“කියන්න අපේ මේ හමුවට තේරුමක් තියෙනව ද?”

February 6, 2017 | 10:44 am    0   597

“කියන්න අපේ මේ හමුවට තේරුමක් තියෙනව ද?”

ඇය නො හිතපු වෙලාවක අහපු ප්‍රශ්නෙන් ඔහු ගැස්සුණේ නැහැ. බොහොම සන්සුන්ව ඇය දෙස බැලුවා.

“දන්නව ද මුහුදෙ රළ හැමදාම වෙරළට එනවා. ඒ එන්නේ වෙරළ නිසා ද එහෙම නැත්නම් සුළඟ නිසා ද කියලා ඔයා දන්නව ද?”

“අනේ මන්දා ඒක තිරණය කරන්න අමාරුයි ඇයි කියලා”

ඇය ගාණකට නො ගෙනම උත්තර දුන්නා.

“අන්න ඒ වගේ හේතුව මොකක් වුණත් අපි දෙන්නා හමුවෙනවා. හේතුවක් නැතුවම රැල්ල වෙරළ හොයන් එනව වගේ…”

ඊළඟට මොකක් කියන්න ද කියල හිතාගන්න බැරුව ඇය නිහඬ වුණා. ඇත්තටම ඔයාට ආදරය කරන්න, හමුවෙන්න හේතුවක් ඕනම ද? මට නම් හිතෙන්නේ ආදරයට හේතුකාරක ඕනම නැහැ කියලා. ගොඩක් වෙලාවට ආදරයෙදි හේතු හොයන පිරිස හැමදාම ජීවිතේ විඳවනවා කියලා වෙලාවක හිතෙනවා. ඔයාට ඕන ඔයාගේ ආදරේදී සතුටින් ඉන්න නම් හේතු හොයන් නැතුව ආදරය කරන්න. ඔයා ආදරේ කරන්න. හැබැයි ගොඩක් ළං නො වී ආදරේ කරන්න පුරුදු වෙන්න. හැම ළංවීමකම එහෙමත් නැත්නම් ආදරේදී හොයන හැම හේතුවකටම තියෙන්නේ බලාපොරොත්තුවක්. අපි ආදරේදී ගොඩගහගන්නේ බලාපොරොත්තු. ඒත් නො හිතපු වෙලාවක ඒ බලාපොරොත්තු කුඩු වුණාම ඔයාට මට ඒක දරාගන්න බැරි වෙනවා. එතකොට ඔයාට දැනෙන වේදනාව ලෝකේ කිසිම ඔසුවකට හොඳ කරන්න බැරි වෙනවා. ඔයාට පුළුවන් නම් බලාපොරොත්තුවීමක් නොමැතිව ආදරය කරන්න, අන්න ඒ දවසට කෙනෙක්ට ආදරය කරන්න ඔයාට හේතු ඕන වෙන්නෙත් නෑ.

සමහර ආදර කතා ළඟට අරන් අපේ කරන් ආදරය කරනවට වඩා ලස්සනයි ඒක දුර තියෙද්දි ආදරය කරනකොට. මොකද ඒ ආදරේ හැමදාම අලුත් වෙනවා. ඔයාට අලුතෙන් ජීවත් වෙන්න කියලා දෙනවා. ඔයා සියදහස් ආකාරයකින් ආදරය කරන්න පුරුදු වෙනවා. ඒ නිසාම ඔයාගේ ආදරේ සදාකාලික වෙනවා. ආදරේ සින්නක්කරව ලියාගන්න සමහරු අතරත් ඒ ආදරේ තියෙන්නේ පුංචි කාලයයි කියල මතක තියාගන්න.

ආදරේදී හේතු හොයනකොට ඔයාට වෙලාවක හිතෙයි හරියන්න හරි වැරදෙන්න හරි ඔයා ළඟ තියෙන හැමදේම අතහැරලා දෙයක් ලබාගන්න. කවුරු කොහොම පැහැදිලි කරත් ඔයා ඒ වෙලාවට තේරුම් ගන්න උත්සහ කරන එකක් නැහැ. ඔයා ඒ අවස්ථාව ගත්තට කමක් නැහැ කියල මමත් කියනවා.

හැබැයි ඒ අවස්ථාව හරිම වෙලාවෙදි ගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. මොකද මම දන්න විදියට ජීවිතේදි ආදරේ හරියට තෝරගන්න ඔයාට ලැබෙන්නේ එකම එක අවස්ථාවක් වෙන්න පුළුවන්.

ඔයාගේ ආදර කතාවේදි ජීවිතේ ඔයාට වෙනස් වෙනස් විදියට ආදරය උගන්වන, ජීවිතය උගන්වන අය ඔයාට මුණගස්සවයි. ඒ එහෙම මුණ ගැහෙන්නේ මේ විදියේ අයත් ඉන්නවා කියන්න මිසක් ඒ ආදරේට හේතු හොයන් යන්න නෙවෙයි. ආදරේ කොටු කරලා හේතු හොයන කොට ඔයාටත් නො දැනීම ඔයාගේ ආදරේ මඟහැරිලා තියේවි. ඒ නිසාම කොයිම වෙලාවකවත් ආදරේට හේතු හොයන්න යන්න එපා.

උපුලි පුන්සරා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: