කෑලි මාරු කර සාක්කු පුරවන පිටකොටුවේ නාටාමි ජීවිත

January 5, 2017 | 12:30 pm    0   664

කෑලි මාරු කර සාක්කු පුරවන පිටකොටුවේ නාටාමි ජීවිත

යම් ව්‍යාපාරයක් ඉපයීමක් හෝ ඉපයීම් මාර්ගයක් ප්‍රතික්ෂේප කළ යුත්තේ හෝ කොන් කළ යුත්තේ ඒ තුළින් සමාජය වෙත සිදුවන අර්ථය හෝ අනර්ථය පිළිබඳ සලකා බලා ය. එසේ නො සිදු වූ විට ඉන් වන හානිය ගණනය කළ හැක්කක් නො වේ.

මේ කතා කරන්නට යන්නේ ද එවැනි පදනම් විරහිතව සමාජය විසින් කොන් කර හැර තිබෙන, ඒ නිසාම සුවපන් ජිවිතයක් ගත කරන්නට හොඳටම ඉඩකඩ තිබියදිත් පීඩා විඳින කම්කරු ජනතාවක් ගැන ය. මෙහිදී පදනම් විරහිතව යන්න හේතු සහිතව පවසන අතර එය පසුවට තබමි.
මොවුන්ට රැයක් දවාලක් නැත. විශ්‍රාම වැටුප්, අතිකාල, අර්ථසාධක, නවාතැන් පහසුකම් වැනි රැකියාවට අදාලව දීමනා නැත. වෘත්තීය සංවිධාන නැත. විවේකය තීරණය වන්නේ ඉර නැඟීම හෝ බැසීම යන කාරණා මත නොව බඩු පටවන බාන සහ ප්‍රවාහනය කරන වේලාවන් අනුවයි.

දුර්වර්ණ උස් ගොඩනැඟිලි මැද්දෙන් වූ ජනාකීර්ණ පටු පාරවල් දිගේ වෘත්තියට ආවේණික ශබ්ද නඟමින් දුවන මොවුන්ට ඉලක්ක තිබේ.
මේ පිටකොටුවේ නාටාමි වෘත්තියේ නියැලෙන කම්කරු තරුණයින් ය.
“මම මේ රස්සාවට ඇවිත් දැන් අවුරුදු පහළොවක් වෙනවා. ගමේ ඉඳන් කරන්ඩ දෙයක් නැති හින්දා කොළඹ ඇවිත් අන්තිමේ මේ රස්සාවට වැටුණා.
දවසට රුපියල් දෙදහක් තුන්දහක් හොයාගන්ඩ පුළුවන් වෙන රස්සාවල් නෑනේ අපිට. මම සතියට සැරයයි ගෙදර යන්නේ. ඒ යනකොට දහදාහක්වත් ගෙදර ගෙනියනවා. දරුවො තුන්දෙනාටයි අපිටයි කාල ඇඳලා ඉන්ඩ ඒ ඇතිනේ. දරුවො හරි ටිකක් ඉස්සරහට ගන්ඩ තමයි බලන්නේ.”
මෙසේ කියන්නේ ශිවා ය. ඔහුට වයස තිස්තුනකි. පදිංචිය හැටන්වල ය. ඔහුට අනුව නාටාමි වෘත්තිය හොඳ මුදලක් උපයාගත හැකි රස්සාවකි. අනෙකුත් රැකියාවකින් එතරම් මුදලක් උපයාගත නො හැකි ය.

එහෙත් ඔහු රැකියාව කරන්නේ ගමට නො දැනෙන්නට ය.
මේ පිළිබඳව හොඳ පැහැදිලි කිරීමක් කරන්නේ එස්.කේ.ගාන්ධි ය. වයස 28ක තරුණයෙක් වන ඔහුගේ පදිංචිය නුවර ය. විවාහකයෙකි. ඔහුට දරුවන් දෙදෙනෙක් සිටී.
“මම කියන්නේ කසාඳ බැඳපු කෙනෙක්ට හොඳම ජොබ් එක තමා මේක කියලා. කෑලි මාරුවෙනකොට සල්ලි සාක්කුවේ. නඩු වැටෙනවනං මොළේ පාවිච්චි කරලා ගේම ගැහුවාම දවසට හාරදාස් පන්සීයක් පන්දාහක් ෂුවර් සාක්කුවේ. කෑලි මාරුවෙනවනේ මොනව වුණත්. ඒව යට තමයි අපේ ගාණ තියෙන්නේ. යටින් අත තියන්ඩ විතරයි තියෙන්නේ.
කෑල්ලකට කීයක් විතර ගෙවනව ද? ඔහුගෙන් තවත් බොහෝ දේ දැනගන්නට ඇසීමි.
“කෑලිවල සයිස් එකේ හැටියට තමයි අපිට ගෙවන්නේ. රුපියල් පහ, හය, හත, අට, දහය විදියට වැඩිම ගාණ දහය!!”
“මම අවුරුදු දහයක ඉඳලා මේ රස්සාව කරන්නේ. මේ ඒරියා එකේම මේ රස්සාව කරන අය දෙදාහක් විතර ඉන්නවා. ඒත් වැඩිදෙනෙක් රස්සාව කරන්නේ ගෙවල්වලට, ගමට හොරෙන්. දන්නවනේ මිනිස්සුන්ගේ හැටි. අපි දිහා බලන්නේ අපරාධකාරයෝ දිහා බලනව වගේ.”
ගාන්ධි පාසල් ගොස් ඇත්තේ අට වන වසර දක්වා පමණි. එහෙත් මේ මාවත්වල පටු බව ඇතුළේ සැරිසරන මුදල් පිළිබඳවත් ඒවා සිය ශක්තිය සහ සරල ලීවර භාවිතාකොට ගනිමින් උපයා ගන්නා ආකාරය පිළිබඳවත් ඔහු සියුම්ව ගවේෂණය කරන්නෙකි. ඒ පිළිබඳව සවිඥාණික අයෙකි

මේ කතාවේ තවත් පැත්තක් ආවරණය කරන්නේ, මාතලේ කුමාර් සහ බදුල්ලේ තීබන් ය. මොවුන් දෙදෙනා විසිතුන් හැවිරිදි තරුණයන් ය. තීබන් කලා අංශයෙන් උසස් පෙළ හදාරා ඒ එකක් සහ බී දෙකක් සහිතව සමත් වී ඇත්තෙකි. කුමාර් ද උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබා ඇත්තෙකි. දෙදෙනාම අවිවාහකයින් ය.
“අපි හතර වන හරස්වීදියේ කඩේක වැඩ කරන්නේ. අපේ වැඩ උදේ පහේ ඉඳන් උදේ දහය වෙනකල් විතරයි තියෙන්නේ. අනිත් වෙලාවට පොඩි පොඩි කෑලි කීපයක් මාරු කරන්ඩ විතරයි තියෙන්නේ. දවසට රුපියල් එක්දාස් පන්සීයක් දෙදාහක් හොයාගන්ඩ පුළුවන්. වෙන රස්සාවක් කරලා එච්චර ගාණක් හොයන්ඩ බෑනේ. වෙන රස්සාවක මේ තරං නිදහසකුත් නෑ.
ඉතින් මේ රස්සාව හොඳයි කියලා හිතුණා. අපි ගෙවල්වලට කියලා තියෙන්නේ ෆැක්ටරියක වැඩ කියලා.”
මේ දෙදෙනාගේම අරමුණු බොහෝදුරට එක ආකාර ය. උසස් පෙළ සමත් වී මෙවැනි රැකියාවක් කරන්නේ ඇයි? යන ප්‍රශ්නයට ඔවුන් ළඟ තාර්කික පිළිතුරු තිබේ. කෙසේ වුව ද පවතින ආර්ථක සහ සමාජ වටපිටාව තුළ ඔවුන්ගේ තීරණවල හරි වැරදි බව පිළිබඳව අගය විනිශ්චයන් සැපයීමට යාම විහිළුවකි.

කරත්ත මඟින් බර අඳින ලිදුල මදිවානත් විජේ සහ නාවලපිටියේ චන්ද්‍රකුමාර රැකියාවක් සොයා කොළඹ පැමිණ අවසානයේ පිටකොටුවේ නාටාමි වෘත්තිය තෝරාගත් තරුණයින් ය. දවසට රුපියල් සියයේ කුලියට කරත්තවල බඩු පටවා ඇදගෙන යාම මොවුන්ගේ වෘත්තියේ ස්වභාවයයි. ඒ මඟින් රුපියල් සියයක කරත්තයේ කුලිය ගෙවලා රුපියල් තුන්දහසක් පමණ දිනකට ඉතිරි කරගත හැකි බව ඔවුන් පවසයි. ඔවුන් සති දෙකකට වරක් ගමේ යන්නන් ය. ඔවුන් එසේ යන්නේ රැකියාවේ සලකුණකුදු බැහැරට නො පෙනෙන සේ ශරීරය ගලපාගෙන ය.
එස්.කේ.ගාන්ධිට අනුව ඒරියා එකේ වැඩ කරන අයගෙන් වැඩිදෙනෙක් පිට පළාත්වල සිට කොළඹට පැමිණ නාටාමි වෘත්තියේ යෙදෙන්නන් ය. අහඹු ලෙස ඔවුන් සමඟ කළ කතාබහේදී ඔවුන්ගේ අරමුණු විවිධත්වයක් ඇති සේම එහි පොදු කරුණක් ද පැහැදිලි ය. එනම් කීයක් හරි වැඩිපුර ඉපයීම යන්නයි.
නම සඳහන් නො කළ තවත් තරුණයෙකුගේ අදහස් ද මෙහි සටහන් කළ යුතුම ය.

ඔහු වාහන තුනක හිමිකරුවෙකි. වාහන තුන මොනවා ද යන්න ඔහු පැවසුවේ නැත. එය විමසීමේ අවශ්‍යතාවයක් තිබුණේ ද නැත. එහෙත් ඔහු වාහන තුනම ගෙන ඇත්තේ පිටකොටුවේ බර ඉසිලීමෙන් උපයන මුදල්වලින් “ෆිනෑන්ස්” ක්‍රමයට වාරික ගෙවීමෙනි. ඔහුට මසකට විසිපන්දහස බැඟින් තවත් වාරික ගෙවීමට ඇත්තේ එක් වාහනයක පමණි.
ඔහුගේ අදහස් තුළ මෙම වෘත්තියට හානි කරන්නන් පිළිබඳව ද සඳහන් වුණි.
ඒ ඔහුගේම වචනවලින් කුඩ්ඩන්ගෙනි. කුඩ්ඩන්ගේ අරමුණ කීයක් හෝ උපයාගෙන කුඩු ගැසීම පමණි. ඊට සරිලන දෛනික වියදම උපයාගත් විට ඔවුන්ට සෑහේ. ඒ නිසා ඔවුන් කරන්නේ රුපියල් හයේ කෑල්ල රුපියල් තුනට මිල අඩුකර ගෙන යාම ය. අර තරුණයා කියන ආකාරයට ඒ මුදල් වෙනත් කිසිදු තැනකට බෙදී නො ගොස් කෙලින්ම යන්නේ කුඩු මුදලාලිලා අතට ය.

“උන් මෙතනට ඇවිල්ලා කුඩ්ඩො දාල සල්ලි බාගෙන යනවා. ඒ හින්දා අපිටත් කෑල්ලේ ගාණ අඩු කරන්ඩ වෙලා” ඔහු කියන්නේ එලෙසිනි.
මේ වේල්ල වීදියේ අනස් ද, මොරටුවේ උසේන් ඩිව් ද දරුවන්ට අනාගතයක් සැකසීම වෙනුවෙන් පිටුකොටුවේ බර උසුලන්නන් ය. අනස් සිය පදිංචි නිවස පිහිටි වේල්ල වීදියෙන් සහ තමා පෙනෙන මානයෙන් දරුවන් අෑත් කර නේවාසිකාගාරයක නවත්වා ඔවුන්ට උගන්වයි. සිය දරුවන් දෙදෙනා වෙනුවෙන් ඔහු මසකට ‍ෙදාලොස්දහසක් නේවාසිකාගාරයට ගෙවනු ලබයි. උසේන් මාලිගාවත්තේ සිට මොරටුවට යන්නේ ද දරුවන් තම රැකියාවෙන් සඟවා තබන්නට සහ දරුවන්ට ඉන් වන හානිය මකන්නට ය.
එස්.කේ.ගාන්ධි පවසන ආකාරයට මේ හැමකෙනෙක්ම ඇඟපතේ අමාරුවට හවසට අඩියක් ගසති. කුඩ්ඩන් හැරුණ­ කොට දවාලෙහි කිසිවෙක් මත්වන දේ පාවිච්චි නො කරන බව ඔහු පවසයි.
ඔහුගේ කීමෙහි ඇත්තක් තිබෙන බව මට ද තහවුරු වූයේ හමුවූ කිසිවකුගෙන් මත් ගඳක් වහනය නො වූ නිසාත්, මත් ගතියක් නො පෙනුණ නිසාත් ය.

සම්මත හෝ අසම්මත වේවා රස්සාව යනු රස්සාව ය. එහෙත් සම්මත අසම්මත බව තුළ එස්.කේ.ගාන්ධිලාට, අනස්ලාට, කුමාර්ලාට සැඟවී සිටින්නටත් පීඩාවට ලක්වන්නටත් වන සාධාරණ හේතූන් මොනවා ද?
බර ඉසිලීම ක්‍රිඩාවක් වන විට එයට දිරි දෙන්නන් මඟ පෙන්වන්නන් සුබ පතන්නන් බොහෝ ය.
එක් එක් පන්ති මට්ටමින් බර උසුලා කප් ගසා ආපසු සිය රටට පැමිණෙන විට ඔවුන් පිළිගන්නට දහදහස් ගණනින් පෙළ ගැසෙති. ඔවුනට සමාජ ඇගයුම් පිරිනමති.
දවස පුරා ශීත කාමරවල රැකියා කර ශරීර සෞඛ්‍ය වෙනුවෙන් හෝ බාහිර පෙනුම වෙනුවෙන් “සෙට් එක” දාන මහත්තුරු නෝනලා මේ වන විට අෑත ගම්වල පවා විරල නො වේ. එය අද තරුණයන් අත කලාවකි. ඉනුත් ඉදිරි ආර්ථියක් ඇති අය සිය නිවසේ “හෝම් ජිම්” පවත්වාගෙන යති. එය අද විලාසිතාවකි.
මේ සටහන තබන්නේ ක්‍රීඩාවක් පහත් කිරීමට හෝ එකී ක්‍රීඩාව හා බැඳී එය පෝෂණය කෙරෙන සංස්කෘතිය පහලට ඇද දමන්නට නොවේ. ඒවා එලෙසින්ම පැවතිය යුතු ය. ඒ පිළිබඳ තර්කයක් නැත.

එහෙත් පොදු සමාජය විසින් වැළඳගෙන ඇති එම කරුණම සිය ජීවනෝපාය මාර්ගය කරගත් විට එය පහත් සේ සැලකිම හෝ කොන් කිරීමට හේතු සේවීමේ දී මෙම සටහන තබන්නට සිදුවේ.
මේ සියල්ල සිදුවෙද්දී හෙට දවසේ ද අනස්ලා, මදිවානන් විජේලා, එස්.කේ.ගාන්ධිලා සිය සැඟවුණු තලාවේ ලාභදායී අහිංසක වෘත්තිය කරගෙන යනු ඇත. අහිංසක යන යෙදුම මෙහි භාවිතා කරන්නේ හිංසාවක් නැති යන අරුතිනි.
එහෙත් මේ දිරිය මිනිසුන් තවදුරටත් දෙලොවක් අතර ජීවත් කරවමින් සැබෑ ලෝකයෙන් පිටමං කිරීම, කවර මානයකින් හෝ යුක්ති සහගත ද යන්න සිතා බැලිය යුත්තකි.
ප්‍රගීත් කිරිඇල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: