“ඔයාට පුළුවන්ද කියන්න පේ‍්‍රමය ගනුදෙනුවක් නෙවෙයි කියලා”

February 21, 2017 | 11:21 am    0   593

“ඔයාට පුළුවන්ද කියන්න පේ‍්‍රමය ගනුදෙනුවක් නෙවෙයි කියලා”

හැමදේම ගණුදෙනුවක් මත ගොඩනැඟුණු සිල්ලර සමාජේ ඇතුළේ ආදරේ විතරක් කොහොම ද ගණුදෙනුවක් නොවී බේරෙන්නේ. ආදරය තමයි අසීමාන්තික ලෙස පාඩු ලබන වගේම අසීමාන්තික විදියට වාසි ලබන්නත් පුළුවන් ලෝකේ තියෙන එකම ගණුදෙනුව.

මේ මොහොතේ ඔයා ආදරේ ලබන කෙනෙක් නම් ඔයා එහෙනම් මේ ගණුදෙනුවේ අසීමාන්තික ලාභ ලබන්නෙක්. හැබැයි ඔයා ආදරේ දෙන කෙනෙක් නම් ආයේ කතා දෙකක් නෑ ඔයා ආදරේ නිසා පාඩු ලබන අයෙක් වෙලා ඇති. ආදර ගණුදෙනුවෙදි එහෙමයි.

අයෙක් කීවොත් මිනිස් සම්බන්ධතා කියන්නේ අතිශය සංකීර්ණ ක්‍රියාවලියක් කියලා මම ප්‍රශ්න කිරීමකින් තොරව එය පිළිගන්නවා ඔව් මිනිස් ජීවිතය තරමටම මේ සම්බන්ධතා සංකීර්ණයි. මිත්‍රත්වයට එහා ගිය බැඳීම් අතරේ, විරසක වුවත්, හැර ගියත් තවමත් පෙම් කරන මිනිසුන් අතරේ, ප්‍රේමවන්තයින් නො වුණත් පෙම් කරන්නවුන් අතරේ කොහොම ද කියන්නේ මිනිස්නුගේ මේ අපූරු සබඳතා සංකීර්ණ නෑ කියලා. එය තේරුම් ගැනීමට හෝ එය විසඳීමට යත්න දැරීම පවා අරුත් සුන් වැඩක් කියල හිතෙනවා.

මේ සංකීර්ණත්වය ඇතුළේ ආදරය ඉබේම ගණුදෙනුවක් බවට පරිවර්තනය වෙලා. එදා දම්මි දීපු වෙරළු ගෙඩිය ගනිපු සුගත් ජීවිත කාලෙම වන්දි ගෙව්වා. ඒ ආදර ගණුදෙනුවෙදි සුගත් ආයෝජනය කළේ තමන්ගේ හදවත නිසා. ආදරේ එහෙමයි.

ආදරේ ගණුදෙනුවක් වුණාම මම එයාට ආදරෙයි නම් එයත් මට ආදරේ කරන්න ඕනමයි කියලා ඔයා හිතනවා. මං මේ තරම් ආදරේ කරනවා නම් එයත් මට ඒ තරමටම ආදරේ කරන්න ඕන කියලා හිතනවා. ඒත් ආදරේ කියන්නේ එහෙම ඉල්ලලා ඔයා ලබාගන්න ඕන දෙයක් නෙමෙයි. අපි දෙයක් ඉල්ලලා ලබාගැනීම තුළම එහි ර¼දා පැවැත්ම පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවෙන්න පුළුවන්. ඔයා නො ඉල්ලාම කෙනෙක් ඔයාට ආදරේ කරනවා නම් ඒක නෙමෙයි ද ඔයා හොයන දේ. ආදරේ ගණුදෙනුවක් වුණාට ඔයා දෙන දේට සාපේක්ෂව ඔයාට ආපසු ලැබීමක් බලාපොරොත්තු වෙනවා. එහෙම බලාපොරොත්තු වෙලා ඔයාට ඒ දේ නො ලැබුණාම ඔයාට ඉතිරි වෙන්නේ කලකිරීමක් විතරමයි. ඒ නිසා ආදරේ ගණුදෙනුවක් කරගන්න එපා.

පසුගිය දිනවල හැම විදියකම විකුණුනු ප්‍රේමය සැබෑ ප්‍රේමය ද කියල වෙලාවකට හිතෙනවා. ආදරය වර්ණවත් විය යුතුයි. හැබැයි රතු වර්ණයට පමණක් එය සීමා විය යුතු නැහැ. ආදරය සැබැවින්ම ආදරණීය විය යුතුයි. හැබැයි එක් දිනකට පමණක් එය සීමා වෙන්න ඕන නැහැ. ඔයා ඔයාගේ ආදරේ එක දවසකට විශාල ගණුදෙනුවක් කරනවා. වෙළෙඳපොල විසින් නිර්මාණය කරලා පැක් කරලා තියෙන ආදරේ ඔයා ඔයාගේ ආදරේ වගේ මිලදී ගන්නවා. ඇත්තටම ඒ ආදරේ නම් එය එක දවසකට මේ තරම් විකිණෙන්න ඕන වෙන්නේ නැහැ, ඔයා ඔයාගේ ආදරේ හදවතින් කරන ගණුදෙනුවක් වුණා නම්.

ලෝකේ දෙනෝදාහක් දකින්න යන කිරිගරුඬ-ටජ්මහල පවා මම දකින්නේ සාජහන්ගේ ආදර ගණුදෙනුවක ප්‍රතිඵලයක් කියලා. ළඟ උන්නු කාලයේ ඇය කරපු ආදරයට ඔහුට දෙන්නට පුළුවන් වුණේ ඇය මිය ගියාම ඇයගේ ප්‍රේමය අමරණීය කරන්න ටජ්මහල නිර්මාණය කිරීම පමණයි. පමාවෙලා හෝ සාජහන් දුන් ප්‍රේමය අමරණීය වුණාට ඔහු හදවතින්ම ඇයට දුන් ප්‍රේමය ඇගේ හදවතේ අමරණීය වුණා නම් ඔහුට අවශ්‍ය වෙන්නේ නැහැ කිරිගරුඬෙන් ටජ් මහලක් හදන්න. ඔයා ඔයාගේ ආදරේ ලෝකේ ඇතුළේ නෙමෙයි ඔයා ආදරය කරන හදවත් ඇතුළේ අමරණීය කරන්න උත්සාහ කරන්න.

ප්‍රේමය බැලූ බැල්මට හරිම අවිනිශ්චිත සංකල්පයක්. චංචල හදවත් දෙකක් ඒ අවිනිශ්චිත ප්‍රේමය නිශ්චය කරගන්නේ කොහොම ද කියාල ප්‍රේම කරලම බලන්න ඕන. මගේ අදහස ඔබ ආදරය ගණුදෙනුවක් කරගත යුත්තේ මානසිකව මිසක් භෞතිකව නෙමෙයි. භෞතික ගණුදෙනුව හැමවෙලේම අවිනිශ්චිතයි. ඒත් මානසිකව ඔබ ගොඩනඟාගන්න ප්‍රේමණීය ගණුදෙනු ඔයාගේ මතකයෙන් ඔබ්බටත් රඳවා ගන්න ඔයාට පුළුවන් වෙනවා.
තෘප්තිමත් වීම කියන්නේ ප්‍රේමය ඇතුළේ හරිම වෙහෙසක්, අපහසු ව්‍යායාමයක්. අනෙකා තෘප්තිමත් කිරීමට පෙර ඔයා ඔයාගේ හදවත තෘප්තිමත් වෙන තරමට ආදරය කරන්න. සරලවම කිව්වොත් හිත පිරෙන්න ආදරය කරන්න. ඔයාට බලාගන්න පුළුවන් ඉබේටම ඔයාගේ ආදරේ ඔයාව තෘප්තිමත් කරනවා. ප්‍රේමය ගණුදෙනුවක් වීමත් සමඟම ‘අතහැරීම’ ඒක ඇතුළේ වේදනාත්මක ගණුදෙනුවක් වෙනවා. ඔයා එක්ක ඉන්නවට වඩා එයා වෙන අයෙක් සමඟ සතුටින් ඉන්නවා නම් ඔයාට පුළුවන් වෙන්න ඕන ඔයාගේ ප්‍රේමයට සැනසිලිසහගත ලෙස මේ ගණුදෙනුව ඉවර කරන්න, ඔයාට අපහසු වුණත්. හැරී යන්නටත් බැරි රැඳී නවතින්නටත් බැරි ඔයාගේ ආදරය තවත් තැනක සතුටින් ඉන්නකොට ඔයාට දුර ඉඳන් ඒ දිහා බලන් ඉන්න පුළුවන් තරමට ආදරය කරන්න. ඔයාට පාඩුවක් වුණත් එය දරාගන්න පුළුවන් වෙන්න ඕන. ඒ නිසා තමයි එතනදී ලෝකයේ තියෙන හැම ගණුදෙනුවකටම වඩා ප්‍රේමණීය ගණුදෙනුව වෙනස් වෙන්නේ. ඉතින් ඔයාට තවමත් කියන්න පුළුවන් ද ප්‍රේමය ගණුදෙනුවක් නෙවෙයි කියලා.

උපුලි පුන්සරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: