කුලේ තාම කරේ

March 29, 2017 | 1:00 pm    0   301

කුලේ තාම කරේ

හැමදාම ෆේස්බුක් පිටු අතරේ නා නා ප්‍රකාරයේ කතා මවන මාතෘකාවන් අස්සේ පසුගිය සතියේ නිහඬ කතාවකට ලක්වුණු වීඩියෝවක් හැංගි හොරා කිහිපදෙනෙක් අතරේ පමණක් ෂෙයාර් වුණා. හුඟ දෙනෙක්ගේ නෙත නොගැටුණු මේ වීඩියෝවට අදාල සිදුවීම සිදුවන්නේ 18,19 සියවස්වල නෙවෙයි, තාක්ෂණයේ දියුණුවත් සමඟම මනුෂ්‍ය විඥානයේද පැහැදිලි දියුණුවක් සිදුව ඇති බවට විශ්වාස කරන 21වන සියවසයේදීය. මනුෂ්‍ය වර්ගයා චාල්ස් ඩාවින්ගේ පරිණාමවාදයේ පළවෙනි පුරුක යැයි කියූ වානරයන්ටත් වඩා බුද්ධි මට්ටම් කිහිපයක් පහළින් සිටින බවට මේ වීඩියෝව හොඳින් සාක්ෂි දරනවා. ඉන්දියාවේ උසස් කුලවාදීන් විසින් පහත් කුලයේ යැයි හංවඩු ගැසූ කාන්තාවන් දෙදෙනෙකුට ඇඟේ නූල් පොටක්වත් නොමැතිව නිරුවත් කොට ගමක් පිරුණු සෙනඟ මැද්දේ සිහි විකල්වන තරමටම ඔවුන්ව තලා පෙළා දැමුවේ ඇයි… උසස් කුලයට අයත් වශයෙන් නම් කර තිබූ ගමක පොදුවේ සියලු දෙනාටම පාවිච්චියට වෙන් කර තිබූ පයිප්පයකින් අසල්වැසි පහත් කුලයේ යැයි වෙන්කර තිබූ ගමකින් කාන්තාවන් දෙදෙනෙකු බීමට වතුර කළයක් ගැනීම මේ අමානුෂික පහර දීමට හේතුවයි. ආත්මයම හංවඩු ගැසූ කුල හීනයෙක් වීම පමණක් නොව මනුෂ්‍ය ආත්මයක ඉපදීම පවා කරුමයක් වශයෙන් සිතන මෙවැනි අහිංසක ජනතාවක් ගෙවෙන මොහොතක් මොහොතක් ගානේ කඳුලින් සහ ජීවතයෙන් වන්දි ගෙවමින් සිටියි. වර්තමානයේ ඉන්දියානු කුල ගැටුමේ ස්වරෑපයයි මේ. ඉන්දියාවේ කුල ක්‍රමය අතිශය ප්‍රබලව ක්‍රියාත්මක වන රටක් වශයෙන් අලුතින් හඳුන්වාදීමක් සිදුකිරීමට අවශ්‍ය නොවන තරම්. නමුත් එම සිදුවීම මුල්කරගත් මේ ලිපිය හුදු ලියවිල්ලක් පමණක් නොවෙයි. කිනම් ජාතියක වුණත් ජාතියක් වශයෙන් දෙපයින් සිටගැනීමට වෙර දැරූ මානව ශිෂ්ටාචාරයේ දරුණු ඛේදවාචකයක් සහ මුළු ලෝකයාගෙම වසර ගණනක අ‍ෙ¼දා්නාවක් ගැනයි මේ කියන්නේ.
කුලය කියන කාරණය පුහු මතයක් බවට සමාජයේ පත්ව තිබෙනවා යැයි හිතන කාල වකවානුවක මෙවැනි මාතෘකාවක් පිළිබඳව මොනවට කතා වෙනවද යනුවෙන් කෙනෙක්ට හිතෙන්නට පුළුවන්. කිනම් ආගමක වුණත් සියලු මනුෂ්‍යයෝ එක සමාන ආකාරයෙන් සැලකුම් ලැබිය යුතු යැයි ප්‍රකාශ කර තිබුණත් ප්‍රායෝගිකව එය කොයිතරම් දුරට වලංගු වනවාද යන්න ආගමෙන්-ආගමට, ජාතියෙන්-ජාතියට ප්‍රශ්න කළ යුතු කාලය එළඹ තිබෙන නිසා මේ ගැන කතා බහ කාලෝචිතම විය යුතු නැත. කුලය නැමැති සාධකය ලෝකයේ විවිධ සංස්කෘතීන්ට පොදු අන්තර් සංස්කෘතික ලක්ෂණයක් වුණත් කුලය සමාජ ස්ථරයක් වශයෙන් මතු වී පසුකාලීනව සමාජ අවශ්‍යතාවයක් මත සමාජය විසින්ම මේ දක්වාත් සහ ඉදිරියටත් පවත්වාගෙන යන ඛේදවාචකයක් වශයෙන් අර්ථ හැඳින්වුවහොත් එය නිවැරැදියි.
ඉතිහාසයේ පටන්ම මුලු ඉන්දියාවම පාලනය වුණේ කුලය පදනම් කරගෙනය. ඉන්දීය කුලීනයෝ පහළ කුලවල ජනයා පීඩාවට පත් කරමින් ඔවුන්ගේ ලේ කඳුළු දහඩියෙන් මුදල් උපයයි.15%ක්වන ඉහළ කුලයේ හින්දුන් එරට ධනය, බලය, අධ්‍යාපනය, පොලීසිය, සිවිල් පරිපාලනය වැනි සියලු අංශ පාලනය කරයි. මාධ්‍ය ආයතනවල 99% ක් මෙන්ම අධිකරණ පද්ධතියද සම්පූර්ණයෙන්ම පාලනය වන්නේ ඉහළ කුලයේ අයගෙන්ය. අවුරුදු තුන්දහස් ගණනක් තිස්සේ පැවති මේ තත්ත්වයට එරෙහිව මාවෝවාදීන් සහ ගෝත්‍රිකයන් සටන් කිරීමට පටන් ගැනීමත් සමඟම මේ තත්ත්වය තවදුරටත් වැඩි වර්ධනය වන්නට පටන් ගැණුනි.
සංඛ්‍යා ලේඛනවලට අනුව ඉන්දියාවේ පහත් කුලවලට අයත් ජනතාව මිලියන 180-200 ක ප්‍රමාණයක් සිටින අතර එයින් මිලියන 40ක පමණ ජනතාව අතිශය කටුක කම්කරු වෘත්තීන්වල නියැලෙන අයයි. ඉන්දියාවේ පවතින මේ කුල ක්‍රමය චතුර්විධි වර්ණ වශයෙන් හඳුන්වනු ලබනවා. ඉන්දියාවේ උසස් කුලවල ජනතාව අතර මුල්බැසගෙන තිබෙන පරම විශ්වාසය වන්නේ පහත් කුලවල ජනතාව දැකීමෙන් පවා ඔවුන්ගේ තත්ත්වයේ කෙලෙසීමක් ඇති වන බව හා ඔවුන් සමඟ සම්බන්ධ වීමෙන් ඊළඟ ආත්මයේදී අඩු කුලයක ඉපදෙන්නට ඔවුන්ට සිදු වන බවයි.
ඉන්දියාවේ මේ කුල ගැටුම කොතරම්ද කියනවනම් එය දැන් ඉන්දීය දේශපාලන වේදිකාවට පවා පැමිණ තිබෙනවා. වර්තමාන ඉන්දියානු අගමැති, භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝඩි දිනක් උත්තර ප්‍රදේශයේ ප්‍රාන්ත රැලියක් අමතමින් කියා සිටියේ තමා පහළ කුලයක ඉපදුණු පුද්ගලයෙක් බව සැඟවිය නොහැකි බව සහ එය අපරාධයක්ද යන්න ඔහු ප්‍රසිද්ධ වේදිකාවේ ප්‍රශ්න කරනු ලබනවා. ඉන්දීය දේශපාලකයෙක්, දේශපාලන වේදිකාවට කුල ප්‍රශ්නය නග්ගවන්නට තරම් පසුබට නොවන්නේ කුලය ගැන ප්‍රකාශ කරමින් බ්‍රාහ්මණ ඡන්ද නොව පහළ කුලවල ජනතාවගේ ඡන්ද තම පක්ෂය වෙත අද්දවා ගැනීම අරමුණු කර ගනිමින් බව සරල සත්‍යයක්.
මෙතරම් දියුණු ඉන්දියාවට ලෝක බලවතෙකු වීමට ඇති ප්‍රධානතම බාධකයත් මේ කුල ක්‍රමයයි. ඉන්දියාවට නිදහස ලබා වසර 69 ක් ගෙවී ගොස් ඇතත් මේ කුල ක්‍රමය නිසා පීඩිත ජනයාට සිදුවන අසාධාරණය ඉවත් කිරීමට මෙතෙක් කිසිවෙකුටත් පුළුවන් වුණේ නැහැ. ඉන්දීය ව්‍යවස්ථාව නිර්මාණය කළ ආචාර්ය අම්බෙඩ්කාර් ද කුලහීනයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් කිසිදු වගන්තියක් ව්‍යවස්ථාවට ඇතුලත් නොකිරීම මඟින්ද ඔවුන්ට සිදු කර ඇත්තේ විශාල අපරාධයකි.
කුල ගැටුමේ ප්‍රධාන ලක්ෂණ 3, තම කුලයෙන් පිටත්සර කුලයක ආවාහ විවාහ කටයුතුවලින් වැළකී සිටීම, කුලයේ උසස් පහත් වශයෙන් බෙදීමක් තිබීම සහ වෘත්තිමය වශයෙන් කුලය විභේදනය වී තිබීම ආදියයි. මේ අතරින් ඉන්දියාවේ කුල ක්‍රමයට වඩා තදින් බලපෑම් කරන්නේ විවාහ සම්ප්‍රදායන්ය. අඩු කුලයක ජනතාවට ඉහළ කුලයේ කාන්තාවක් හෝ පිරිමියෙක් සමඟ විවාහ විය නොහැක. ලංකාව තුලත් කුල ක්‍රමයේ ලක්ෂණ බහුල වශයෙන් දැකගත හැකි වන්නේ විවාහ සහ මගුල් තුලා කටයුතු වලදී ය. ලංකාවේ සහ ඉන්දියාවේ දේශපාලනය තුලත් කුලවාදය අළුයට ගිනි වගේ සැඟවී ඇති බවත් කිව යුතුයි. ඉන්දියාවේ රජයේ රැකියාවන් ලබා දීම පවා කුල ක්‍රමය මත පදනම් වී ඇති බව බොහෝ දෙනෙක් නොදන්නා සත්‍යයක්.
පසුගිය අවුරුද්ද කියන්නේ ඉන්දියාවේ කුල ගැටුම් හේතුවෙන් මෑත කාලයේ සෝචනීය පුවත් විශාල වශයෙන් වාර්තා කරන වසරක්. කුල ගෞරවය වෙනුවෙන් අහිංසක ඉන්දියානු පෙම් යුවළක් පහරදී මරා දැමීමේ පුවත මේ අතරින් විශේෂයි. පවුලේ කුල ගෞරවය වෙනුවෙන් සෑම වසරකම දහසකට අධික ගැහැණු, පිරිමි සංඛ්‍යාවක් ඉන්දියාවේ මරා දමනු ලබනවා. මෙවැනි ඝාතන සිදු වන්නේද මරණයට පත්වන උදවියගේ දෙමව්පියන් සහ ඥාතීන් අතින්ම වීම සෝචනීයයි.
ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ 23 හැවිරිදි තරුණයෙකු සහ ඔහුගේ 20 හැවිරිදි පෙම්වතිය ඝාතනයට ලක් වන්නේ තරුණියගේ පියාගේ සහ ඥාතීන්ගේ අතින්මය. මේ යුවල ජට් කුලයට අයත් උප කණ්ඩායමක් වන ගෝත්‍ර කුලයට අයත් දෙදෙනෙකි. එම කුලයෙන්ම දෙදෙනෙකු විවාහ වීම සාපයක් ලෙස සලකන මේ කුලයේ ප්‍රධානීන් මේ ඊනියා කුල ප්‍රශ්නයට ඔවුන්ට ලබාදෙන දඬුවම වන්නේ මරණයයි.
ඊනියා කුල ප්‍රශ්නයේ ඛේදවාචකය හොඳින් හැඳිනූ මේ යුවල තමන්ගේ ගම්මානයට සැතපුම් 40ක් අෑතින් පිහිටි දිල්ලිය වෙත පැන යන්නේ විවාහයෙන් පසු මේ ප්‍රශ්නයට කොහෙන් හෝ විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙනි. නමුත් වෙනත් කිසිවෙකුගෙන් නොව පණට පණ දී හැදූ වැඩූ දෙමව්පියන්ගේ ආරාධනාවකට අනුව යම් බලාපොරොත්තුවක් හිතේ දල්වා ගනිමින් නැවත ඔවුන් ගමට පැමිණෙන්නේ තමන්ගේ ජීවිතයට සහ විවාහයට කිසිදු බාධාවක් එල්ල නොවෙයි යන දැඩි විශ්වාසයෙනි. නමුත් යලි ගමට පැමිණි මේ යුවළට සිදු වූයේ කුමක්ද…තම දෙමව්පියන් විසින්ම අමානුෂික ලෙස තම දියණිය තලා පෙලා ඝාතනය කරන විට තරුණයාට අත්වන්නේ එයට වඩා ඛේදනීය මරණයකි. ඔහු ඝාතනයට ලක් වන්නේ අත පය කඩා, බෙල්ල කපා දමා ය. එම ගම්මානයේ වැඩිහිටියන් යැයි සැළකෙන පිරිසකගෙන් සැදුම්ලත් වරිග සභාව විසින් මේ යුවළ කෘෘර අන්දමින් ඝාතනයට තීරණය කරනු ලබයි. එය එක් සිදුවීමක් පමණි. 2016 වසරේ මේ ප්‍රාන්තයෙන්ම පවතින දරුණු කුල ගැටුම් හේතුවෙන් පුද්ගලයන් 19 දෙනෙකු එකවර මිය යන අතර 200කට වැඩි පිරිසක් තුවාල ලබයි.
ඉකුත් වසරේ තවත් දිනක නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයෙන් මීට හාත්පසින්ම වෙනස් වූ පුවතක් වාර්තා වුණි. 42 හැවරිදි තම බිරිඳ ක්ෂය රෝගයෙන් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් රෝහලේ සිට නිවස දක්වා තම බිරිඳගේ මළ සිරුර රැගෙන ඒමට ගිලන් රථයක් හෝ වෙනත් වාහනයක් සොයා ගැනීමට නොහැකි වූ අඩු කුලයේ යැයි කියූ සැමියාට කිලෝමීටර් 60ක් පමණ සිය බිරිඳගේ මළ සිරුර රෙදිවලින් ඔතා කරේ තබාගෙන පැමිණෙන්නට නියමිතව තිබුණා. ඒ වන විටත් පා ගමනින් කිලෝමීටර 12ක් පැමිණි ඔහු සහ ඔහුගේ 12 හැවරිදි දියණිය යම් ඉන්දීය මාධ්‍ය නාලිකාවකින් ප්‍රචාරය කිරීමෙන් අනතුරුව ප්‍රාන්ත සෞඛ්‍ය සේවාව මඟින් ඔවුන්ට අවශ්‍ය කරන ගමන් පහසුකම සලසා දීමට කටයුතු කර තිබෙනවා. එකිනෙකට විස්තර කළ නොහැකි මෙවැනි සිදුවීම් තවත් බොහෝමයක් තිබේ.
අද වනවිට ආර්ථික සහ දේශපාලනමය වශයෙන් දියුණු යැයි සැළකෙන රටවල පවා මේ කුල ක්‍රමයේ බීජයන් අඩු වැඩි වශයෙන් වැඩෙමින්, ව්‍යාප්ත වෙමින් තිබෙනවා. ට්තධඡචත ර්චණධපඪබර ඡ් බ්ධභපදචත  සඟරාවට ලිපියක් සම්පාදනය කරමින් ජැස්මින් රාවෝ නැමැති පර්යේෂිකාව පවසන්නේ කුල ක්‍රමය යල් පැන ගිය පැරණි සංකල්පයක් වශයෙන් සැලකුණත් එහි ඇතැම් ශේෂ ලක්ෂණ අදටත් දකුණු ආසියානු රටවල සහ ලෝකයේ බොහෝ රටවල ඉතිරිව තිබෙනු දැකිය හැකි බවයි.
වර්තමානයේ මැදපෙරදිග කලාපයේ මුස්ලිම් ජාතිකයන් අතරේ සුන්නි -ෂියා ඉස්ලාමික නිකාය භේදය උග්‍ර අතට පත්වී ඇත. ලෝකයේ සිටින මුස්ලිම්වරුන්ගෙන් බහුතරයක් සුන්නි නිකායිකයන් වන නමුත් ඉරානය, ඉරාකය, බහරේනය යන රටවල බහුතරයක් වැසියන් ෂියා ලබ්ධිකයින් වේ. මේ නිකාය ගැටුමද කිසිදා කෙළවර නොවන මානයක පවතී. එපමණක් නොව පාකිස්ථානය, නේපාලය වැනි රටවල පවතින කුල ගැටුම් හේතුවෙන් සිදු වන ජීවිත හානි ගැණිය නොහැකි තරම්ය. ජපානය වැනි දියුණු රටක පවා ප්‍රධාන වශයෙන් සමුරායිවරුන්, ගොවීන්, කම්කරුවන් හා වෙළඳ වශයෙන් ප්‍රධාන කුල 4කට බෙදී සිටී.
ලංකාවේ ද පහළ වූ ඉතාම කටුක ගැටුම් පැන නැගුනේ ජනවර්ග අතර නොව කුල අතර යැයි කීම නිවරැදියි. දරුණුතම කුල ගැටුම් පවතින අසල්වැසි ඉන්දියාවෙන් අපට මෙය දායාද කරන ලද දෙයක් වුණත් ඒ රටේ කුල ක්‍රමය පැන නැගුනේ ආගමික මූලයන් නිසාය. නමුත් ලංකාවේ කුල ක්‍රමයට පදනම් වී ඇත්තේ රැකියාවේ ස්වභාවයයි. එනම් කෘෂිකර්මාන්තයේ නිරත වූවන් උසස් කුල වශයෙනුත් කෘෂිකර්මාන්තයේ නියැලුනේ නැති අය හීන හෙවත් පහත් කුලයේ අය වශයෙනුත් සැලකුම් ලැබූහ. රොබට් නොක්ස්ගේ ලේඛනවලට අනුව ලංකාවේ කුල ගණන 12ක් වුණත් ජනවංශයට අනුව එය 26කි. ලංකාවේ යුද්ධය වනාහී එක පැත්තකින් දෙමළ කුල ක්‍රමය නිසා දුප්පත්කමෙන් අන්ත පීඩාවට පත් වූ නූගත් අසරණයන්ගේ කැරැල්ලකි. දකුණු ඉන්දියානු සම්භවයක් සහිත දෙමළ ජාතියේ වෙල්ලාල ඉහළ කුලවල උදවිය එය වෙනත් ජාතියක වෛරයක් බවට හරවන්නට තරම් බලසම්පන්න සහ කුරිරු වුණු නිසා වසර ගණනක, දහස් ගණනින් ජීවිත අහිමි කළ යුද්ධය  අපේ රටටත් කළේ එසේ මෙසේ හානියක් නෙවෙයි.
ලංකාව අවුරුදු දෙදහස් ගණනක් ඉතිහාසයේ පටන්ම ආගමික වටපිටාවක් තුල ගොඩනැගෙන සමාජයකට හිමිකම් කිව්වත් කුලය පිළිබඳ පාරම්පරික අදහස්, ආකල්ප, මතවාද වෙනස් කරගෙන තිබෙන්නේ තවමත් අඩුවෙනි. ඩී.ඇස් සේනානයක විසින් නිදහසින් පසුව ලංකාවේ පිහිට වූ මුල්ම ජනපද කිහිපයෙහි වාසය කළ අඩු කුලයේ යැයි සැලකුණු මිනිසුන්ට ගමේ පාසලේදී, පන්සලේදී, පාරෙදි විඳින්නට සිදු වූ දුක් ගැහැට වචනයෙන් විස්තර කළ නොහැක. ඉන්දියාවේ තරමටම දරුණු නොවුණත් ලංකාවේ වුණත් යම් යම් අවස්ථාවන්වලදී කුල ක්‍රමය දරුණු බලපෑම් එල්ල කළ අවස්ථා නැතුවම නොවෙයි.
මෙවැනි සමාජ බෙදීම් පිළිබඳ නිහඬ, අවමන් සහගත ආකල්පවල මුදුන් මුල් තවමත් සමාජයේ මුල්බැසගෙන ඇති බව සැබෑය. නමුත් වර්තමානය සහ අනාගතය මේ දෙස බැලිය යුත්තේ ජීවිතයත්- මනුෂ්‍යත්වයත් අතර පවතින මානුෂීය සම්බන්ධයේ නාමයෙන් බව මතක් කළ යුතුය.
එෆ්. ෂර්මිලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: