කතරගම දේව අඩවියේ වෙස්වලාගෙන හිඟා කාපු ජ’පුරේ කොල්ලෝ

July 27, 2017 | 1:21 pm    0   603

කතරගම දේව අඩවියේ වෙස්වලාගෙන හිඟා කාපු ජ’පුරේ කොල්ලෝ

“අනේ බුදු මහත්තයෝ කීයක් හරි දීලා යන්න”, කකුලක තිබූ තුවාලයක් වෙලුම්පටිවලින් වෙලාගෙන කිහිලිකරු දෙකකින් අපහසුවෙන් ඇදිය වන තරුණයෙක් මඟ යනෙන අයට අත පායි. සමහරෙක් අතේ තිබූ මුදලක් තරුණයාට ලබාදේ. තවත් අයෙක් ඔහුව නොදැක්කා සේ යයි.
ඔහුට මීටර් 20 පමණ එපිටින් අන්ධ තරුණයෙකු සැරයටියක් රැගෙන මාර්ගයෙ අයිනේ හිඳ සුරතේ රැඳි බෙලෙක් කෝප්පයක් හොලවමින් සිටී. මඟ යනෙන අයගෙන් කාසි පනම් කිහිපයක් එම කෝප්පයටද වැටේ. එවිට කෝප්පයේ ශබ්දය පෙරට වඩා බරට ඇසේ. මොවුන් දෙදෙනා අතර මැදි වයසේ පසුවන ගැහැනියක් කුඩා දරුවන් දෙදෙනෙකු සමඟින් හිඳ හිඟමනේ යෙදී සිටී. ඒ අසලටම තවත් යාචකයින් කිහිපදෙනෙකු සිටී.

පාරේ අනෙක් පසද තත්ත්වය මීට දෙවැනි නැත. මීටර් 20 පමණ සීමාව තුළ පමණක් යාචකයින් කිහිපදෙනෙකුව සිටිනු පෙනේ. ඊට මඳක් ඔබ්බට ගියද තත්ත්වය මෙබඳුමය.

මේ කතරගම දෙවියන්ගේ අඩවියයි. හරියටම කියනවා නම් කතරගම කිරිවෙහෙර සහ මහා දේවාලය අතර මාර්ගයේ තත්ත්වය මෙබඳුය. වෙලාව උදෑසන 10.30 පමණ ඇත.

මා මුලින් සඳහන් කළ තුවාලකරුට සහ අන්ධ යාචකයාට යහමින් හිඟමන් ලැබේ. අපේ කතා නායකයන් දෙදෙනා ඔවුන්ය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය මයුර සමරකෝන් මහතා ඇතුළු විද්‍යාර්ථයින් පිරිසක් එක්ව ශ්‍රී ලංකාවේ යාකචයින් පිළිබඳව පරීක්ෂණයක් සිදු කළේය. ඒ ලෝකයටම අලුත් විෂය ක්ෂේත්‍රයක් වූ “ජීවන අත්දැකීම් පර්යේෂණ ක්‍රමය” හඳුන්වා දුන් මෙරට ප්‍රකට විද්වතෙක් වූ මහාචාර්ය නන්දසේන රත්නපාල මහතාගේ ක්‍රමවේදය ගුරුකොට ගනිමිනි.

ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ විද්‍යාර්ථයින් දෙදෙනෙකු වන අමිත් ප්‍රියදර්ශන සහ හංසක රුවන් දිසානායක දෙදෙනාම මයුර සමරසිංහ මහතා විසින් මේ සඳහා යොදාගෙන තිබුණි. අප මුලින් සඳහන් කළ යාචකයින් දෙදෙනා වූයේ ඔවුන්ය. අන්ධ යාචකයාට පෙනී සිටයේ අමිත් ප්‍රියදර්ශනය. කකුලේ තුවාලයක් සහිතව කිහිලිකරුවලින් ගමන් කළ යාචකයා හංසක රුවන්ය.

බස් රියේ, දුම්රියේ, මහමඟ මෙන්ම නිවෙස්වලට ද පැමිණ හිඟමන් යදින නානාප්‍රකාර යාචකයින් මෙරට සිටී. ඇත්ත වශයෙන්ම ඔවුන්ගෙන් බහුතරයක් යාචකයන් නොවන අතර, බහුතරයක් වෘත්තිය වශයෙන් මෙය තෝරාගෙන ඇත්තේ එමඟින් උපයාගත හැකි අතිමහත් මුදල් සම්භාරය නිසාවෙනි.

බොහෝ යාචකයින් තනි තනිව හිඟමනේ නොයෙදන අතර, සංවිධානාත්මක යාචක කණ්ඩායම් වශයෙන් මෙම වෘත්තියේ යෙදේ. මේ පිළිබඳව යාවත්කාලීන තොරතුරු මෙන්ම ඔවුන්ගේ සත්‍යය ජීවිතය පිළිබඳව අදහසක් ලබාගැනීමේ අරමුණෙන්, මහාචාර්ය මයුර සමරකොන් ඇතුළු පිරිස මෙම පර්යේෂණයේ නිතර වී ඇත.

මහාචාර්යවරයා මේ පිළිබඳව දැරූ අදහස මෙසේය.

“සමාජ විද්‍යා අධ්‍යනාංශය වාර්ෂිකව මෙවන් පර්යේෂණ 4ක් පමණ සිදුකරනු ලබනවා. මේකත් එයින් එකක්. මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා ඔහුට ආවේණික පර්යේෂණ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නා. අපි කළේ ඒක අත්හදාබැලීම. ලංකාවේ බොහෝදෙනා කරන්නේ පිටරට සුද්දෝ හඳුන්වා දුන් ක්‍රමවේදයන් අනුව පර්යේෂණ සිදුකිරීම. නමුත් අපි ඒ ක්‍රමයෙන් බැහැරවෙලා තමයි මේක සිදු කළේ. එතුමා සුද්දෙක් නොවීම නිසා බොහෝ දෙනා එම ක්‍රමවේදය අනුගමනය කිරීමෙන් වැළකුණා. නමුත් එම ක්‍රමවේදය මෙවන් පර්යේෂණ සම්බන්ධයෙන් ඉතාමත් සාර්ථක බව තහවුරු කිරීමට අපට මෙමඟින් හැකියාව ලැබුණා.”

 

පර්යේෂණය සැලසුම් කළ ආකාරය එතුමා මෙලෙස විස්තර කළේය.

“අපි මුලින්ම දුම්රියේ ගමන්ගන්නා යාචකයන් පිළිබඳව, ගාලු මුව‍ෙදාර සිටින හිඟන්නන් පිළිබඳව මෙන්ම කොළඹින් බැහැර කුරුණෑගල ප්‍රදේශයේ හිඟන්නන් පිළිබඳවත් අධ්‍යයනය කරලා වීඩියෝගත කළා. ඊටපස්සේ කතරගම ගිහින් මුලින්ම අධ්‍යයනයක් කළා ඒකේ පරිසරය පිළිබඳව. ඉන් අනතුරුව තමයි අපේ කණ්ඩායම කතරගම ගිහින් මේ පර්යේෂණයේ නිරත වුණේ.”

අපේ අන්ධ යාචකයා කිරිවෙහෙරට යන පාර අද්දර සුදු සැරයටියකුත් සුරතින් ගෙන අනෙක් අතින් බෙලෙක් කෝප්පයක් හොලවමින් හිඟමන් යදිමින් සිටී. ඔහු බාච්චු කමිසයකින් සැරසී, කළු කණ්ණාඩි දෙකකුත් දාගෙන කළු පැහැති බෑගයක් එක් උරයක රඳවාගෙන සිටින්නේ පළපුරුදු යාචකයෙකුගේ විලසිනි.

දෙනෝ දහසක් බැතිමතුන් කිරි වෙහෙරට යන එන අතරතුර හමුවන විශාල යාචක පිරිස අතර සිටින අපේ කතා නායකයන් දෙදෙනාටත් හරිහරියට හිඟමන් ලබාදෙයි. ඔවුන් නිසා අනෙක් යාචකයින් කිසිවෙකුටත් අසාධාරණයක් වූවා දැයි අපි නොදනිමු. මක්නිසාද යත් ඔවුන්ගෙන් කීදෙනෙක් සැබෑ හිඟන්නන්දැයි කිසිවෙකුත් නොදන්නා බැවිනි.

කතරගම දෙයියන්ගේ අඩවියේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ උගතුන් යැයි සමාජය විසින් හඳුන්වනු ලබන තරුණයන් දෙදෙනා මේ කරන දේ හරි ද කියා ඔබට දැන් නොසිතුණොත් පුදුමය. එහෙත් තවත් බොහෝ යාචකයින් කරන්නා පරිදි මොවුන් නම් කරන්නේ වංචාවක් නොවේ යැයි තවකෙකුට තර්ක කළ හැකිය. ඒ වංචාවක් කිරීමේ චේතනාවක් ඔවුනට නොතිබූ බැවිනි. හුදෙක් මානව වර්ගයාගේ උන්නතිය වෙනුවෙන් කරන කාර්යයන් නිසාවෙන් අපටද එහෙම හිතන්නට බැරිකමක් නැත.

එදා සිදුකළ බරෑරුම් කාර්යයේ සාර්ථකත්වය පිළිබඳව අමිත්ගෙන් විමසීමේදී ඔහු ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසය.

“මොනවද මේ අහන්නේ. අපි හිටපු තැනම හිටියා හිඟන්නෝ දහ පහළොස් දෙනෙක්ම. ඒ හැමෝමත් මට රැවටුණා. ඒ හැමෝම හිතුවේ මම ඇත්තම හිඟන්නෙක් කියලා.”

“අමිත් මෙම කාර්යය කොතරම් සාර්ථකව සිදුකළාද කියනවා නම් ඔහු මුලින්ම ඉඳලා තියෙන්නේ ඇස් දෙක පියාගෙන. උපැස් යුවළක් තිබුණත් එහෙම කළේ ඇත්තම අන්ධයෙක් කියලා තමන්ට දැනෙන් ඕන නිසාලු. ටික වෙලාවකට පස්සේ ඇත්තටම ඔහුට අන්ධයෙක් කියලාම හිතුණලු. ඊට පස්සේ තමයි ඔහු ඇස් ඇරලා තියෙන්නේ.

පාරේ ඇවිදගෙන එද්දි ඉස්සරහින් එන මිනිස්සු ඇඟේ හැප්පෙන්නත් ආවා. ඒත් අමිත් සිය ගමන් මාර්ගය වෙනස් කළේ නැත්තේ අනිත් අයට සැකයක් ඇතිවෙයි කියන බයට. මේ නිසාම එයාට දැන දැනම කීපදෙනෙක්ම ඇඟේ වදින්න ඉඩදීලා බලාගෙන ඉන්නත් වුණා. මේ දේවල් නිසා අමිත්ගේ රංගනය ගොඩාක් තාත්වික වුණා” කියලා අමිත්ගේ සගයින් අපට පැවසීය.

පාර අද්දරට වී හිඟමන් යදිද්දී එකපාරටම අමිත්ගේ නළලට සීතලට යමක් වැටෙයි. ඒත් අවාසනාවට ඒ මොකක්ද කියලා බලන්නට අමිත්ට අවකාශ ලැබෙන්නේ නැත. එහෙත් අවට සිටින පක්ෂීන්ගේ කෑගැසීම් හඬ ඔහුට විටින් විට ඇසෙයි. බොහෝ විට මේ නම් කුරුල්ලෙක්ගේ මළපහ වෙන්න පුළුවන් කියලා අමිත්ට කල්පනා වුණත් ඒ සියල්ල ඉවසාගෙන ඔහු දිගටම සුරතේ රැඳි බෙලෙක්කය සොලවමින් සිටියේ බැඳගත්ත බෙරේ නොගසා සිටිනට බැරි නිසාවෙනි.

මේ වෙත්දී ඉර තිබුණේ හරියටම කිරි වෙහෙරට ඉහළිනි. පක්ෂීන් කෑකෝ ගසමින් ඒ මේ අත පියඹා යන්ගේ බැතිමතුන් රැගෙන ආ ආහාරවල ඉතිරි කොටස් බෙදා හදාගැනීම නොහැකිවය.

අමිත් පාරේ අනෙත් පස වූ කණුවක් දෙස එක එල්ලේ බලා සිටින්නේ ඇස වෙන අරමුණක් පසුපස ගියහොත් ඔහුටත් නොදැනීම හිසත් හැරවෙන බව ඔහු හොඳින්ම දන්නා නිසාවෙනි.

එක් අවස්ථාවක ඉදිරියෙන් ගිය කාන්තා රුවක් යන්තමින් නෙත ගැටුණු අපේ කතා නායකයා හොඳටම තිගැස්සිණි. ඇත්තටම ඒ ඇයමද? හරියටම කියන්නට අමාරුය. හිස හරවා බැලීමටද හැකියාවක් නැත. ඔහු එවිට ඇස් පමණක් හරවා බැලුවේය.

නැත. කිසිඳු වැරදීමක් සිදුවී නැත. මේ නම් ඇයමය. දැන් අමිත්ගේ සියොළඟම දහදියෙන් නැහැවී යයි. දැන් දැන් ඇය තමා අසලට පැමිණ තමා හා කතා කරනු ඇතැයි ඔහුට දැඩි බියක් දැනේ. එහෙම වුණොත් මේ කරපු සියලු දේම අපතේ යයි. අන්තිමට නටපු නැටුමකුත්, බෙරේ පලුවකුත් නැතිව යන්නේය.

ඔහුගේ සැකය හරියටම හරිය. ඇය පියවර කිහිපයකට ඔබ්බෙන් සිට ඔහු දෙස බලා සිටී. මේ අතරතුර තරුණයෙකු පැමිණ අමිත්ගේ බෙලෙක්කයට රුපියල් 20ක් දමා ගියේය. ඔහුත් ඇයට එකතු විය. ඇය තාමත් ඇඟිල්ලක් කටේ තබාගෙන අමිත් දෙසම බලා සිටී. අනතුරුව තමා දෙසට ඇඟිල්ල දිගු කරමින් ඇය ඔහුට මොන මොනවාදෝ කියනවාද අමිත්ට යාන්තමට පෙනේ. සමහර විට ඇයට මේ අමිත්ම දැයි සැකයක් තිබෙන්නට ඇත. සමහර විට කොළඹ සිටින අමිත් කතරගම ඇවිත් හිඟාකෑමට කිසිම ඉඩකඩක් නොමැති බව ඇය සිතන්නට ඇත.

ඇත්තටම අමිත්ව මේ තරම්ම කැළඹීමට පත් කළ ඇය කවුදැයි මම ඔහුගෙන් ඇසුවෙමි.

“එයා මාත් එක්ක ඉස්කෝලේ එක පන්තියේ හිටපු යාළුවෙක්. පෙම්වතා එක්ක කතරගම එන්න ඇති. මම ගොඩක් බය වුණා ඇය ඇවිත් කතා කරාවි කියලා. එහෙම වුණොත් මගේ ඇත්ත තත්ත්වය අනිත් අයත් දැනගන්නවා. එහෙම වුණොත් බඩ කට පුරා ගුටිත් කාලා තමයි කතරගමින් යන්න වෙන්නේ.”

තවත් අවස්ථාවක බෞද්ධ හිමි නමක් සල්ලි කොලයක් රැගෙන එක්වරම අමිත්ගේ බෙලෙක්කයට දාන්න හදා, ආයෙත් අත ආපස්සට ගත්තේය. සල්ලි දැම්මේ දෙවැනි වරය. අමිත් පවසන්නේ තමන් කරනනේ ඇත්තක්ද බොරුවක්ද කියා බැලීමට උන්වහන්සේ ලෙස කරන්න ඇති කියාය. තමන් ඒ වෙලාවේ සල්ලි දාද්දී බෙලොක්කේ හොලවන එක නතර කළේ නම් තමන් වංචාකාරයෙක් ලෙස ඔප්පුවෙන බව ඔහු කියයි.
මේ වෙනකොට අමිත්ගේ සා පිපාසය ඉවසීමේ සීමාව ඉක්මවා ගොසින්ය. තමන්ගේ මිතුරන්ට කියන්නට විදිහකුත් නැත. ඒ අතර මැදි වයසේ කාන්තාවක් ඔහු ළඟට පැමිණ, ඔහුගේ බෙලෙක්කය සල්ලිවලින් පිරී ඇති බැවින් ඒවා ඔහුගේ බෑගයට දමා අමිත්ට උපකාර කළාය. නමුත් ඇය සතයක්වත් එයින් ගත්තේ නැති බව අමිත්ට හොඳටම විශ්වාසය. ඇය ඉන් අනතුරුවත් දෙවරක්ම මෙම උපකාරය තමාට සිදුකළ බව අමිත් සිහිපත් කළේය.

එපමණක් නොව හිටගෙන සිටිය අමිත්ට ඉඳගන්න පුටුවකුත්, බොන්න බීම බෝතලයකුත් ඇය රැගෙන විත් දුන්නාය. අමිත් ඇයව හඳුනාගත්තේ තමාට යාර කිහිපයක් දුරින් හිඟමනේ යෙදෙන කාන්තාවක් විදිහටය. ඇය අසලම කුඩා දරුවන් දෙදෙනෙකුත් සිට බව ඔහුට මතකය.
අමිත් දෙවරක් නොසිතාම බීම එක බීවේ ඔහුට තිබුණ පිපාසය නිසාමය. අමිත්ව පෙනෙන දුරින් හිඟමනේ යෙදුණ හංසක නැතහොත් කිහිලිකරුවෙන් යන අපේ අනෙත් කතා නායකයා මෙය දකියි. නමුත් ඔහුට අමිත්ට පණිවුඩයක් දෙන්න විදිහක්ද නැත. අමිත් එක හුස්මට මේ බෝතලෙන් භාගයක්ම බීලා අවසන්ය. එවිට නම් හංසක හොඳටම බිය වී ඇත. බීමවලට මොනවා හෝ දමා ඔවුන් ඔහුව අල්ලාගනීවි යැයි ඔහුට සිතී ඇත. එහෙත් අන්තිමට එවැන්නක් සිදු නොවුණ නිසා කිසිම ගැටලුවක් නොවීය.

එම කාන්තාව අමිත්ට කෑම එකක් රැගෙන ඒමටද පොරොන්දු වී ඇති අතර, එතෙක් කොහෙටවත් නොයා එතනටම වී සිටින ලෙසත් පවසා ඇත්තේ බිස්නස් නැතිවේ යැයි කියාය. “මේ වෙලාවේ හොඳටම බිස්නස් තියනවා” කියාත් ඇය ඔහුට බය පවසා තිබේ.
ඇය ඔහු අසලින් නික්ම යද්දී නොදැනුවත්වම ඇයට මෙහෙම කියවුණාලු.

“පව් දෙයියනේ, කතරගම දෙයි හාමුදුරුවන්ගේ පිහිටෙන් මේ මහත්තයාගේ ඇස් දෙක සනීප වෙන්න ඕනි.” ඇය හදවතින්ම එහෙම කියද්දී තමාගේ සියොළගම වේව්ලා ගිය බව අමිත් කීවේ තිගැස්මෙන් වගේය.

“මට ඒ වෙලාවේ හිතුණෙම මම මේ බොරුවකනේ කරන්නේ. මේ අහිංසක මනුස්සයා පව් කියලාමයි හිතුණේ.” අමිත් සිය කටහඬ අවදි කළේ එලෙසය.
තවත් මොහොතකින් දුරකතනය කනේ තබාගෙන ඇමතුමක් ගන්න විදිහට පැමිණි අමිත්ගේ මිතුරෙක් අමිත්ට ඇහෙන්න දුරකතනයට කීවේ මෙලෙසිනි.

“හරි අමිත්, සර් කීවා දැන් ඇති එන්න කියලා” ඔවුගේ සගයන් හා ඔහු අතර සියලු පණිවුඩ හුවමාරු වූයේ එලෙසය. ඉන් අනතුරුව මිතුරෙක් පැමිණ ඔහුව වත්තන් කරගෙන රැගෙන ගියේ ඔහුව කෑමට රැගෙන යන පරිද්දෙනි.

දැන් අපි හංසක දෙසට යොමුවෙමු. හංසක මෙම කාර්යයට සූදානම් වුණේ දියවැඩියාට රෝගය නිසා සුව නොවූ තුවාලයක් කකුලේ ඇති රෝගියෙක් වශයෙනි. කකුලේ තක්කාලි තබා බැඳගෙන, කරෝල කෑල්ලකුත් ඊටම එකතු කර තිබුණේ තුවාලේ මැස්සෝ වහන්න ඕනි නිසාවෙනි.

කළු පැහැති විශාල කමිසයකින් සහ සරමකින් සැරසුණු හංසක කිහිලිකරු ආධාරයෙන් සෙමෙන් සෙමෙන් කිරි වෙහෙරට යන මාර්ගයේ ඔබමොබ ඇවිදිමින් හිඟමන් යැද්දේය. කිසිදාක කිහිලිකරු භාවිතා නොකළ හංසකට මෙය තරමක් අසීරු කාර්යයකි. මෙයින් වෙහෙසට පත් ඔහු මාර්ගය අයිනේ හිඳ ගත්තේ දුරින් හිඳින අමිත්ව ද පෙනෙන පරිදිය.

මහාචාර්යවරයා ඇතුළු මොවුන්ගේ සගයන් පිරිස මග දෙපස විවිධ තැන්වලට වී උන්නේ කතරගම වන්දනාවේ පැමිණි පිරිසක් පරිද්දෙනි. ඒ අවශ්‍ය වුවහොත් ඔවුන් දෙදෙනාට උදවු උපකාර කරන අටියෙනි.

අමිත්ට වඩා හංසකට යහමින් හිඟමන් ලැබී තිබුණි. ඒ අමිත්ට මෙන් නොව ඔහුට හොඳට දෑස පෙනෙන නිසා මඟයනෙනා අයගෙන් හඬ නඟා උපකාර ඉල්ලීමට හැකි වූ නිසාවෙනි. අමිත්ගේ දෑස් මෙන් නොව හංසකගේ තුවාලය එළිපිටම දක්නට ලැබීම ද එයට එක හේතුවක් වන්නට ඇත.

අනෙක හංසකද සිය චරිතය මනාව රඟපෑ බව ඔහුගේ සගයෝ අපට පැවසූහ. විටෙක ඔහු බිම වාඩිවී දෑතම පොළොවේ ගසමින් කෑ ගසා උපකාර ඉල්ලුවේ පළපුරුදුකාරයෙකු පරිද්දෙනි.

හදිසියේම ඔහු අසලට පැමිණි පුද්ගලයෙක් ඔහුගෙන් විමසා ඇත්තේ රුපියල් 500 මාරු කරගත හැකිද යන්නය. එහෙත් හංසකගේ පිළිතුර වී ඇත්තේ එලෙස මාරු කිරීමට තරම් මුදලක් තමා ළඟ නොමැති බවයි.

හංසකගෙන් සමුගත් එම තරුණයා යළි හෝරාවකින් පමණ ඔහු අසලට පැමිණියේ කිරි වෙහෙර වැඳ පුදා ගැනීමෙන් අනතුරුවය. එවර ඔහු පැමිණ ආපසු ගියේ නිකන්ම නොවේ හංසකට රුපියල් 500ක් ආධාර වශයෙන් ලබාදෙමිනි. හංසකට මෙය අදහාගන්නට නොහැකි විය. ඔහුගේ මුවින් එක්වරම “තෑන්කිස්” කියා හෙමිහිට කියවුණේ වෙනදා පුරුද්දටය. එය එම පුද්ගලයාට ඇසුණාදැයි ඔහු හරියටම දන්නේ නැත. “පිං සිද්ධ වෙච්චාවේ මහත්තයෝ” හංසක වහාම යළිත් සුපුරුදු චරිතයට පණ පෙවීය.

“කෑ ගහලම මහන්සි නිසා පස්සේ මම කෑගැහුවේ නෑ. ඒත් ගොඩක් අය මට සල්ලි දීලා ගියා. සමහරු ඇවිත් ඇහුවා ඇයි මල්ලි කියලා. මම කීවා සීනි නිසා කකුලේ තුවාලේ සනීප වෙන්නේ නැහැ කියලා.” හංසන තමාගේ කාර්යය විස්තර කළේ එලෙසිනි.

ඔහුට අමිත්ට මෙන් නොව ඇඳුම් පැලඳුම් ද සෑහෙන්න ලැබී තිබිණි. ඊට අමතරව කෑම පාර්සල් ද දහයක්ම වැඩියෙන් ලැබී තිබිණි. අවසානයේදී අතේ තිබුණු බෑගය ඔසවාගෙන යෑමට නොහැකි තරම් එය බර වැඩි නිසා ඉන්පසුව ඔහු ඒවා කාටත් නොපෙනන ලෙස ඉවත් කළේ ඇවිදීමට අපහසුවීම නිසාවෙනි. බඩගින්න නිසාම ඔහුට ලැබුණු යෝගට් එකකින් ඔහු කුස පුරවාගෙන තිබිණි.

“මට ඉන්නේ තාත්තා විතරයි. තාත්තා වෙන කසාදයක් කරගෙන. මට ඒ ගෙදර ඉන්න බැහැ. ඒ නිසා මම ආවා.” හංසකගේ මේ වචන නිසාම බොහෝදෙනෙක් දෙවරක් නොසිතාම ඔහුට උපකාර කිරීමට ඉදිරිපත් වී තිබේ.

තරුණ ගැබිනියක් කිරි වෙහෙර දෙසට ගියාය. හංසක ඇයට අත පෑවාය. ඇය නොදැක්කා දේ ගියාය. ඇය කිරිවෙහෙර වැඳපුදාගෙන ආපසු එද්දී ද හංසක ඇයට අත පෑවේය. එවරද ඇය හංසක පසු කරගෙන ගියාය. අඩි කිහිපයක් ගොස් ඇය සමඟ සිටි මවට මෙසේ කීවාය.
“අම්මේ තාත්තට පිං සිද්ධ වෙන්න කීයක් හරි දෙමු.” ඇයගේ මව ඉන් අනතුරුව යම් මුදලක් හංසකට ලබා දුන්නීය. හංසකගේ හිත ඒ සමඟම ගැස්සි ගියේය.

හංසක තමා ලත් අපූරු අත්දැකීම ද අපට විස්තර කළේය.

එනම් එක් අවස්ථාවක යම් පුද්ගලයෙක් පැමිණ තෝරගත් හිඟන්නන් පිරිසකට පමණක් ආහාර පාර්සල් ලබාදෙන අයුරු හංසක දැක තිබේ. ඒ අනුව ඔහු නිගමනය කර ඇත්තේ එම හිඟන්නන් පිරිස යම් කණ්ඩායමක සමාජිකයන් පිරිසක් බවයි. එසේ නොවී දානයක් විදිහට ආහාර පාර්සල් ලබාදෙන්නේ නම්, තෝරාගත් පිරිසකට පමණක් එලෙස කෑම ලබා නොදන බව ඔහුගේ අදහසයි. ඔහුගේ අදහස බොහෝ දුරට නිවැරදි විය හැකි බව අනිත් සගයෝද පැවසූහ.

පැය තුනක පමණ පර්යේෂණය අවසානයේදි හංසකට මුදලින් රුපියල් 1660ක් ලැබී තිබුණ අතර ඇඳුම් පැලඳුම් ද සැලකිය යුතු ප්‍රමාණයක් ලැබී තිබුණි. අමිත්ට එතරම් මුදලක් ලැබී නොතිබුණද දෙදෙනාටම රුපියල් 2500 ආසන්න ගණනක් එකතු වී තිබුණි.
ඉන් රුපියල් 300ක් අමිත්ට උදව් උපකාර කළ කාන්තාවට ඔවුන් විසින් ලබා දී තිබූ අතර අනෙක් ටික පිං කැටවලට දමා තිබුණේ පිං පිණිස මුදල් ලබාදුන් අයට කිසිඳු ආසාධාරණයක් නොකරමිනි.

ශ්‍රී ලංකාවේ යාචකයින් පිළිබඳව අපට පෙන්නා තිබූ හැඩරුව මේ සමගම වෙනස් විය. එනම් මෙම ක්ෂේත්‍රයට පැමිණෙන නවකයන්ට පැරැන්නන්ගෙන් විවිධ හිරිහැර එල්ල වන බවට මතයක් සමාජයේ පැතිර තිබිණි. එනමුත් මහාචාර්ය මයුර සමරකෝන් මහතා පවසන්නේ එය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වන බවයි. කතරගම ආශි්‍රතව එවැනි තත්ත්වයක් නොමැති බවත්, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ප්‍රචණ්ඩාකාරී තත්ත්වයන් ඇති විය හැකි බවත් ඒ මහතා අපට පැවසීය. එම නිසාම මෙම පරීක්ෂණ තුළින් සමාජයේ තිබූ එවන් මතවාද වෙනස් කරලීමට ඔවුනට හැකි වුණ බවත් ඒ මහතාගේ අදහසයි.

විශේෂයෙන්ම සඳහන් කළ යුතු යමක් ඇත. පැය තුනක් වැනි කෙටි කාලයකදී මෙම සිසුන් දෙදෙනා මෙතරම් මුදලක් උපයාගන්නේ නම්, දිනකට පැය 10-12 ක් හිඟමන් යදින ඇත්ත හිඟන්නෙක් නොවන වෘත්තීමය හිඟන්නන් කීයක් නම් දිනකට උපයනු ඇත්ද?
මේවායේ ඇති බරපතළකම හරියාකාරව අවබෝධ කරගෙන අදාළ බලධාරීන් මේ සඳහා නිසි විසඳුම් නොයෙදුවහොත් යාචක ගැටලුව තව තවත් ඔඩු දුවනු විනා අඩුවන පාටක් නම් නොමැත.

එසේ නොවුණහොත් දහසකුත් දුක් ගැහැට විඳිමින් අනාගතය වෙනුවෙන් ඉතිරි කරන්නට රාජ්‍ය සේවයට එක්වන තරුණ පිරිස, ඉන් ලබන වැටුප මෙන් කිහිප ගුණයක ආදායමක් උපයාගත හැකි යාචක වෘත්තියට පිවිසෙන දිනය නම් වැඩි අෑතක නොවනු ඇත.

ඒ නිසාවෙන්ම සංවිධානාත්මක කණ්ඩායම් විසින් හරි හරියට ගැටගසා ඇති හිඟන ගැටේ මෙවන් ක්‍රමවේද මඟින් නිසි ලෙස හඳුනාගෙන හරි අපුරූවට ලියාගත හොත් වැඩේ ගොඩය. හරි අමාරුවෙන් එදා වේල හරි හම්බකරගන්නා අපේ ඇත්තන් උපයන මුදල් නිකරුණේ අපතේ නොයනු ඇත. එසේ වුවහොත් කල්ල මරේය. රට්ටුන්ගේ පඩියෙන් තවත් කීයක් හෝ වැඩිපුර අතේ ඉතිරි වනු නොඅනුමානය.

සචිත් යාපා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: