කොළඹ ඉස්කෝල ඇයි පිස්සු නටන්නේ..

March 29, 2017 | 12:00 pm    0   491

කොළඹ ඉස්කෝල ඇයි පිස්සු නටන්නේ..

ලංකාවේ ජීවත් වෙන කොයි කවුරුත් නිතර අසා ඇති කියමනක් ඇත. ඒ කොළඹට කිරි ගමට කැකිරි යන්නය. කොළඹට කිරි වන්නටත් ගමට කැකිරි වන්නටත් හේතුවක් ඇත. කොළඹ අපේ අග නගරය වන නිසාම කොළඹ සියලු සැප පහසුකම් ඇත. ඒ නිසාම කොළඹට කිරි ලැබෙද්දි ගමට කැකිරි ලැබෙන බව බොහෝ දෙනෙකු දන්නා දෙයකි. වැඩි සැප පහසුකම් සහිත බොහෝ දේ අතර කොළඹ අධ්‍යාපන රටාව ද ගොඩනැඟීී ඇත්තේ පහසුකම් බොහෝමයක් සහිතවය. ඒ නිසාම ලංකාවේ ජනප්‍රියම පාසල් සියල්ල කේන්ද්‍රගතව ඇත්තේ කොළඹ අවටය.
එය කෙතරම් ද යත් මේ පාසල් තුළ සියලු පහසුකම් ඇත. ඉස්තරම් ගණයේ පිහිණුම් තටාකද, ටෙනිස් පිට්ටනිද, නවීන පහසුකම් සහිත විද්‍යාගාරද ඇත්තේ කොළඹ පාසල්වලය. මේ සඳහන් කළේ කොළඹ පාසල්වල පවතින පහසුකම්වලින් සුළු කොටසක් පමණි. සැබවින්ම කොළඹ පාසල් තුළ තව බොහෝ පහසුකම් ඇත. ඒ නිසාම කොළඹ පාසල්වල කීර්තිය ලංකාව පුරාම පැතිර යද්දි කොළඹ පාසල් තුළ අධ්‍යාපනය ලබන්නට බොහෝ දෙනා අතර ඇත්තේ අති විශාල තරගයකි. එහෙත් ගමේ ගොඩේ පාසල් තුළ මේ කිසිවක් ඇත්තේ නැත. නවීන පහසුකම් සහිත විද්‍යාගාර හෝ පිහිනුම් තටාක කොළඹින් පිට පාසල් තුළ තිබෙනවා නම් ඒ ඇත්තේ අතොලොස්සක තරම් ප්‍රමාණයකය. ඒ නිසාම කොළඹින් පිට නගර තුළ පිහිටා ඇති පාසල්වලට ඇතුළත් වන්නට කොළඹ පාසල් තරමට තරගයක් නැත. කොළඹ අපේ අග නගරය නිසාම කොළඹ අවට සියලු පහසුකම් ඇති බව අපි හොඳින් දන්නෙමු. ඒ නිසාම සුපිරි වෙළඳසැල්ද අගනා ආහාර සහිත සුපිරි ගණයේ හෝටල්ද ඇත්තේ කොළඹය. ඒ නිසාම කොළඹ දරුවන්ට ගමේ දරුවන්ට මෙන් කොස්-පොලොස් කන්නට අවශ්‍ය වන්නේ නැත. පිහිනීම ඉගෙනගන්නට ඇළ ‍ෙදාළ අවශ්‍ය නැත. පරිගණක පහසුකම් සොයා ගව්ගණන් ඇවිදින්නට අවශ්‍ය නැත. සුපිරි වේගයෙන් අන්තර්ජාලයට පිවිසෙන්නට ටැබ් මෙන්ම ලැප් ද ඔවුන්ට ඇත.
ගමේ දරුවන් එල්ලේ ගසන්නට උණබම්බු සොයද්දි කොළඹ දරුවන්ට ක්‍රිකට් ගසන්නට මිල අධික කොකුබුරා බැට් ඇත. කොකුබුරා බැට් එකෙන් ගසන ක්‍රිකට් ද උණබම්බුවෙන් ගසන එල්ලේ ද අතර ඇත්තේ අහසට පොළොව මෙන් පරතරයකි. ඒ නිසාම ක්‍රිකට් පොෂ් කොල්ලන්ගේ ක්‍රීඩාව වෙද්දී ගමේ දුප්පත් කොල්ලන් ගසන්නේ එල්ලේය. ඒ නිසාම සුපර්මාර්කට් එකෙන් ගත් සොසේජස් කා ක්‍රිකට් ගසන කොළඹ පොෂ් කොල්ලන් සහෝදර පාසල් සමඟ අරගල කරද්දි එල්ලේ ගසා ගහේ හැදෙන කොස්-පොලොස් කන ගමේ කොල්ලන් ලෝකය ජය ගනිති. ඒ නිසාම සෑම වසරකම නිකුත්වන සාමාන්‍ය පෙළ, උසස් පෙළ ප්‍රතිඵල අතර විශිෂ්ටයන් ඉන්නේ කොළඹ නොව ගමේය. මීටර් සීයය, දෙසීය, දුවමින් ලංකාවේ නම ලෝකයට ගෙන ගිය සුසන්තිකාලා, සුගත් තිලකරත්නලා බිහිවූයේ කොළඹින් නොව ගමෙන්ය. සුගතදාසයේ දුවන්නට නවීන මන්තීරු තිබෙද්දී කොළඹින් මළල ක්‍රීඩා විශිෂ්ටයෙකු මෙතෙක් බිහිවී නැත. බිහිවී ඇත්තේ ගමේ කාශ්ඨක පොළොවේ ගල්බොරළු පහස විඳිමින් දෙපය වෙහෙස වූවන්ය. ක්‍රිකට්වලින් ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙන ගිය මුත්තයියාලා, සංගක්කාරලා බිහිවූයේ කොළඹින් නොව මහනුවරින්ය. ජයසූරියලාද බිහිවූයේ කොළඹින් නොව මාතරින්ය. එසේ බලන කළ කොළඹ ඇත්තේ පාට හීනයක් පමණි. කොළඹ අවට නගර බොහෝමයක් ටියුෂන් කලාපයන් වෙද්දී කොළඹ පාසල් තුළින් උසස් පෙළ විශිෂ්ටයන් මෙවර ද බිහිවූයේ නැත. විශිෂ්ටයන් බොහෝ දෙනෙකු බිහිවූයේ කොළඹින් නොව ගමෙන්ය.
බොහෝ දෙනා කොළඹ සිහිනයක ගිලී ඇත. මේ නිසාම දෙමාපියන් තම දරුවන් කොළඹ පාසල් තුළට ඇතුළත් කරන්නට ගන්නේ පුදුමාකාර වෙහෙසකි. ශිෂ්‍යත්වයෙන් බැරි නම්, සාමාන්‍ය පෙළින් ද එසේත් නොහැකි නම් උසස් පෙළින් ද කොළඹ පාසල් තුළට සිසුන් දමා ගැනීමට දෙමාපියන් බොහෝ වෙහෙසෙති. ඒ කොළඹ පාසල් තුළ ගමේ පාසලේ නැති බොහෝ දේ ඇතැයි දෙමාපියන් විශ්වාස කරන නිසාය. එහෙත් සත්‍යය මෙයය. කොළඹ පාසල් තුළ සියලු පහසුකම් ඇතත් අධ්‍යාපනයට වඩා ඇත්තේ අපේ භාෂාවෙන් කියනවා නම් වලිය. බිග් මැච්වලට ද, රගර්වලට ද, ටෙනිස්වලට ද එකී මෙකී නොකී සියල්ලට ගහමරාගන්නා සිසුන්ය. පාසල් තුළ මෙන්ම පාසලෙන් පිට වෙනත් පාසල් තුළ සිසුන් සමඟ ද යන මෙම ගහමරා ගැනීම්හි කෙළවර පොලීසියය. ඒ නිසාම කොළඹ සොසේජස් කා වලියකට සෙට් වී පොලීසියේ නතර වනවාට ද වඩා ගමේ පොලොස් කා ගමේ පාසලේ පහසුකම් තුළින් ලෝකය ජයගෙන කොළඹට පැමිණීම වඩා හොඳ යැයි ඇපල් අපට කිව හැකිය. ඒ නිසාම කොළඹට එන්නට තරග කරන සැමට කොළඹ කිරිවලට වඩා ගමේ කැකිරි වඩා යහපත් වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: