර’ මා කියවා ඇත. අදත් කියවයි.
“සුළඟ නුඹ සහ මම කියවන්නේ දහතුන වසරේ ඉද්දී. ඒ මමමයි කියලා හිතුණා. කොහොමද එහෙම ලිව්වේ?”
“ඒක ලිව්වේ ඉස්කෝලේ කාලේ ලව් එකේ ඇරියස් එකට”
ඒ අර ඉහත කියූ ප්‍රේමයයි. නමුත් එදිරිමුණි කොයිතරම් වචන දැම්මත් ලිව්වත් අර පන්තියේ ලස්සනම කෙල්ලට එය කවදාවත් කියා නැත. ඔහු කොළඹ ඇවිත් ඒ ගැන වද වී ඇත. නමුත් අයියාට ඔහුගේ ඇති බිය නිසා සියල්ල අමතක කිරීමට සිදුවිය. මම ඔහුගෙන් ප්‍රශ්නයන්ගෙන් ගැසීමට සිතුවෙමි. මන්ද ඒ ඕපාදූපයක් නොවුණත් සුන්දර ආදර කතාව අස්කොණ් හාරා අවුසසා ගැනීමටය.
“එතකොට ඒ ගෑණු දරුවා මුණගැසුණේ නෑ?”
“නෑ හම්බ වුණා. පසුකාලීනව මං ඇහැව්වනේ. මගේ ඔළුවේ මෙහෙම එකක් තිබුණ. ඔයාට දැනිල තියෙනවද කියලා”
“නෑ. මේ ඔය කතාවත් කියවල තියෙන මතක සුවඳක් මගේ හිතේ තියෙනවා”
“එහෙනම් සරසවි පත්තරේ හරි මතක පදවල කිව්වා වගේ මතකයක් තියෙනවා”
“නෑ. එහෙම වෙන්න බෑ. ඉතින් කියන්නකෝ”
“ඉතින් ඔයා අහනකං මං කොච්චර බලං හිටියද කියල මගෙන් ඇහැව්ව”
“අම්මට” මට කුණුහරුපයක් කට අගට ඇවිත් නැවතිණ. මෙය ඇසිය හැක්කක්ද? කොයිතරම් දුකක් සතුටක් දැනෙන වෙලාවක්ද? අව්වයි වැස්සයි එකට තිබෙනා මොහොතකි. කොයිතරම් දේ නතර විය හැකිද? හදවත නතර නොවුණේ මන්දැයි මට පුදුමයකි. එහෙත් අද ඔහු මා ඉදිරිපිට වැවේ ඉහත්තාවේ සිටියි. නැවුම් කිරි හා කේක් අපි ගෙනා කෑම බීම වෙති. ඒවා අපි අනුභව කළේ එවෙලෙහිය. මධුවිතක් තිබුණේ නම් නොබොන මා පවා බීමට ඉඩ ඇත. ඔහුද නොබොනවා වියහැකිය. මන්ද එසේ නම් මේ තරම් සුන්දර වැවක තනි වූ අවස්ථාවක මෙවැනි දෙයක් ගෙන එයිද. සමාවෙන්න. මා අනවසරයෙන් කතාවේ පිට පනිමින් ඇත. අපි නැවත සමන් එදිරිමුණිගේ ආදරයට එබෙමු.
“ඉවරයිනේ ඔක්කොම. මට ඒ ඇතිනේ. ඉතින් මට ඒ ආදරය සම්පූර්ණ වුණේ නැහැනේ. මං හිතුව සුළඟ නුඹ සහ මම පටන් ගන්නකොටම ඒක වෙන්න දෙන්නේ නෑ කියලා”
“එයම නොවුණට පරිකල්පනයේ සියල්ල අරගෙන කෙල්ල මරල දැම්ම නේද?”
“ඔව්. ඉතිං ආදරයේ අහිමි බව දැනෙව්වා”

“එතකොට ඔය දේවල්ම ද අත් හැරුණු අත්වල ලියන්නේ?”
“මෙහෙමයි සුළඟ නුඹ සහ මම ඒ සිද්ධියම වෙනම තැනකින් ලියනවා. නමුත් අත් හැරුණු අත් ඒකම කෙලින්ම ලියනවා”
නැවත සමාව නොඉල්ලනවා. සමන් එදිරිමුණි ලිව්වේ සුළඟ නුඹ සහ මමය. එය කතාවක්ය. එයට ඉහළින් කිසිවක් නැත. එය මා කියවා ඇත. ඔබද කියවාසිටිය හැක. නොකියවා ඇති නම් ළඟදිම පොතක් ලෙස ආ විගසම කියවන්න. මන්ද ඔහුව සොඳුරු රස්තියාදුවට මා එකතු කරගත්තේත් මේ නිසාය. ඉතින් මා වෙන කුමක් කතා කරන්නද? ඔහුගේ ප්‍රකාශනය එයයි. හැම වෙලාවකම මේ මොහොත හඳුනාගෙන ලියන්නෙකි ඔහු. ඒ නිසා විය හැක. එදා ඒ කතාව සේම අද කතාද හදවත හොරා ගන්නේ ඒ නිසා විය හැක.
“අයියා නිසා මම ලියනවා කිව්වොත්?”
“ඒක සතුටුයි. නමුත් මම අර ගිනි පෙටිටියක දෙපැත්ත වගේ ඔයාව ඇවිලුව විතරයි මම හිතන්නේ. නැත්නම් ඔයා ගාව අනෙක් හැමදෙයක්ම තිබ්බා. මං නෙවෙයි වෙන කවුරුහරි අතින් ඕක සිද්ධ වෙන්න තිබ්බා”
“කෙසේ හෝ ඔහු ඔහුගේ සියළුම දේවල් මට කීවේය. ලියා තැබිය හැකිව තිබුණත් ඒ සියල්ල මට ලැබෙන ඉඩ ප්‍රමාණය මෙතෙකින් අවසන්ය. ජීවිතයට ඔහු දුන් දේවල් ඒ අතර ඉතා වැදගත්ය. ගුරුපාර තුළ ලියූ දේවල් ඔහු ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වීය. ඉතින් ඔහු කියන්නේ ඔහු අවලස්සනයි කියාය. නැත. ඔහු සුන්දරය. මගේ සොඳුරු රස්තියාදුවට ඔහු ආශා කළේය. එසේම එහි අප හෝරා හයක් හතක් රස්තියාදු වුණෙමු. මා මෙන්ම ඔහුගේ තරුණ කාලය ගෙවුණු බව කියවුණි. මට එක් මොහොතක් නොව ජීවිතයේ මතක පරිච්ඡේදයක් එක්වුණි. සොඳුරු රස්තියාදුවට දැන් නික්ම යාමට කාලය පැමිණ ඇද්දෝයි සිතෙයි. ඔබටත් එසේද? ලියුමක් ලියා එවන්න මට. එහි ඔබ සැමදා… උණුසුම් මතකයක් වන බැවින්……
නුවන් හෙට්ටිආරච්චි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: