කාන්තාවක් විදිහට මෙහෙම ලිව්වම පුදුම වේවි

April 18, 2017 | 12:00 pm    0   112

කාන්තාවක් විදිහට මෙහෙම ලිව්වම පුදුම වේවි

 

කාන්තා දිනය නම් පහුවුණා. කාන්තාවන්ට නෙමේ සමාජයේ පුරුෂයන්ට ඇති තැන කොතනද. පුරුෂාධිපත්‍ය දැන් කොහේ ගිහින්ද කාන්තාවො තමා දැන් පෙරටුගාමී වෙල ඉන්නෙ. අද කාලෙ කාන්තාවො දැන උගත්. හොඳ හොඳ රැකියා කරනවා. ගෙදර ඉන්නවනම් මොනම හරි ක්‍රමයකින් අමතර ආදායම් උපයනවා. සමහර විට ස්වාමියාට වඩා බිරිඳගේ ආදායම් තත්ත්වය ඉහළ අගයක් ගන්නවා. ඉතින් කාන්තාවෝ බය නෑ යකාටවත්.

මං බොරුද කියන්නෙ. පාරට බැහැල බලන්න. පිරිමින්ට වඩා බයික්වල යන්නේ ගැහැනු. ඇහිබැම දේදුනු වගේ හදලා, මූණ පින්තාරු කරලා, හිරට හිරේ කලිසමකුත් ගහල පොඩි පැටියෙක් නැත්නම් දෙන්නෙක් බයිසකලේ ඉන්දවගෙන පාරෙ යන අම්මල (හොයාගන්ඩ බෑ අම්මද, පුංචිද, අක්කද කියලා) සති අන්ත පොළට යන්නෙත්, ළමයි පන්ති ගෙනියන්නෙත්, උයන්නෙත්, පිහන්නෙත් මේ අම්මම වෙන්නැති. මහත්වරු ලේසියට ඉන්නවා. කීයක් හරි මාසෙට අතට දීලා ණය තුරුස් නොවී ඔක්කොම කරගන්න කියලා බලාගෙන ඉන්නවා. අනේ අර ගෑනිත් හිතනවා මං තමා ලොක්කා කියලා. මහත්තයට වගකීම් දෙන්නෙම නෑ. මහත්තයාව පාතටම දානව. අපේ අම්මලගෙ කාලෙ වගෙ නෙමේ. අපේ කාලෙ අම්මලට අතට ෆෝන් එකකුත් තියෙනවනෙ. (ඒක මහත්තයට වඩා වටිනවනෙ) ඉතින් “ගෙදර මහත්තයා” ටික ටික විසිවෙනව. ඒ චරිතයේ වටිනාකම නැතිවේගෙන යනවා.

ආරියවංශ රණවීර මහත්තයගෙ “රළ” කියන කවිපොත මට බලන්න ලැබුනෙ ඊයේ පෙරේදා (ඒක පළ කරල තිබුණෙ නම් 2010දී) ඒකෙ ලස්සන කවියක් තිබුණා.

මාතෘකාව “එළිමහන”

මම
ඉන්නම්
පඹයෝ ඔතන…..
උඹ
පලයන්
ගෙදර….!

ඉතින් මටත් ඔය වගේ දෙයක් දැක්කම බෙදා හදා ගන්න හිතෙනවනේ. මම ඉතින් හිතවත් ලාල් මහත්තයට කෙටි පණිවිඩයකින් ඕක යැව්ව.

ඉන්නවනම්
උඹේ ගෑනී ගෙදර
උඹෙයි මගෙයි
මොකක්ද ඇති වෙනස….?

එහෙමයි ලාල් මහත්තය උත්තර එව්වෙ. අපේ සමාජෙ මහත්වරු ඔක්කොම පඹයෝ ගානට වැටුණොත් රටට මොන කලක් යාවිද.. දරුවන්ට වෙන හානිය සුළුපටුද.. තාත්තා කියන දෙයක් අහන්නෙම නැති දරුවෝ නේද එතකොට බිහිවෙන්නෙ මෙහි අවසානය ඉතා අවාසනාවන්තයි නේද. අම්මාගේ මඟ පෙන්වීම මත සියල්ල තාත්තා යටතේ සිදු වෙනව නම් නේද වඩා හොඳ. එහෙමනම් නිසි තැන ලැබිය යුත්තේ ස්වාමි පුරුෂයන්ටයි.

එහෙම නම් ස්වාමි පුරුෂයිනි. ඔබ නිසි තැන ගන්න. බිරිඳ ඔබ පිටුපසින් හිඳුවා ගන්න. ලෝකය එවිට වඩා ලස්සන වේවි. කාන්තාවක් විදිහට මෙහෙම දෙයක් ලිව්වම කාන්තාවො පුදුම වේවි.

ඒත් අපේ පවුලේ ජීවිත ටික රැක ගැනීමට නම් එසේ විය යුතුයි. නැත්නම් පවුල් ජීවිත ටික “චක බ්ලාස්” වෙලා යාවි.

කුසුම් නිශාන්ති පතිරාජ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: