ක්‍රීඩා ඇමතිගේ විවේචන වලට මාලිංගගෙන් පිළිතුරු

June 22, 2017 | 2:26 pm    0   129

ක්‍රීඩා ඇමතිගේ විවේචන වලට මාලිංගගෙන් පිළිතුරු

පසුගියදා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් විවේචනයට ලක්කිරීමෙන් පසුව ලසිත් මාලිංග විසින් ක්‍රීඩා ඇමතිවරයාගේ එම ප්‍රකාශයට පිළිතුරු ලබාදීමක් සිදුකර තිබුණි.

“අපට ක්‍රීඩකයන් වටිනවා. ක්‍රිකට් ක්‍රීඩාව පවතින්නේ ක්‍රිකට් ක්‍රීඩකයන් නිසා. අපි ලෝක කුසලාන 5කට ඇවිත් තියෙන්නේ ඒ නිසා. තමන්ගෙ ජනප්‍රියතාව නිසා ක්‍රීඩකයන් පහත් කරලා කියන ඒවාට උත්තර දෙන්න අවශ්‍ය නැහැ.” මාලිංග ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්දව දැක්වුයේ එවන් අදහසකි.

“ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩාව දන්නේ ක්‍රිකට් ක්‍රීඩා කරන අය විතරයි. ඒකට තමයි කියන්නේ ගිරව් එළියේ ඉද්දි රිළව් බෙනේ ඉන්නවා කියලා.මොකද, ගිරවා තමයි දන්නේ බෙනේ වෙන්නේ මොනවද කියලා. ගිරවාට තමයි බෙනේ අවශ්‍යතාවය තියෙන්නේ. ඒක නිසා ගිරවා දන්නවා බෙනේදී මොකද වෙන්නේ කියලා. ඒකට රිළව් රිංගලා වෙන වෙන උත්තර දෙන්න ගිහාම වැරදි වෙන්න පුළුවන්. මම දන්නේ නෑ කවුද ඒ කතා කිව්වේ කියන එක. මං ඒවා අහන්න ගියේ නැහැ.” මාලිංග එහෙම කිවේ තරමක අවේගයෙන් වගේ.

ක්‍රිකට් ක්‍රීඩකයින් තරගයක් වෙනුවෙන් කොතරම් කැප වෙනවද කියල ඔහු සඳහන් කලේ මෙසේය.

“අව්වේ පැය 5, 6 එක දිගට ඉඳලා අපි එක බෝලයක් දාන්න ඒවගේ බෝල 1000ක් විතර දාලා පුරුදු වෙන්න ඕන. එළියේ ඉඳලා ලොකු දේවල් කියන්න පුළුවන්. පැය තුනහමාරක් ගහන මැච් එකක තීරණයක් ගන්න තියෙන්නෙ තත්පරේක වගේ කාලයක්. ඒ ගන්න තීරණය වරදින්න පුළුවන්, හරියන්න පුළුවන්. ඒවගේ ලොකු කතා කියන්න කලින් තමන්ට යුතුකම් තියෙනවා, ඒවා ඉෂ්ට කරන්න.” ක්‍රිකට් ක්‍රීඩකයින් තරගයක් වෙනුවෙන් කොතරම් කැප වෙනවද කියල ඔහු එලෙස සඳහන් කළේය.

ඇමතිතුමාගේ ප්‍රකාශය පිලිබඳ මාධ්‍යවේදිය විමසු විට මාලිංග ලබාදුන්නේ මෙවන් පිළිතුරක්

“මං බැලුවෙ නම් නැහැ ඇමතිතුමා මොනවද කිව්වෙ කියලා. මේ ක්‍රීඩකයන් හැමදෙනාම හොඳින් දක්ෂතා දක්වලා, තේරීම් කමිටුවක් මඟින්, ක්‍රීඩා අමාත්‍යතුමාගේ අත්සනින් තමයි කණ්ඩායමට එකතුවෙන්නේ. අවසාන අනුමැතිය හම්බෙන්නේ ක්‍රීඩා ඇමතිතුමාගෙන්. එහෙම දෙයක් කියලා තිබුනා නම් ඒකට අවසාන අත්සන ගහන්නේ කවුද කියලා මුළු රටම දන්නවා. එහෙම ගහපු අත්සනකට මෙහෙම කියනව නම් ඒක මුළු රටේම මිනිස්සු ඉස්සරහ විහිළුවක් වේවි.”

ඔහු වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළේය.

“ක්‍රීඩකයන්ට හැකියාව තියෙනවා පුහුණුකරුත් එක්ක කතා කරලා ඒ දේවල් තමන්ට අවශ්‍ය පරිදි කරගන්න. ඒක තමයි ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ. කවුරුත් කෑගහපු පලියට මේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් වෙන්නේ නැහැ. මේ ක්‍රිකට් ක්‍රීඩාව පවතින්නේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය මත. දිනපුවහම හැමෝම ෆිට්. පැරදුනහම කවුරුත් ෆිට් නෑ. එහෙම වෙන්න බෑ. තමන්ගේ පිටට වරදක් පැටවෙයි කියන බයට ඒක අනිත් කෙනාව අපහසුතාවයට පත්කිරීමයි ඒ බලාපොරොත්තුව.”

“මේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන්. ක්‍රීඩකයන්ට දක්ෂතා දක්වන්න අවශ්‍ය නම් ඔවුන් ශාරීරික යෝග්‍යතාවය පවත්වගන්නවා අනිවාර්යයෙන්ම. ඒකට කවුරුත් පිටින් කියන දේවල් මේකට ගොඩක් බලපාන්නේ නෑ. මං හිතන්නේ නැහැ කිසිම ක්‍රීඩකයෙකුට ඒ වගේ අපහසුතාවයක් ඇති කියලා.” ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය ගැන ද ලසිත් මාලිංග සඳහන් කරන්නට අමතක කලේ නැත.

යුධ හමුදා පුහුණුවකට සූදානම් දැයි විමසීමේදී ඔහු කියාසිටියේ යුද්ධය නිමාවී ඇති බැවින් දැන් එවැන්නක් අවශ්‍ය නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: