කිරිසප්පයෝ බුරුතු පිටින් අපයෝජනයට ලක් කරන අසමජ්ජාති ෆේස්බුක් පිටුවක්

January 23, 2017 | 7:42 pm    0   600

කිරිසප්පයෝ බුරුතු පිටින් අපයෝජනයට ලක් කරන අසමජ්ජාති ෆේස්බුක් පිටුවක්

දිනය 2017.01.16 වනදා ය.. වෙනදා මෙන්ම කවි, කතා, ගොසිප්, නිව්ස් හතර අතේ එක එක විස්තර කැරකෙන බුකියේ රවුමක් ගහන්න ෆේස්බුක් එකට ලොග් වුණේ වෙනදා වගේම සැහැල්ලු හිතකින්. ඒත් ටිකක් බුකියේ උඩට පහලට යද්දි ඒ සැහැල්ලුව කුඩු කරන සිද්ධියක් එක්ක ගැට ගැහුණු පෝස්ට් දකින්න ලැබුණා..

දහම් පාසල් යන” පෙරපාසල් යන, දණගාලා යන්තම් අඩිය බිම ගහල හිටගන්න වෙරගන්න පුංචි කිරිසප්පයෝ බුරුතු පිටින් අපයෝජනයට ලක් කරන අසමජ්ජාති ෆේස්බුක් පිටුවක් අවලංගු කරන්න කියලා පෝස්ට් හතර අතේම හුවමාරු වෙනවා. සිද්ධිය හරියටම මොකද්ද කියල හොයන වගකීම පත්තරකාරයෙකුගේ වැඩක්. හැබැයි ඒ නිසාම නෙමෙයි ගෙදර ඉන්න, අල්ලපු ගෙදර ඉන්න, තමන්ගේ යාළුවගේ, හිතවතාගේ, අක්කගේ, අයියගේ, ඥාති හිතමිත්‍රාදීන්ගේ අහිංසක කිරිදරුවන්ව වගේම තමන්ගේ සහෝදරියගේ ෆොටෝ එකක් මේ කාලකණ්ණි ෆේස්බුක් පිටුවේ අමු අමුවේ කාලකණ්ණි තිරිසනුන් දූෂණය කරලා තියෙන්න පුළුවන්. ඒක නිසාම හිතේ දෙගිඩියාවෙන් මේ ගැන හොයන්න ගත්තා…
ලස්සන පොඩි කෙල්ලෝ, සාරි ළඳුන් නම් සඳහන් කළ නො හැකි තරමේ අප්‍රිය ජුගුප්සාජනක ෆේස්බුක් පේජ් තුළ කිරි දරුපැටියන් හොර රහසේ දූෂණය වෙමින් ඇති බව දිගින් දිගටම සොයා බැලීමේදී දැක ගන්නට ලැබිණි. තාක්ෂණයේ දියුණුව සමඟින් ඉදිරියට යාමට කතිකා කරන සමාජයක කිරිදරු පැටවුන් අමු අමුවේ කාමුක ලිංගික අපයෝජනයට ලක් කරමින් පළකර ඇති කමෙන්ට් දුටු විට දහම් දිවයිනේ ජීවත්වෙන මිනිසුන්ගේ පාපතර බිහිසුණු රහස් ලිංගික භීෂණය කෙතරම් ද යන්න ජීවිතය පවා කලකිරවමින් පරිගණක තිරය මත දිස්වෙමින් තිබිණ. අතිශය පිළිකුල් ය.

ලෝකයේ බිහිසුණුම ස්නේහයේ වේදනාවෙන් මෙලොවට දරුවන් බිහි කළ අම්මාවරුන් මේ ෆේස්බුක් පිටු තුළ අතිශය ඛේදනීය ලෙස දූෂණය වෙමින් තිබිණ… තවමත් එය එසේම ය…
ලාංකික තාරුණ්‍යය තුළ, ලාංකික මනුසත්කම් පිරි හදවත් තුළ මෙතරම් ලිංගික භීෂණයක් අප කිසිසේත් බලාපොරොත්තු වූවේවත් ඇතැයි කියා සිතුවේවත් නැත. එහෙත් එය සම්පූර්ණ වැරදි බව කිරිපැටව්න්ගේ ලේ බොන ෆේස්බුක් පිසාචාත්ම පසක් කර ඇත.

“ඔබගේ සහෝදරියන් ඡායාරූප එවන්න, හිතවතියගේ, මිතුරියගේ, පාරතොටේ මුණගැසෙන දකින කිරිසප්පයින්ගේ ෆොටෝ එවන්න… අම්මගේ නැන්දගේ පුංචිගේ ෆොටේ එවන්න…” ඉන් අනතුරුව තිබූ වචන මෙහි ලියා දැක්විය නො හැකි ය… මෙය ද ලිවිය යුතු නැත… නමුත් නො ලියූ කල ඔබට මෙහි බරපතලකම නො තේරෙන බව අප දනිමු…
ඇඟිලි තුඩක නො ගැටී ආදරය කරන මිනිසුන් මෙලොව තුළ සිටින බව අප තවමත් විශ්වාස කරන්නෙමු. එහෙත් යහපතට වඩා අයහපත මේ මොහොතේ සෑම හදවතක්ම බිලිගැනීමට බලා සිටින බව අමතක නො කළ යුතු ය…

වැදූ අම්මා කෙරෙහි ලිංගික භීෂණය ඉහවහා ගිය මිනිස් ශරීර සඳහා ඉන් එහා කිසිවකු අදාල වේද? ඔවුන්ගේ හදවත් මිනිස්කමකට විවෘත වේ ද?…
අන්තර්ජාලයේ ලිංගිත්වය කියන්නේ කීබෝඩ් එකේ බොත්තම් කිහිපයක දුරින් තියෙන ඩේටා මිල පමණක් ගෙවා ලබාගත හැකි බොහොම ලාභ පාරිභෝගික භාණ්ඩයක්. ලංකාව sex යන වචනය ගූගල් කර කප් ගහපු රටක්. ඒ වගේම වෙනත් රටවල්වල ලිංගික වින්දනය නීත්‍යානුකූලවම අන්තර්ජාලයට මුදා හරින්න පුළුවන්. ලංකාවේ අන්තර්ජාල භාවිතය තුළ යම් යම් සීමා පැනවී තිබුණත් නිල් චිත්‍රපට ඡායාරූප ඇතුළත් සමහර වෙබ් අඩවි අන්තර්ජාල සේවා සපයන්නන් හරහා වාරණයට ලක්කොට තිබුණත් තවමත් නිල් ලෝකය සම්පූර්ණයෙන්ම වාගේ ලංකාවට විවෘතයි. එපමණක් නොව නීත්‍යානුකූල නිල් ලෝකයට එහා ගිය සාපරාධී ලිංගික නිෂ්පාදන ඇති ච්ඥඥන එඥඡ කරා වුවත් ඒ පිළිබඳව දැනුම ඇත්තෙකුට ළඟා විය හැකි ය.

ඒ කියන්නේ ලංකාවේ සදාචාර රාමුව තුළ ඩිජිටල් ලිංගික වින්දනය බොහොම සාමාන්‍ය ප්‍රසිද්ධ රහසක්. නමුත් කලින් සඳහන් කළ පෝස්ට් එක නිසා බුකිය හෙල්ලී ගියා. ඒ එක්තරා ෆේස්බුක් පේජ් එකක් සම්බන්ධව, එහි තිබුණේ කුඩා ගැහැණු ළමයින්ගේ ඡායාරූප අසභ්‍ය කැප්ෂන් සමඟ ඒවාට වැටුණු කාමාශාවෙන් මැඩුණු කමෙන්ට්. ඩිජිටල් ලිංගික වින්දනය සාමාන්‍ය වුණු ලෝකයක වුවත් මෙය අසාමාන්‍ය, ජුගුප්සාජනක සහ භයානක සොයාගැනීමක් විය.

මේ පේජ් එක රිපෝට් කර බ්ලොක් කරන්න යන ඉල්ලීම ඇතුළත් පෝස්ට් බොහොම ඉක්මණින් ෂෙයාර් වෙන්න ගත්තා. රිපෝට් කරන්න යෝජනා වුණේ මේ විදියට.  I think it shouldn’t be on Facebook යන ඔප්ෂන් එක මුලින් තෝරාගෙන ඊට හේතුව විදියට Sexually explicit content තෝරාගත යුතුයි යන්න. මේ ආකාරයට රිපෝට් කළ අය ඒ ඒ පෝස්ට්වල තමා පේජය රිපෝට් කළ බව කමෙන්ට් කළා. මෙයත් වැදගත්. ඉන් මේ පණිවිඩය රැගත් පෝස්ට්  News feed එකේ ඉහළට යෑමත් මේ සඳහා ඉදිරිපත්වන්නන්ගේ උනන්දුවක් ප්‍රකාශවීමත් සිදුවෙනවා. එය බහුතරයක් අතරට පණිවිඩය ගෙන යෑමට ඉවහල් වුණා.

මෙම පෝස්ට්වලට වැටුණු කමෙන්ට් බහුතරයක් ඉල්ලා සිටියේ මෙහෙම දෙයක්. එක, පේජ් එක බ්ලොක් කළ යුතුයි. දෙක, පේජ් ඇඩ්මින්ලා නීතිය හමුවට පැමිණවිය යුතුයි. තුන, ඒ පේජයේ පෝස්ට්වලට අසභ්‍ය කමෙන්ට් කළවුන් ද නීතිය හමුවට පැමිණවිය යුතුයි. ඔබට පැහැදිළි ඇති, කමෙන්ට් කළවුන් ද නීතිය හමුවට පමුණුවන්නට යෝජනා වෙන්නට තරම් මේ පේජයේ අන්තර්ගතය කෙතරම් දරුණු වන්නට ඇත් ද? බහුතරයකට මෙය horror ඇත්දැකීමක්.

මේ කමෙන්ට් අතර මෙහෙම කමෙන්ට් එකක්, දෙකක් තිබුණා. “ළමයින්ට හොඳට ඇන්ඳුව නම් ඕවා වෙන්නේ නෑනේ”, “ළමයි ඉන්න ඕනේ ඇඟ හොඳට වහගෙන”. මේවාට ලැබුණු ප්‍රතිචාර ඔබට සිතාගත හැකියි.

සෝවියට් චිත්‍රපටකරුවෙකු වෙන ලෙම් කුලෙෂොව් එක්තරා පර්යේෂණයක් කරනවා. ඔහු නළුවෙකු ඉදිරිය බලාගෙන සිටින දර්ශනයක් සමඟ උණු සුප් බඳුනක්, මිනී පෙට්ටියක සිටින ගැහැණු ළමයෙක් සහ වැතිරී සිටින රූමත් ගැහැණු ළමයෙකුගේ දර්ශන සංස්කරණය කරනවා. දර්ශන පෙළ නරඹන ප්‍රේක්ෂකයින්ගෙන් ඔහු එක් එක් අවස්ථාව්දී නළුවාගේ මුහුණේ ඇති හැඟීම් මොනවාදැයි විමසනවා. ප්‍රේක්ෂක පිළිතුරුවලට අනුව පළමු දර්ශන පෙලේදී බඩගින්නත්, දෙවන දර්ශන පෙළේදී ශෝකයත්, තෙවන දර්ශන පෙලේදී ශෘෘංගාරයත් ඔහුගේ මුහුණින් පිළිඹිබු වෙනවා. නමුත් ඇත්තටම නළුවා හිටියේ එකම විදියට. ඔහු කිසිම හැඟීමක් ප්‍රකාශ කළේ නෑ. නමුත් ප්‍රේක්ෂකයාට ඇත්තටම සිදු කරන්නේ සංස්කරණය වන අනෙක් දර්ශනවලට අනුව ඔහුගේ මුහුණේ හැඟීම් හිතේ මවාගන්න එක.

අපිට මෙතනින් ඉතා වැදගත් දෙයක් වටහාගත හැකියි. උදාහරණයකට ඉතා සාමාන්‍ය කාන්තා ඡායාරූපයක් ගන්න. එය බුකියේ ඇගේ ප්‍රොෆයිලයේ දැකගන්නට ලැබුණා යැයි සිතන්න. එය පිළිබඳ බලන්නාගේ දැක්ම ඇගේ මිතුරන්, ඇගේ අනෙක් පෝස්ට් ආදිය මත තීරණය වෙනවා. ඒ ඇය පිළිබඳ ඉතා සාමාන්‍ය ආකාරය. නමුත් ඇගේ ඡායාරූපය අනවරසයෙන් අසභ්‍ය කැප්ෂන් එකක් සමඟ පළ වී ඇතැයි සිතන්න. මෙය දකින්නාට සිතෙන්නේ ඇගේ ඡායාරූපය අනවසරයෙන් ගෙන අපහාස්මකව පළ කර ඇත බව නෙවෙයි, බලන්නාට සිතෙන්නේ කැප්ෂන් එකේ සඳහන් කර ඇති ආකාරයට ඇය ලිංගික තෘප්තියක් ඉල්ලන බව. පර්යේෂණයත් සමඟ සමගාමීව බලන්න. දැන් ඇගේ සාමාන්‍ය ඡායාරූපය නරඹන්නාගේ ලිංගික භාණ්ඩයක් වී ඇති බව. කැප්ෂන් එකක් නැතත් අසභ්‍ය ඡායාරූප අඩංගු පේජයක ඇති සාමාන්‍ය කාන්තා රූපය දැකීමෙන් නරඹන්නා තීරණය කරන්නේ මැය ගණිකාවක්, බඩුවක්, සංසර්ගය ඉල්වන්නියක් බව. අප වටහාගත යුත්තේ මෙය සම්පූර්ණ මුලාවක් බව.

පිළිකුල් සහගත කාරණය මෙම ළමා අපචාරයන්ට අදාල පේජයේ තිබුණේ කුඩා ගැහැණු ළමයින්ගේ ඉතා සාමාන්‍ය ඡායාරූප වීම. නමුත් එක කැප්ෂන් එකකින් දහම් පාසල් ඇඳුමක් ඇඳ සිටින අවුරුදු හයක හතක ගැහැණු ළමයෙකු ඔවුන් ලිංගිකකරණය කර තිබුණා. එය පැහැදිළි වන්නේ ඒවාට ලැබී ඇති කමෙන්ට්වලින්, කමෙන්ට්කරුවෝ තම තමන්ගේ රහසිගත ෆැන්ටසි ඒ ඡායාරූප යට සඳහන් කර තිබිණි.

ඒ නිසා කවුරුහරි කියනවා නම් මේ ළමයින්ගේ ඇඳුම්වල වැරැද්දක් කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදි සාපරාධී අදහසක්. මොකද මේ ඡායාරූප ලිංගිකකරණය කර තිබුණේ පිටතිනි.
කෙසේ වුව ද පැය කිහිපයක් යනකොට මේ පේජ් එක හතරවටින්ම රිපෝට් වෙන්න ගත්තා. වෙනත් පේජ් සහ තනි තනි පුද්ගලයින් මේ පිළිබඳව දැනුවත් කිරීම් කරන්න පටන් ගත්තා. සෘජුව බුකියට පමණක් නොව සර්ට් ආයතනයට මේ පිළිබඳ පැමිණිලි කරන්නේ කෙසේ ද යන්න දුරකථන අංක ඊමේල් ලිපින සමඟින් ෂෙයාර් වෙන්න ගත්තා.

මෙම ලයික් කළවුන් සීයයට අනූපහක්ම ව්‍යාජ ප්‍රොෆයිල්වලින් සිටින්නන් බව පැහැදිළිව කියාපානවා. සමාජ ජාලයක ප්‍රොෆයිල් එකක් නිර්මාණය කරගැනීම එම සමාජ ජාලයේ ඉහළ මට්ටම, එනම් මිත්‍රත්වය, සමාජ-දේශපාලන කතිකාවට එක්වීම ආදියට පෙර හුදු ලිංගික අරමුණකින් සිදුකරන්නක්. ඉනික්බිතිවත් තම ලිංගික අරමුණෙන් සිටින්නට නම් ඔබට ව්‍යාජ ප්‍රොෆයිල් එකක් නිර්මාණය කරගැනීමට සිද්ධ වෙනවා. පේජ් එක වෙනුවෙන් අන්තිමට පාරට බැස්සේ මේ සුළුතරය.

කෞමාරකාමය ලෙස සිංහලෙන් හඳුන්වන Pedophilia යන්න ඇමරිකානු මනෝචිකිත්සක සංගමය (APA) විසින් 2013දී අවසන්වරට සංස්කරණය කළ අත්පොතේ (DSM) මනෝව්‍යාධි තත්ත්වයක් ලෙස වර්ග කර තිබෙනවා. ඒ නිසා මෙය අමුතුවෙන් තර්ක කළ යුතු දෙයක් නෙවෙයි. මේ පේජ් එකේ ඇඩ්මින්ලා, ලයික් කළවුන් සහ අසභ්‍ය කමෙන්ට් කළවුන් මානසික රෝගීන්, ප්‍රතිකාර ලැබිය යුතු මානසික රෝගීන්. මෙය කියවන ඔබ වැඩිවිය නො පැමිණි දරුවන් පිළිබඳ ලිංගික ආශාවන් තිබේ නම් එය සාමාන්‍ය තත්ත්වයක් නො වන බව වටහාගන්න වෙලාව හරි. ඔබ වහාම මනෝවෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගත යුතුයි.

පේජ් එක දරුණු ලෙස රිපෝට් වීමත් සමඟම පේජ් ඇඩ්මින්ලා පෝස්ට් අයින් කරන්නත් කවර්, ප්‍රොෆයිල් පික්චර් වෙනස් කරන්නත් පටන්ගන්නවා. පැය භාගයක් ඇතුළත ඒ පේජ් එකේ කිසිම ඡායාරූපයක් පෝස්ට් එකක් නෑ. ඔවුන් බලාපොරොත්තු වෙන්නේ පේජ් එක Block වීමෙන් වළක්වා ගන්න. නමුත් ඒ වනවිටත් විරෝධය උවමනාවටත් වඩා ලැබී අවසන්.
ඊට පසුදින පුවත්පත්වල වාර්තා වෙනවා ශ්‍රී ලංකා හදිසි පරිගණක ප්‍රතිචාර සංසදයට (CERT) ලැබුණු පැමිණිලි මත එක්තරා පේජයක් බුකියෙන් ඉවත් කළ බව. (හාස්‍යජනක කරුණ නම් CERT ආයතනය ‘හදිසි ප්‍රතිචාර’ පමණක් දැක්වීමයි. පරිශීලකයින් දහස් ගණනක් Facebook සමාජ ජාලයට පේජ් එකක් රිපෝට් කළ පසු එය ඉවත් කිරිමට අපට වෙනම ආයතනයක් අවශ්‍ය ද යන්න කල්පනා කර බැලිය යුතු ප්‍රශ්නයක්.)

ප්‍රශ්නය අවසන් ද? නැත. මෙය ලිංගික නැඹුරුතාවය දක්වන්නන් තාම නිදැල්ලේ. මෙයට මූලිකත්වය ගත් අය නීතියේ රැහැනට අහු කරගත්තත් ප්‍රශ්නය එතැනින් අවසන් නෑ. මෙවන් අසම්මත ආශාවන් මත තෘප්තිමත්වන්නන් ඕනෑ තරම් ඉන්නවා. අන්තර්ජාලය විශේෂයෙන්ම සමාජ ජාලා වෙබ් අඩවි මඟින් ඉතා පහසුවෙන් සිය අවශතාවයන් ඉටු කරගන්න ඔවුන්ට පුළුවන්. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය අන්තර්ජාල පහසුකම පමණකි. එහෙත් සමහරු යෝජනා කරන පරිදි සමාජ ජාලා වෙබ් අඩවි වසා දැමීම මීට විසඳුම නෙවෙයි. ඔබ අවධානයෙන් පසුවන්න. උදාහරණයකට තමන්ගේ ඡායාරූප Friends only තෝරාගැනීම යටතේ පළ කිරීමෙන් ආගන්තුකයින් අතට ඒවා පත්වීමෙන් වළක්වාගත හැකියි. නමුත් ඒවා ද පැලැස්තර විසඳුම් බව මෙම සිදුවීමෙන් පෙනෙයි. අවශ්‍යතාවය ඇති අයට ඕනෑම දෙයක් කළ හැකියි.

ඒ නිසා ඔබ ද හදිසි අවස්ථාවක බුද්ධිමත්ව ප්‍රතිචාර දැක්වීමට සූදානම්ව සිටිය යුතුයි.

කසුන් ගනේවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: