කාන්තා ලෝක කුසලානයේදී වැඩ පෙන්වූ හැඩකාරියෝ

July 31, 2017 | 1:29 pm    0   278

කාන්තා ලෝක කුසලානයේදී වැඩ පෙන්වූ හැඩකාරියෝ

කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගියදා නිමාවට පත්වූයේ අවසන් මහා තරගයේදී ලකුණු 9කින් ඉන්දියාව පරාජයට පත්කළ එංගලන්තයයි. එම තරගාවලිය තුළදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් පිළිබඳ හැරී බලන්නට අපට සිදුවන්නේ එය මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට මහඟු ආයෝජනයක් වන නිසාවෙනි.

චමරි අතපත්තු
ලෝක කුසලාන තරගාවලියේදී චමරි අතපත්තු ඕස්ට්‍රේලියාවට එරෙහිව නොදැවී ලබාගත් ලකුණු 178 මෙහිදී සුවිශේෂීය. ඒ එම තරගාවලිය පුරා ක්‍රීඩිකාවක් රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණය එය වීම නිසා පමණක් නොව ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණද එය වීම නිසාවෙනි. කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩිකාවක් රැස් කළ තෙවන වැඩිම ලකුණු ප්‍රමාණය එයයි. ලකුණු 50ක්, 100ක් ලබාගත් පසු සිය ඉනිම අවසන් කර නොගනිමින් තරගය අවසන් වනතුරු කඩුල්ලත් රැකගෙන ඉනිම ගොඩනඟාගත යුතු අයුරු ඇය මනාව පසක් කර දුන්නාය.

දිලානි මනෝධාරා
ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු රකින්නිය මනෝධාරාය. ලෝක කුසලාන තරගාවලියේදී පාකිස්තානයට එරෙහි තරගයේදී සටන්කාමී ඉනිමක නිරත වූ ඇය එහිදී ලකුණු 84ක් රැස් කළාය. ලකුණු 98කට කඩුලු 5ක් දැවී අසීරු අවස්ථාවකට පත්ව සිටි කණ්ඩායම තරගය අවසන් වනවිට ලකුණු 221ක් දක්වා රැගෙන ගියේ මනෝධාරාගේ එම සටන්කාමීත්වයට පිං සිදුවන්නටය. වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න වැනි ක්‍රීඩකයන් ඉටුකරන කාර්ය කාන්තා කණ්ඩායම වෙනුවෙන් ඉටු කරන්නෙ ඇයයි. ශ්‍රී ලංකාවේ හොඳම තරග නිමාකරන්නිය ඇයයි.

ශ්‍රී පාලි වීරක්කොඩි
නිමා වූ ලෝක කුසලාන තරගාවලියේදී දක්ෂතා පෙන්වූ තවත් ක්‍රීඩිකාවක් ලෙස මඳවේග පන්දු යවන ක්‍රීඩිකා ශ්‍රී පාලි වීරක්කොඩි හඳුන්වාදිය හැකිය. තරග 8කදී කඩුලු 7ක් බිඳ හෙලූ ඇය තරග දෙකකදී කඩුලු 3 බැගින් බිඳ හෙලීමට සමත් වූවාය.
ශ්‍රී ලංකාවේ පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලෝකයේ යම් ස්ථානයක් හිමිකරගෙන ඇත්නම්, කාන්තා කණ්ඩායමටද රට වෙනුවෙන් එම ගෞරවය ගෙනදීමට හැකි බව මෙම ක්‍රීඩිකාවෝ ලෝක කුසලාන තරගාවලියේදී පෙන්නුම් කළෝය.
පිරිමි ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂතා පෙන්වූ ඇතැම් ක්‍රීඩකයන්ට තරගයක් දෙකක් අවසනදී සහදටම ජාතික කණ්ඩායම හැරදමා යාමට වැඩකටයුතු සැලැස්වූ ක්‍රීඩා නිලධාරීන්ට මතක් කරදීමට ඇත්තේ අපේ ක්‍රීඩිකාවන්ටත් එයම සිදු නොකොට අවශ්‍ය පහසුකම් දී ඔවුන්ව රැකබලාගන්නා ලෙසයි. එසේ වුවහොත් කාන්තා කණ්ඩායමද පිරිමි කණ්ඩායම 1996 දී ලාහෝර්හීදී ලොවක් මවිත කරමින් ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත්තා මෙන් ලොවක් මවිත කරවමින් ලෝක කුසලානයක පහස විඳින දිනය වැඩි අෑතක නොවනු ඇත.

සචිත් යාපා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: