කොල්ලන් සහ කෙල්ලන් 25000ක් ජවිපෙට එයි

March 13, 2017 | 1:00 pm    0   416

කොල්ලන් සහ කෙල්ලන් 25000ක් ජවිපෙට එයි

ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන සමාජිකයන් ලෙස තරුණ තරුණියන් දසදහසක් එකතු වී තිබේ. පසුගිය ජනවාරී මාසයේ සිට මේ දක්වා සිදු කරන ලද පක්‍ෂය නැවත සංවිධානය කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනත් සමඟ මෙම නවක කාඩර්වරුන් පක්‍ෂය සමඟ එකතු වූ බව සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, එරංග ගුණසේකර හෙළි කළේය. 2020 බල පෙරළියේ නියමුවන් ලෙස ජනතා විමුක්ති පෙරමුණ ගොඩනගනු ලබන ජන බලය ගොඩනැගීමේ හා සංවිධානය කිරීමේ කාර්ය මෙම කාඩර්වරුන් හරහා සිදු කිරීමට නියමිතය.

මෙරට ඉතිහාසයේ සිදු වූ ප්‍රබලම තරුණ කැරලි දෙකෙහි නායකත්වය මෙම කාඩර්වරුන් ඉසිලු අතර පක්‍ෂයේ ජනප්‍රිය තලයෙන් අෑත් වී යටි බිම්ගත දේශපාලනය මෙම කාඩර්වරුන් හරහා අතීතයේදී සිදු විය. වර්තමානයේදී පක්‍ෂය රැක ගැනීමේ හා ගොඩනැංවීමේ බුද්ධිමය හා ක්‍රියාකාරී දැවැන්ත කාර්ය මෙම කාඩර්වරු හරහා සිදු වෙමින් ඇති බව වාර්තා වේ.

රෝහණ විජේවීර ජනතා විමුත්කි පෙරමුණෙහි මූලාරම්භය ලබාගත්තේ මෙම කාඩර්වරු නැතහොත් වෘත්තීය විප්ලවවාදීන් නිර්මාණය කිරීමෙනි. සමාජවාදී රාජ්‍යයක් උදෙසා ජනතාව එක් රැස් කිරීමට ජනතාව අතර සිටිමින් ජනතාවගෙන් යැපෙමින් ජනතාව පෙළ ගස්වනු ලබන කාර්ය භාරය සිදු කරණු ලබන්නේ මෙම කාඩර්වරුන්ය. 1971 සහ 1989 තරුණ කැරලි දෙකෙහි ප්‍රධාන කාර්ය භාරය සිදුවන්නේ මෙම කාඩර්වරුන් හරහාය.

විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ අධ්‍යාපන අංශය සම්පූර්ණයෙන්ම මෙහෙයවීම හා ක්‍රියාත්මක වීම මෙම පූර්ණකාලීන සමාජිකයින් නොහොත්  වෘත්තීය විප්ලවවාදීන් විසින් සිදු කරනු ලබයි.
නිවන් මඟ සොයා ගිහි ගෙය හැර යන්නාක් මෙන් මෙම කාඩර්වරුන් ලෙස පක්‍ෂයට එකතුවන සියලු දෙනා තම ලෞකික සියලු සැපසම්පත් හැර පියා පක්‍ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙනු ලබයි.
ජනතා විමුක්ති පෙරමුණේ මුල්කාලීන කාඩර්වරුන්ගේ හා වර්තමානයේ කාඩර්වරුන්ගේ වගකීම් හා ක්‍රියාපටිපාටියෙහි විශාල වෙනස්කම් සිදු නොවුණද පවතින සමාජ ආර්ථික දේශපාලන තත්ත්වයන් හා තාක්‍ෂණයේ දියුණු භාවිතය සමඟ යම් යම් වෙනස්කම් සිදු වී ඇත.
මුල්කාලයේදී පක්‍ෂයේ අපේක්‍ෂිත සමාජිකයෙක් ලෙස සම්බන්ධ කරගනු ලබන පුද්ගලයෙක් විශේෂයෙන්ම ධුරාවලිය පෙරළිය අනුව ක්‍රියාකිරීමට සිදුවනු ඇත. ඒ අනුව වෘත්තීය විප්ලවවාදියෙකු ලෙස පක්‍ෂයේ පූර්ණකාලීනව කටයුතු කිරීමට ඉඩකඩ සැලසේ. අපේක්‍ෂිත සමාජිකයෙකු ලෙස බැඳී අනතුරුව පක්‍ෂයේ අධ්‍යාපන අංශය පවත්වනු ලබන පංති පහ සඳහා සහභාගී කර ගන්නා අතර අනතුරුව පක්‍ෂයේ ශිෂ්‍ය කමිටු, කම්කරු කමිටු, තරුණ, ගොවි ආදි වූ විවිධ ක්‍ෂේත්‍රයන්ට අදාලව කටයුතු කිරීම සඳහා යොමු කරනු ලබයි. එහිදි පක්‍ෂය මඟින් පවත්වනු ලබන රහසිගත අධ්‍යාපන කඳවුරු ස¼දහා පිරිස් තොරා ගැනීම සිදු කරනු ලබයි. ඒ අනුව දිස්ත්‍රික් කමිටු නිලධාරීන් අදාල කඳවුරු සඳහා තෝරා ගත යුතු අයවලුන් තෝරාගනු ලබන අතර එහිදී රහසිගත ආයතන කඳවුරු සඳහා ඔවුන් යොමු කරනු ලබයි.

දින පහ, හත සහ දාහතර වනසේ පවත්වනු ලබන කඳවුරු තුළ ඉතාමත් රහසිගතව සමාජවාදය, දර්ශනය, ආර්ථිකය ආදි වූ විශාල ක්‍ෂේත්‍රයන් පිළිබඳව අතිවිශාල දැනුම් සම්භාරයක් මෙම කඳවුර තුළ ලබාදෙයි. විශ්වවිද්‍යාල තුළ වසර තුනක් පුරා ලබා දෙන අධ්‍යාපනය මෙම කඳවුරක් තුළදි ඉතා කෙටි කාලයක් කැටිකොට ලබාදෙන බව කඳවුරුවලට එදවස සහභාගී වූවන් සඳහන් කරයි.
තවද මහජන සම්බන්ධතා, කථිකත්වය ආදිය ද පුරුදු පුහුණු කිරීමෙන් අනතුරුව එහි හොඳම පිරිස් අධ්‍යාපන අංශයන්ට බඳවා ගන්නා අතර ඔවුන් දිවයිනේ වෙනත් ප්‍රදේශවල මෙවැනි කඳවුරු පැවැත්විය යුතුය. අනෙක් අය සඳහා පක්‍ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් අනුව විවිධ ප්‍රදේශවලට වගකීම් භාර දෙනු ලබයි.

කාලයෙන් කාලයට මෙම කාඩර්වරු විවිධ අංශවලට මාරු කරමින් විවිධ ප්‍රදේශවල යොදවමින් ඔවුන්ට එම විවිධ ක්‍ෂේත්‍රවල අත්දැකීම් ලබා දෙන අතර කාලයෙන් කාලයට අධ්‍යාපන කඳවුරු සඳහාද යොමු කරනු ලබයි.
ජ.වි.පෙ දෙවන කැරැල්ලෙන් පසුව මෙම කාඩර්වරු බිහිකිරීමේ වැඩකටයුතු අඩාල වුවද, 2020 බල පෙරළියක් ඉලක්ක කරගනිමින් එය වෙනස් ආකාරයකින් තරුණ ජවය එකතු කිරීමේ වැඩසටහනක් ලෙස ආරම්භ කර ඇත.
මුල්කාලීනව කාඩර්වරුන් අතිශය කටුක ක්‍රියාන්විතවල යෙදුනද වර්තමානවේ එය වෙනස්ව ඇත. පක්‍ෂයද මේ වන විට වෙනස් ආකාරයකින් ජනතාව ආමන්ත්‍රණය කරමින් ඇති අතර වත්මන් නවීන ලෝකයත් සමඟ අත් වැල් බැඳගනිමින් වෙනස් ගමන් මගක ගමන් කරනු දැකිය හැකිය.
මේ තත්ත්වයන් යටතේ මේ වනවිට වසරේ පසුගිය මාස දෙකෙහි ක්‍රියාත්මක කළ වැඩසටහන් අනුව 25,000කට ආසන්න තරුණ තරුණියන් පිරිසක් ජනතා විමුක්ති පෙරමුණේ තරුණ සංගමය වන සමාජවාදී තරුණ සංගමය සමඟ එක්වී ඇති අතර එහිදි වෘත්තීය විප්ලවවාදීන් ලෙස දස දහසකට ආසන්න පිරිසක් කටයුතු කිරීමට එක් වී ඇත.

රටෙහි පවතින වත්මන් ආර්ථික, දේශපාලන සමාජ විෂමතාවයන් විසඳීමට සහ එම ගැටළුවලට එරෙහි වෙමින් තරුණ කොටස් විකල්ප දේශපාලන මඟකට පෙළ ගස්වමින් යම්කිසි නව ප්‍රවණතාවයක්  ජනතා විමුක්ති පෙරමුණ පෙන්වනු ලැබූවද, ගැටළු ජය ගැනීම සඳහා නව චින්තනීය ක්‍රම භාවිතා කරනු දැකිය නොහැකිය. එය ජයගැනීම සඳහා කටයුතු කරන්නේ නම් ජ.වි.පෙට මීට වඩා දැවැන්ත ගමනක් යා හැකි වනු නියතය.

කසුන් ගනේවත්ත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: