ඔබ නිදහස්…ද?

February 7, 2017 | 10:02 am    0   392

ඔබ නිදහස්…ද?

නිදහස යනු කුමක් ද?… ඔබ නිදහස් ද? මෙසේ කවුරුන් හෝ ඔබෙන් ප්‍රශ්න කළොත්, මොන්ටිසෝරි දරුවන්ගේ ඒකාකාරී නාට්‍ය රටාව අනුව සියලුදෙනා එක හ¾ඩින් “ඔව් අපි නිදහස්” යැයි කියනු ඇත. කවද ද නිදහස ලැබුවේ?

නැවත හැමෝම හෝ බොහෝ අය කියනු ඇති “1948” කියලා. හරියටම හරි ද දිනය සහ වර්ෂය. ඔබ ආයෙමත් නවතීවි. ටිකක් හිතයි “ඔව්” 1948 පෙබරවාරි 04.
1505 සිට 1658 දක්වා වසර 153 පෘතුගීසීන්ට
1658 සිට 1796 දක්වා වසර 138 ලන්දේසීන්ට
1796 සිට 1815 දක්වා වසර 19 ඉංග්‍රීසීන්ට ඉන්පසු මුළුමනින්ම
1815 සිට 1948 දක්වා වසර 133 රටම යටත් වී ගෙවුණ මහා වේදනාබර

බලහත්කාරය සමඟ වෙනස් දෙකට නැවුණ ජාතියක් ලෙස වසර “443” අප රට යටත්ව ජීවත් වී 1948 ඩොමීනියන් නිදහස ද 1972 මැයි 22 මුළුමනින්ම නිදහස් රටක් ද විය.

දැන් මම නැවත අහනවා… එක උත්තරයයි ඕනේ… ඔබ නිදහස් ද? නිදහස යනු රටක සිදුවන දේශපාලනික නිදහස ද? ආගම්වල උගන්වන ආගමික නිදහස ද නොව, අපි අපේ ජීවිතය, සිතුම් පැතුම්, අදහස්, විචාර, රුචි අරුචි, කන, නො කන, යන, නො එන ආදී ලෙස අප නිදහස් මිනිසුන් ද? අප නිදහස් ගෑණු ද? නිදහස් අම්මලා ද? නිදහස් තාත්තලා ද? නිදහස් සිසුවන් ද? නිදහස් සිසුවියන් ද? නිදහස් දරුවන් ද? නිදහස් ළදරුවන් ද?

ලෝකේ රටවල් බොහෝමයක් ගැන ඇස් දෙකෙන් බලා පොතපතින් කියවා මා ඇසූ තවම මට පිළිතුරු නැති මහා භයානක ප්‍රශ්නයකි, ඔබ නිදහස් ද? මෙය භයානක වෙන්නේ නිදහස් නැති නිදහස් මෙන් සිටින පිරිසට නොව, සැබැවින්ම මිනිසුන් නිදහස්ව අදහස් පළ කළ දාට එම නිදහස් අදහස්වලින් ඔබව කොන් නො කර ඔබේ පතිවෘතාව සොයා ඔබට මඩ නො ගසන කොටින්ම ඔබ නිදහස්ව කියන කිසිම ප්‍රකාශයකින් ඔබේ හොඳ නරක තක්සේරු නො වන දිනක, තරහ යහළු නම් ඒ වචන උඩ කිරෙන්නේ නැති නම් ඔබ මොනවා කියාවි ද? මෙතෙක් කී මොනවා ඉල්ලා අස් කර ගනීවි ද?

වසර ගණනාවක් ආදරේ කොට දරුවන් දෙදෙනෙක් හදා ඔවුන් සමඟම පාසල් ගිය ඔවුන් සමඟ පංති ගිය මගේ මිතුරාගේ බිරිඳ දිනක් පංතියට ගිය පසු ආයේ ආවේ නෑ. දරු දෙදෙනා ත්‍රීරෝද රථයකින් ගෙදර එවලා… ඔහුට කුඩා ලිපියක් ලියා දීලා… එය අතකින් ගුලි කරගෙන මගේ මිතුරා ගල්කිස්සේ මුහුදු සුළඟ වදින “බුවා” අවන්හලේ සිට තම වේදනාව මුසු කළා හඳපානේ හමන සුළඟට. එහෙම වේදනා කතා ගොඩක් අහන්න දෛවය මට සිද්ධ කළා. මම පුටුවට තවත් තදවෙලා අහන් හිටියා.

මගේ මිතුරා දොඩවනවා… “මධුවා… පුංචිම කාලේ අපි අම්මා තාත්තගේ හිරකාරයන්. යන, එන, කන, බොන, අඳින, පළඳින මේ හැම එකම ඒ දෙන්නට ඕනෙ වුණා දැනගන්න. ඉස්කෝලෙදි අපේ ගුරුවරු හොයපු නැති මඟුලක් නෑ…” කටින් පිටවෙන දුම්ගුලි ඔහුගේ මුහුණ ඉදිරියේ කිසිම හැඩයක් නැතිව නටනවා. ඊළඟ වචනෙ පිටවෙන විට ඒවා හැඩ නැතිව ගසාගෙන යනවා… මන්ද ඔහුගේ කතාව වේගවත්….” කැම්පස් ගියා නම් ගුරුවන්ගේන් නෙවෙයි කලින් අවුරුදුවල උන්ගෙන් තැලෙන්න ඕනෙ. ඒ නිසයි දෙකට තුනට නැවිලා රස්සාව කළේ. රස්සාවේ හිතන දේ කියන්න මහ උන්ගේ වැරදි කියන්න බැරිව හිටිය මගේ හිත දවසක් එළියට පැන්නා මචං. මං කෑ ගහලා කිව්වා උඹලා එකෙක්ගෙවත් හිරකාරයෙක් නෙවෙයි මම…

මම මගේ මේසේ තිබුණ කොල ඔක්කොම විසි කළා fan එකේ වදින්න. ඒවා නිදහසේ හැමතැනම ගියා මධුවා. Office එකේ හැමෝම බයවෙලා බලා හිටියා. මහ එකාගේ කාමරයට මූණ විතරක් දැම්ම මම කිව්වා, “ඔය මූණ මට පේන්න බෑ” කියලා. එත් ඔහු කිසිවක් නො කියා පෑන මේසෙ උඩින් තිබ්බා. මං එන්න හැරිලා ආයෙමත් ඔළුව දාලා කිව්වා, “මං විතරක් නෙවෙයි අපි එකෙක්ටවත් ඔය මූණ පෙනෙන්න බෑ” කියලා. එහෙම කියලා මම Office එක දිහා බැලුවා කවුරුත් මගේ දිහා බැලුවේ නෑ. උන් ඔක්කොම එක එක වැඩවල. මම කිසි ආදාරයක් නො ලැබුණ වෙසක් තොරණක් වගේ පත්තු නො විච්ච බොසා දිහා බැලුවා…. එයා මට කිව්වා… ඔයා නිදහස් කියලා… මම ගෙදර ගියේ කුරුල්ලෙක් වගේ.”

ඔහු ආයෙමත් හිමින් කතා කරන්න ගත්තා. “මම එනකම් එදා ඒකි බලා හිටියා, රජෙක් එනකම් වගේ. මාව දොර ගාවදි බදාගත්තා මචං. ඔයා රජෙක්, ඔයාගේ රස්සාව මට වැඩක් නෑ. අපි ජීවත් වෙමු පුළුවන් විදිහට. එදා රෑ ඇත්තටම මට දැනුණා මං රජෙක් වගේ. මං මහ රෑ හැම කලබලෙන් පස්සේ අෑ දිහා බැලුවා. ඇයගේ ඇස්වල මහා බයක් තිබුණා. මම හිමින් කිව්වා ඇයට.. ඔයාට දැනෙන දේ කියන්න රත්තරං ඔයා නිදහස් කියලා. ඊටපස්සේ උඹ දන්නවා මධුවා එතන ඉඳලා ගෙවුණු අවුරුදු දෙක අපි කොච්චර සල්ලි හෙව්ව ද? ගෙදර තට්ටු දෙකට ගැහුවා. මොනව ද අපිට නො තිබුණේ. ඒකිව තනියම කඩේකට ඇරිය ද මම. පංසලට ඇරිය ද. ඒ ගෑණි නේද මේ සාගරේ වගේ දරු දෙන්නවයි දාලා ගියේ මධූවෝ…. ඔහු වැරෙන් ගහපු පාරට ඔහුගේ අතේ තිබුණ බිරිඳ විසින් ලියන ලද ලිපිය මේසේ උඩ අතරමං වුණා. ලිපිනයක් නො තිබුණ ලිපියේ කොල දහයක් විතර තිබ්බා. “උඹ කියවපං… උඹ කියවපං… මොනව ද ඒකි කියන්නේ කියලා…” මගේ මිතුරා දුම්වැටියක් දැල්වුවා. ඔහු ඉදිරියේ එය කියවන් නැතුව කොල දහයේ ලිපිය ගඩොල් කැටයක් ගෙනියනවා වගේ අත් දෙකෙන්ම අරන් දිග හැරියා… පලවෙනි පිටුවේ සිට නම වෙනි පිට දක්වා කිසිම අකුරක් නො තිබූ ලිපියේ දහවෙනි කොලයේ ලියා තිබුණා…
“මගේ රත්තරං ඔයා නිදහස් දැන්” කියලා…

ඇත්තටම මේක නෙවෙයි මගේ ප්‍රශ්නේ… මගේ යාළුවා නිදහස් ද? ඇය නිදහස් ද? රාජකාරිය කරන තැන අපි නිදහස් ද? අපි අඳින්නේ අපිට ඕනෙ නිදහස ද? අපි කැමති දේට කැමතියි අකමැති දේට අකමැතියි කියලා හැමතැනම කිව්ව ද? අපි හිතපු හැමදේම වැදගත් ද? ලෝකෙටම හොරෙන් ඔබ විතරක් හිතපු දේ ඔබට කියන්නට පුළුවන් ද? ඔබ වඩාම කැමති දේ සැරට හෝ ආදරෙන් කිව්වේ ඔබේ ආරක්ෂතම තැන මිස ඔබව වඩා පාගපු තැනදී ද?

මෙහෙම ප්‍රශ්න රාශියක් මගේ හිතට එනවා.

හැබැයි මට හිතුණා අන්තිමට, ඔව් නිදහසේ හැමදේම කියන්න බෑ තමයි. හැබැයි හිතන්න පුළුවන්. මම කිසිත් නො කියා රාගය, ප්‍රේමය, මම අකමැති කෙනෙක්ට දෙන දඬුවම් ගැන නරකම දේවල් පහ බැඟින් හිතුවා. ඊටපස්සේ ඒ 15ම ලිව්වා. ඔබත් එකම එක සැරයක් රාගය, ප්‍රේමය, හිත රිද්දවපු කෙනෙක්ට දඬුවම් දෙන හැටි නිදහසේ හිතන්න. බය නැතිව හිතන්න. ඔබ හිතුවා නම් ඔබ පිළිගනී මම ඒ හිතුව දේවල් ලියපු කොලේ කෑලි කෑලිවලට ඉරපු එක හරි කියලා…

ඔව් ඒ තරම් කාමුකයි. ඒ තරම් ආදරණීයයි, ඒ තරම්ම නපුරුයි.
ඒ නිසා අපි නිදහස් නෑ…
හැබැයි අපේ සිතුවිලි නිදහස් කරමු කියලා නිදහස් දා මම හිතුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: