කැරලි මර්ධන ඒකකය ගැන නොදන්නා දේවල් දැනගන්න

දියව්, දියව් අපට දියව්, එපා එපා අපට එපා, මොර දිගෙන, කෑගහගෙන, පාරවල් දිගේ කැරලි ගහන, අරගල කරන, විප්ලව කරන විරෝධතා පාන බොහෝ දෙනෙකුට පොලිස් කැරලි මර්ධන ඒකකයෙන් තෑගි ලැබෙනවා

මුලින්ම වතුර, ඊටපස්සේ කඳුළු ගෑස්, ඊටත් පස්සේ බැටන් පොලු. කොහොම ද කෑම. සමහරුන්ට නම් ඉතින් අතිවිශිෂ්ටයි. ඒත් ඒක කියාගන්නවත් බෑ. ඒතරම් සැරට කාලා ඉන්නේ. පසුගිය දවසක හම්බන්තොට කේස් එක තමයි පට්ටම කට්ටක් කාපු කැරලි මර්ධනේ පට්ටම ගේමක් ගහපු සැරම සිද්ධිය. ලංකාවේ කැරලි මර්ධන ඉතිහාසයේ ලොකුම සීන් එකෙන් මුහුණදෙන්න වුණ ලොකුම අවුලත් මේක තමයි කියලා ආරංචියි. ඊට කලින් ඉතින් මාස දෙකකට සැරයක්වත් අපේ කැම්පස් කොල්ලො කෙල්ලෝ ඇවිත් හොඳට කාලා නාලා යනවා. කොහොම වුණත් මේ කෑම් නෑම් අස්සේ තමන්ගේ අයිතීන් වෙනුවෙන් පපුව ඉස්සරහට දාලා ගේම අතඅරින්නේ නැති සුපිරි පොරවලුත් ඉන්නවා.

හරි අපි දැන් කැරලි මර්ධන ඒකකය ගැන පොඩි කයියක් ගහන්නයි යන්නේ. ගොඩක් දුරට අපි හිතන් ඉන්නේ මේ කට්ටිය ඉන්නේ පාරට බහින කට්ටියට එලව එලව ගහලා එලවන්න කියලා. ඒත් ඇත්තටම කැරලි මර්ධනය කියන්නේ මහජන සුබසිද්ධිය වෙනුවෙන් සාමය හා ආරක්ෂාව රකින්නයි. එත් ඉතින් ගිරේට අහුවුණු පුවක් ගෙඩිය වගේ අනුන්ගේ මඟුල්වලට මැදිවෙන්න සිද්ධ වෙලා බැණුම් අහන, ඇනුම් පද අහන, ගල්මුල් සංග්‍රහ විඳින්න වෙන සෙට් එකක්. උදාහරණයක් කිව්වොත් කැම්පස් කොල්ලෝ UGC එකෙන් ගේම ඉල්ලද්දී මැද්දට එන කැරලි මර්ධනේ කට්ටිය තමයි හතුරෝ වෙන්නේ. ඒක මාර සීන් එක බ්‍රෝ. ඔය කලු කිට් ගහගෙන අතේ බැටන් පොල්ලකුයි තාප්පයක් වගේ හෙන සද්ධන්ත ප්ලාස්ටික් පලිහකුයි ඉස්සරහට දාගෙන ලෝකේ පුරා පැතිරෙන වයිරස් එකකින් බේරෙන්න හිතාගෙන වගේ මුළු මුහුණම වැහෙන්න ගුලියක් වගේ වෙස්මූණකින් මූණ වහගෙන ඉන්නේ ඔය කැරලි මර්ධන එකේ සෙට් එක තමයි. ලෝකේ එක එක රටවල එක එක විදියට කැරලි මර්ධනය කරද්දී අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ මැලේසියා, සිංගප්පූරු ක්‍රමවේදය කියලා තමයි දැනගන්න ලැබෙන්නේ.

කැරලි මර්ධනය කියන්නෙත් පොලිස් නිළධාරින්ගෙන්ම සමන්විත වෙනමම unit එකක්. හැබැයි මේ සෙට් එක සිංගප්පූරුව, ඉන්දියාව, මැලේසියාව වගේ රටවල විශේෂිත පුහුණුවක් ලබලා කැරලි මර්ධනයට වෙන්වුණු පිරිසක්. පොලිස්පති යටතේ තමයි තියෙන්නේ. ලංකාවේ හැම මූලස්ථාන පොලීසියකම මේ කැරලි මර්ධන කස්ටිය හිටියට ඔය කොළඹ ක්ෂේත්‍ර බලකා මූලස්ථානය කියලා තියන හෙන පත අවුරුදු 100ක් විතර පරණ බිල්ඩින් එකේ ඉන්න කට්ටියට විතරයි කලු පාට කිට් එක ගහගෙන මහසෝනා වගේ පාරට බහින්න අවසර තියෙන්නේ. ඒක එයාලගේ අනන්‍යතාව ය.

කොළඹ ඉන්නේ team 5ක සෙට් එකක්. ඔක්කොම කට්ටිය 100ක් විතර. එක ගේම් එකකට බහින්නේ 20ක team එකක්. Play කරන්න අමාරු වුණොත් තමයි අනිත් කට්ටිය කැඳවන්නේ. පුද්ගලික තරහකට නෙමෙයි මේ මිනිස්සු කරන්නේ සාමය හා ආරක්ෂාව රකින එක. අනිත් මිනිස්සුන්ගේ අයිතිවාසිකම් රකින්න උත්සාහ කරන එක.

මුලින්ම වැඩේ පටන් ගන්නේ ජල ප්‍රහාරක එකක් දෙකක් ගහලා. එක එක වර්ගේ ජල ප්‍රහාරක රථ තියෙනවා. ලංකාවටම රථ 15ක් තියෙනවා. කොළඹින් තමයි මේ ඔක්කොම ආවේ. මීට අමතරව කොළඹ තියෙනවා සුපිරි ජල ප්‍රහාරක වන්ඩියක්. ඒකේ 1991 විතර තමයි ලංකාවට ගෙනල්ලා තියෙන්නේ. ජර්මනියේ නිෂ්පාදිත මර්සිඩීස් බෙන්ස් වර්ගයේ රථයකට ඊශ්‍රායලයේදී ඔය වතුර විදින ගැජමැටික්ස් ඔක්කොම හයිකරලා ලංකාවට ගෙනල්ලා තියෙන්නේ.

සාමාන්‍යයෙන් මේ අධිපීඩක ජල ප්‍රහාරක රථයකින් නිකුත් වෙන ජලය ඝන සෙන්ටිමීටරයක පීඩනය කිලෝග්‍රෑම් 15ක් විතර වෙනවා. කොහොම ද ඕක ඇඟට වැදුණම සැපයිනේ. ඉස්සර නම් ඔය වතුරට එක එක කෙමිකල් දාලත් ගහනව ලු. එතකොට ඉතින් හොඳට තම්බපු කහඹිලියා හැලියක බැස්සා වගේ තමයි. සැප ඇඟ පුරාම සට සට ගාලා දුවනවා. ඒත් දැන් අවුරුදු 10ක විතර ඉඳන් ඒවා පාවිච්චි වෙන්නේ නෑ. ගොඩක් දුරට කොළඹ සිද්ධියකදී වතුර ගහද්දි ගොඩක් කට්ටිය කියන්නේ බේරෙවැවෙන් වතුර ගෙනත් ආතල් එකට ගහනවා කියලා. ඒත් ඇත්තටම මේවට වතුර පුරවන්නේ මාලිගාකන්ද ජල පිරිපහදුවෙන්. එක වාහනයකට සාමාන්‍ය වතුර ලීටර් 5000ක් විතර අල්ලනවා. ඕනම වෙලාවක වැඩේට ලෑස්තිවෙලා ඉන්න ඕන නිසා කලින් වතුර පුරෝලා ගෙනත් තියාගන්නවා. එතකොට ඉතින් ටැංකි මලකඩ කාලා ගහනකොට වතුර දුඹුරු පාටයි. ඕක තමයි සිද්ධිය.

කොහොමහරි වතුර ගහලා නවත්තගන්න බැරි වුණොත් තමයි ඊළඟ සෙල්ලම, කඳුළු ගෑස් ගහන්න පටන් ගන්නේ. කඳුළු ගෑස් කියන්නේ ජීවිතයට හානිදායක නො වන රසායනික ද්‍රව්‍යයක්. ටික වෙලාවකට මේකෙන් හුස්ම ගැනීම අපහසු කරලා ඇස් දෙකෙන් හෝ හෝ ගාලා කඳුළු වගුරනවා. මේවා කාපු කට්ටිය ඉතින් හොඳට රහ දන්නවා. හුස්ම ගන්න අපහසු වෙනවා නෙවෙයි සිරාවටම මරුවා මතක් වෙනවා. කොහොම වුණත් ජාත්‍යන්තර වශයෙන් පරිහරණය කරන කඳුළු ගෑස් වර්ග කිහිපයක් තියෙනවා. ඒවා තමයි Orthe-Chlorobelzylidele-Malananitrille(CS Gas), Chloroacetophenone(CN Gas), Dibenz(B,F)-1,4-Oxazepine(CR Gas). ජාත්‍යන්තර වශයෙන් මේ ගෑස් භාවිතා කරන්නේ මේවායේ තියෙන නියමිත කියාකාරීත්වය සහ අඩු අවදානම නිසා.
මේ ගෑස් ගහලත් වැඩේ බැලන්ස් කරගන්න අමාරුයි නම් ගත්තා පොල්ල අතට, නෙලනවා හතර අතට. හැබැයි ඒකත් ක්‍රමේකට. ඉස්සර කිතුල් පොලු වගේ බැටන් පොලු තිබුණට දැන් තියෙන්නේ මැදින් ස්ප්‍රීන් එකක් තියෙන රබර්වලින් හදපු බැටන් පොලු. ඒකෙන් පාරක් දෙන්න අනුමැතිය තියෙන්නේ උරහිස්සට. ගහනකොටම නැවෙනවා. ඒත් සැරට රිදෙනවා. කාපු කට්ටිය දන්නවා. කොහොම වුණත් මේ කට්ටිය විසුරවන්න කරන දේවල්නේ. මේ කරලත් බැරි නම් කට්ටිය අත්අඩංගුවට ගන්න කැරලි මර්ධන නිලධාරීන්ට බලය තියෙනවා. ඒත් ඒක පොලිස් නිලධාරීන්ට පවරලා ඔවුන් මේ වෙනවිට ඒකෙන් ඉවත් වෙලා තියෙනවා.

මෙහෙම කරලත් එලවන්න, විසුරුවන්න බැරි නම් 2003ට කලින් නම් මෙයාලට පාවිච්චියට රබර් උණ්ඩ දීලා තිබුණා. එත් ඔය 2003 දී රබර් උණ්ඩයක් වැදිලා කෙනෙක් මියයාමත් එක්ක රබර් උණ්ඩ භාවිතය නතර කරලා තිබුණා. ඒ වගේම තමයි අධිපීඩන ජල ප්‍රහාරක රථවලත් ජල ප්‍රහාර එල්ල කිරීමේ බලය තියෙන්නේ පොලිස් පරීක්ෂවරයෙක්ට හෝ පොලිස් උපපරීක්ෂකවරයෙක්ට. එහෙම කෙනෙක් නැතුව වතුර ගහන්න බෑ. ඒක නිසා හැම රථයකට පොලිස් පරීක්ෂකවරයෙක් පත්කරලා තියෙනවා.

ඉතින් කොහේ කොහොම ගේමක් ඇදුණත් අන්තිමට ගේම සෙට් වෙන්නේ මහජනතාවටයි, මේ මහජනතාවටම සේවය කරන කැරලි මර්ධනේ එකටමයි. එතකොට ෆෝම් වෙන අපේ අයියලා ඔය ගඩොල් බාගවලින් එහෙම එන වාහනවලට ආදර සත්කාර පුද කරන්න අමතක කරන්නේ නෑ. අපේ කට්ටිය හිතන් ඉන්නේ එහෙම අලාබ කළාම කැරලි මර්ධනේ කට්ටිය අතින් කයිට් කරන් කැඩිච්ච හදනවා කියලා. ඒත් දන්නෙම නැතුව හාල් ඇටෙනුයි, වතුර බිංදුවෙනුයි බදු ගහලා අරගන්න අපේ සල්ලිවලින්මයි අන්තිමට ආණ්ඩුව ඒවා හදන්නත් යොදවන්නේ. මොකද ඒ රජයේ දේපල. මහජනතාවගේ දේපල. කැරලි මර්ධනේ කියන්නේ මහජනතාවගේ ආරක්ෂකයෝ. දෙකට තුනට හතරට බෙදිලා ගහගන්නේ මරාගන්නේ අන්තිමට අපි අපිමයි. ඔන්න ඉතින් විස්තරේ කිව්වා. උඹම හිතලා බලපං. අපි යනවා.

කසුන් ගනේවත්ත

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

1 × 5 =