කවි ලියූ වරදට දංගෙඩියට යන අපේ කාලයේ ගුරුතුමා

February 22, 2017 | 9:55 am    0   778

කවි ලියූ වරදට දංගෙඩියට යන අපේ කාලයේ ගුරුතුමා

කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ තාක්ෂණවේදය භාර ගුරුවරයා වන කුෂාන් ශාලිත හේරත් ෆේස්බුක් සමාජජාලය තුළ කවි පළකිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විමර්ෂනයක් ආරම්භ කර ඇත. ඒ අනුව පසුගිය ජනවාරි 23වනදා කුලියාපිටිය පාසලට යන අධ්‍යාපන අමාත්‍යංශ විමර්ෂණ නිලධාරීන් කවි ලිවීම සහ ෆේස්බුක් පළ කිරීම සම්බන්ධයෙන් ගුරුවරයාගෙන් ප්‍රශ්න කර ඇත. මෙම ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශය එම ගුරුවරයාට අත්තනෝමතික ලෙස ස්ථාන මාරුවක් ලබාදීමට සැරසෙන බව අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළිකරයි. අධ්‍යාපන අමාත්‍යංශය මෙලෙස කටයුතු කිරීම පිළිබඳ ගැටළුවක් ඇත.

ගුරුවරයා යනු සිරකරුවෙක් ද? ගුරවරයා යනු රජයේ මුද්‍රණය කරනු ලබන පෙලපොත් සිසුන්ට කටපාඩම් කරවන්නෙක් පමණක් ද? ගුරුවරයාට කලාව තහනම් වන්නේ නම් ගුරුවරයා යනු කවුරුන් ද? ගුරුවරයා යන නාමකරණය පසෙකින් තැබූ කළ ගුරවරයා යන නාමකරණය ලද පුද්ගලයා මිනිසෙක් නො වන්නේ ද? ඒ මිනිසාට තමාගේ ප්‍රකාශනයේ අයිතිය ඉහත නාමකරණය මඟින් අහිමිවන්නේ නම් එම නාමකරණයන්හි ඇති ගෞරවනීය වටිනාකම කුමක් සඳහා ද? ගුරුවරයා යනු මඟ පෙන්වන්නෙක් නෙවේ ද? ඔහුට ඔහුගේ මූලික අයිතිවාසිකම් ගුරුවරයා යන නාමකරණය තුළදී අහිමි වන්නේ කෙසේ ද? මේ අප ඔබෙන් අසන ප්‍රශ්න නොව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරන ප්‍රශ්න කිරීමයි.

ජනාධිපතිවරයා රටේ උසස් පෙළ සමත් දරුවන්ට සුබ පතමින් පසුගිය දිනෙක ප්‍රකාශ කළේ දරුවන්ගේ කලා හැකියාවන් තවත් ඉහළ මට්ටමට ගෙන ආ යුතු බව පැවසී ය. එහෙත් ඒ ඒ රටෙහිම අධ්‍යාපන අමාත්‍යවරයාගේ අමාත්‍යාංශය යටතේ සේවය කරන අධ්‍යාපන අමාත්‍යවරයාගේම මැතිවරණ ආසනයේ පාසලක ගුරුවරයෙකු කවි ලියූ වරදට අඩත්තේට්ටම්වලට ලක්වෙමින් සිටී.

අප මේ කතා කරන්නේ කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයේ තාක්ෂණවේදය විෂය භාර කුෂාන් ශාලිත හේරත් ගුරුවරයා පත්වී ඇති තත්ත්වය පිළිබඳවයි.

අප දන්නා අන්දමට විමර්ශනයක් පැවැත්වෙන මොහොතක ස්ථාන මාරු ලබාදීමක් කළ නො හැකි ය. විමර්ශනයෙන් පසු ඔහු වැරදි නම් එය කළ හැකි ය. එසේම මෙම ගුරුවරුන් ස¼දහා පත්වීම් ලබාදීමේදී අධ්‍යාපන අමාත්‍යංශය ගිවිසුම් අත්සන් කරවා ගන්නේ වසර පහක කාලයක් සඳහා ප්‍රථම පත්වීම් ස්ථානයේ සේවය කළ යුතු අතර වසර පහෙන් පහට සේවා ස්ථානයේ මාරුවීම් සිදු කරනු ලැබීම සඳහා ය. නමුත් මෙහිදී 2014 වසරේ පත්වීම් ලැබූ මෙම ගුරුවරයා වසර තුනක් නික්ම යන්නත් පෙර කවි ලියූ බව චෝදනා කරමින් ස්ථාන මාරුවක්් සිදු කිරීමට බලධාරීන් කටයුතු කරමින් සිටී.

මෙහි අතිශය සෝචනීය තත්ත්වය වන්නේ කවි ලිවීමට එරෙහිව විමර්ෂනය කරනවා නම් මේ නිලධාරින්ට කුමාරතුංග මුනිදාස, මහගමසේකර, රත්න ශ්‍රී විජේසිංහ, පරාක්‍රම කොඩිතුවක්කු ඇතුළු කවීන් ද විමර්ශනය කර දඬුවම් පැමිණවීමට සිදුවීමයි.

ලාංකික සාහිත්‍ය තුළ කවීන් බහුතරයක් බිහි වුණේ ගුරුවරයාගේ භූමිකාවේ සිට ය. ඉහත නම් සඳහන් කළ සියලුදෙනා ද ඒ ගණයට අයත් ය.

දරුවාට සාහිත්‍ය කලාව ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය විරුද්ධ ද? එසේ නම් එයට හේතුව කුමක් ද? අධ්‍යාපන ඇමතිවරු අකිල විරාජ් කාරියවසම්ගේ යටතේ කටයුතු කරමින් සිටින්නේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ දැනුමක් ඇති පිරිසක් ද යන්න මෙම සිද්ධිය සමඟ ප්‍රෙහේලිකාවකි.

තොරතුරු දැනගැනීමේ පනතක් පිළිබඳව ඉතා ඉහළින් කතාබහ කරනු ලබන වර්තමානයේ මිනිස්සුන්ගේ ප්‍රකාශනයේ අයිතිය රජය විසින් සුරකිනු ලබන්නේ මේ ආකාරයෙන් ද?

කුලියාපිටියේ කුෂාන් ගුරුවරයාගෙන් ආරම්භ වන්නේ සාහිත්‍ය කලා කප්පාදුවක් ද? ගුරුවරන් සිරකරුවන් කිරීමේ ව්‍යාපෘතියක් ද?

අධ්‍යාපන බලධාරීන්ට දරුවන්ට ලබාදීමට අවශ්‍යව ඇත්තේ පෙලපොත් කටපාඩම් කරවන ගුරුවරුන් ද? ගුරුවරයා යනු බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙකු විය යුතු නොවේ ද?

සත්‍ය වශයෙන්ම කවි ලිවීම ගුරුභාවයට අකැප වන්නේ එය විනය විරෝධී ලෙස නීතියේ සඳහන් නම් කුෂාන් ශාලිත ගුරුවරයා රැකියාවෙන් නෙරපා දැමිය යුතු ය. නමුත් ස්ථාන මාරු ලබාදී ඇති ප්‍රයෝජනය කුමක් ද? ඔහුට කවි ලිවීමට අවශ්‍ය නම් සිටින තැන ඔහුට අදාල නො වනු ඇත. අධ්‍යාපන බලධාරීන්ගේ වෙනත් කිසියම් කුමන්ත්‍රණකාරී අරමුණු ඇති බව මෙමඟින් පැහැදිළි වෙමින් ඇත.

ඔවුන්ට අවශ්‍යව ඇත්තේ මෙම ගුරුවරයා මෙම පාසලෙන් මාරු කිරීමට විය හැකි ය. ඔවුන් ඒ සඳහා යොදාගත් උපක්‍රමය ඉතාමත් බොළඳ කාරණයකි. එමඟින් අධ්‍යාපන බලධාරීන්ගේ නිරුවත ලෝකයට මොනවට පැහැදිළි වෙමින් ඇත.

මෙම ගුරුවරයාගේ ෆේස්බුක් පිටුව පිරික්සූ අපට සමාජ අපමනයත්, මිනිස් සිත දූෂණය කිරීමක්, ජාතිවාදී ආගම්වාදී ආරවුල ඇති කරනු ලබන ප්‍රකාශ සටහන් හෝ වෙනත් යමක් දැකගැනීමට නො තිබූ අතර ඔහුගේ මෙම කවි තුළ ද එවැන්නක් නො තිබිණි. එහෙත් ඒ කවි තුලින් දේශපාලන, සමාජ, ආර්ථික අක්‍රමිකතා පිළිබඳ කවිකම විවර කර තිබිණි. එය කවියාගේ අයිතියක් හා වගකීමක් නො වන්නේ ද?

කවියන්, කතාකරුවන්, සිනමාවේදීන් කොටින්ම කිවහොත් මාංශමය ශරීර මිනිසත් බවෙන් පිරවීමට කටයුතු කළ යුතු පාසල තුළ එය සිදු නො වන අවස්ථාවක එවැන්නක් තමන්ගේ ප්‍රකාශන අයිතිය තුළ සිටිමින් සිදුකළ ගුරුවරයාට අධ්‍යාපන බලධාරීන් සලකන්නේ මෙලෙස නම් දරු දැරියන්ට යන කලදසාව ගැන කතා කරන්නට දෙයක් නැත.

ඇමතිවරයා නිරන්තරයෙන් කතා කරනු ලබන පාසල්වල මුදල් අක්‍රමිකතා පිළිබඳ විමර්ෂනය කිරීම සඳහා අපට වර්ථා වන අන්දමට විමර්ශන කණ්ඩායම්වල හිඟයක් ඇත. විදුහල්පතිරුන්ගේ පගා ගැනීම්, පළමු වසරට ළමුන් ඇතුළත් කරගැනීමේ දූෂිත ක්‍රියා ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ කෝටියක් මහා පරිමාණ අවුල් තිබුණ ද කවි ලියූ ගුරුවරයෙකු අල්ලන්නට කොළඹ සිය තෙල් පුච්චාගෙන බලධාරීන් දිව යන්නේ කුමක් සඳහා ද? අදාල ගුරුවරයා වරදක් සිදුකර ඇත්නම් එය විමර්ෂණය කර අදාල පියවර ගැනීම පිළිබඳ අපට ප්‍රශ්නයක් නැත.

එහෙත් මෙහි ඇත්තේ එවැන්නක් නොව, කලාව සාහිත්‍යය අමතක කරන රටක අධ්‍යාපන ක්ෂේත්‍රයකි. උපදින දරු පරපුර මේ රටේ අනාගතය තුළ කුමන භූමිකාවක් රඟ දක්වයි ද?

කෙසේ වෙතත් මේ වනවිට මෙම උභතෝකෝටිකය සිදුවී හමාර ය. කවි ලියූ ගුරුවරයා දංගෙඩියට ගෙනයාමට අධ්‍යාපන අමාත්‍යංශයට සාධාරණ හේතුවක් තිබේ ද? එය රටට හෙළි කළ යුතු ය.

මන්ද යත් මෙය රටේ කලාව සාහිත්‍ය අකුලා දැමීමේ ප්‍රයත්නය විය හැකි ය. නැතහොත් පුද්ගලික පලිගැනීමක් විය හැකි ය. කලාව යනු මිනිසා ආනන්දයෙන් ප්‍රඥාවට ගෙන යන්න යි. අධ්‍යාපන බලධාරීන් ඊට එරෙහි වන්නේ නම් එහි විනිවිදභාවය රටට හෙළ කළ යුතු ය.

මෙම විමර්ෂණ කටයුතු කඩිමුඩියේ සිදුකළ ආකාරයටම ඒ පිළිබඳ රටට හෙළිකිරීම ද කරනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු. එසේම එම ගුරුවරයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් ද ජනතාව විසින් තමන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා පත් කරගන්නා ලද රජය විසින් සුරකිනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

කසුන් ගනේවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: