කොළඹ මැද්දේ කුඹුරු කරන අරුම මිනිස්සු!

September 20, 2017 | 9:38 am    0   247

කොළඹ මැද්දේ කුඹුරු කරන අරුම මිනිස්සු!

හෙළයා කියන්නේ සංස්කෘතික ජීවියෙක්. ඒ සංස්කෘතික හර පද්ධතිය ඇතුළේ එකිනෙකට බද්ධ වෙච්ච වටිනාකම් කිහිපයක් අපට උරුම වෙලා තිබුණා. ඒ අතර වී ගොවිතැන ආශි්‍රත ජීවනෝපාය කරගත් පිරිස ගොවි ප්‍රජාව වශයෙන් හැඳින්වූවා. පරාක්‍රමබාහු, පණ්ඩුකාභය වැනි හෙළ රජ දවස පටන්ම ගොවිතැනට රාජ්‍ය අනුග්‍රහය පවා හිමි වුණා.

ඒ විතරක් නෙවෙයි, රාජ්‍යත්වයත් දණ නමන, හිස නමන හෙළ බුදු සිරිත තුළ පවා ගොවිතැනට හිමි වුණා ඉහළම ස්ථානයක්.

කතාව මේ තරම් ආලවට්ටම් කරවලා අරගත්තේ, ඊයේ පෙරේදා දවසක ඇහැ ගැටුණු මේ කාරණා සම්බන්ධ සිදුවීමකට මුල පුරන්න හිතාගෙනයි.

පිටකෝට්ටේ _ තලවතුගොඩ පාරේ ටික දුරක් ඇවිල්ලා හොස්පිට්ල් රෝඩ් එක පැත්තට හැරුණාම යන එන කොයි කාටත් හරි අපූරු දර්ශනයක් එතනදි මුණ ගැහෙනවා. හරියටම කිව්වොත්, කිඹුලාවල ඇවිදින මං තීරු දිගේ ටික දුරක් ඉස්සරහට යනකොට තමයි මේ කියන්න සූදානම් වෙන කාරණාව අපට මුණගැහෙන්නේ.

ඇවිදින මංතීරු දිගේ හරි කෙළින්ම ඉස්සරහ බැලුවොත් නිල්ල වැදීගෙන පීදුණු පුංචි කුඹුරු යායක් තියෙනවා, ඔන්න ඔතන තමයි තැන.
පසුගිය දවසක මේ කුඹුරේ හරි හරියට කිසි කිසියට බැත පාහිනවා අපිට දැක ගන්න පුළුවන් වුණා. හැබැයි හතර වටෙන්ම රේස් දුවන මේ මහ කොළඹ නගරය මැද්දේ සිද්ධවෙන මේ වගේ දෙයක් තියා, ඇඟේ හැප්පිලා වැටෙන එකෙක් දිහාවත් හැරිලා බලන්න වෙලාවක් නැතුව දුවන දිවිල්ලක් මැද්දේ ඔය ඇත්තන්ට එහෙම දෙයක් නොපෙනුණා කීවත් පුදුම වෙන්ට දෙයක් නෑ.

ඒත් පේන තෙක් මානෙක හීයක අඬහැරයක්වත් නැති මේ නගරයක් මැද්දේ බැත පාහිනවා කියන්නේ විශ්වකර්ම වැඩක්. ඒ හින්දම මේ කතාවේ වංහුං ටිකක් හොයලා දැනගන්න හිතාගෙන අපි ඒ කුඹුරු යාය පැත්තට හිමින් සීරුවේ කිට්ටු කළා.

අපි එතන්ට යනකොටත් දෙන්න දෙමහල්ලෝ හරි හරියට එක සීරුවට බැත එක්කාසු කරනවා, මාගල් එළනවා, ඒ අල්ලපනල්ලෙම ඉතින් අපිත් මේ කතාව හොයාගන්න පොටක් පෑදෙනකම් මාන බැලුවා.

අපේ කතාවේ ප්‍රධාන චරිතය තමයි ඩබ්. ඒ. චන්ද්‍රසිරි, ඒත් චන්ද්‍රසිරිගේ සෙවණැල්ල තමයි අමරාවතී. හරියට අර මහඔෟෂධ පණ්ඩිතයොයි, අමරා දේවියයි වගේ කිව්වොත් අන්න ඒ වගේ.

“අපි පදිංචි වෙලා ඉන්නෙ මාදිවෙල මේ කුඹුර, පර්චස් 100ක්, පහත් බිම් එකෙන් තමයි අපිට මේවා කරගන්න කියලා බෙදලා දුන්නේ, ගෝඨාභය මහත්තයා මූලික වෙලා තමයි මේ පළාත්වල ඉන්න පාරම්පරික ගොවියන්ට මේ කුඹුරු කරගන්න අවස්ථා සලස්සලා දුන්නේ. එහෙම වෙලාවක මමත් ඒකට අයදුම් කළාම මටත් කුඹුරු කෑල්ලක් ලැබුණා. දැන් අවුරුදු 4ක් තිස්සේ මම මේ කුඹුරු කෑල්ල හැම කන්නයකම වගා කරනවා. මෙදා සැරේ නම් වැපිරිල්ල හින්දා ඒ තරම් අස්වැන්න සරුවට ආවෙ නෑ. බුසල් 20 විතර මෙදා සැරේ තියෙනවා. හිටවලා ගත්තනං පඳුරු හැඳිලා එද්දී මීට වඩා අස්වැන්න වැදෙනවා වැඩියි. පැළ හිටවාගන්ඩ කට්ටිය නෑනේ, ඒක හන්දා මෙදා පාර වැපිරුවා.”චන්ද්‍රසිරි මහත්තයා බැඳිලා ඉන්නේ තලවතුගොඩ ගොවි සමිතියට, එතනින් ගියාම මාදිවෙල, පමුණුව තව ගොවි සමිති දෙකක් තියෙනවා. ඒ ගොවි සමිති තුනම ඒකාබද්ධ වෙච්ච මහ ගොවි සමිතිය තියෙනවා. මේ ගොවි සමිති හරහා ගොවි මහත්තුරුන්ට එයාලගේ ගොවිතැනට අවශ්‍ය ට්‍රැක්ටර් යන්ත්‍ර උපකරණ වගේ දේවල් හොයා සපයාගන්න ලැබෙන්නේ ලොකු සහයෝගයක් කියලා තමයි අපිට චන්ද්‍රසිරි මහත්තයා කිව්වේ.

ඒ අතරේ වෙල මැද පන්සල එහෙමත් නැත්නම් සම්බුද්ධාලෝක විහාරයේ, විහාරාධිපති වැලිගල්ලේ පඤ්ඤාලෝක හාමුදුරුවන්ගේ අනුශාසනාව, අනුග්‍රහය තමයි මේ අයගේ ශක්තිය, ආශිර්වාදය. එදා ඉඳන්ම භික්ෂූන්වහන්සේලා තමයි රට ජාතිය නගාසිටුවන්න අවශ්‍ය ඕනෑම තැනක පෙරමුණ අරගත්තේ. ඉතින් අපේ පඤ්ඤාලෝක හාමුදුරුවොත් ඒ පරපුරේ නියෝජනයක් වීම, අපේ රටට වාසනාවක්!

“මෙදා කන්නේ මාස 3 1/2 පීදෙන්න තමයි වී වැපිරුවේ,
කුරුලු තුඩ
සුවඳැල්
කීර සම්බා තමයි මෙදා සැරේ වැපිරුවේ…
කපාගන්න තව දෙන්නෙක් විතර අල්ලා ගත්තා. 200ක් විතර පරෙවි රෑනක් ඉන්නවා, ගස් පෙරළෙනකම් බලාගෙන ඉන්නේ, එවුන්ගෙන් තමයි කරදරේකට කියලා තිබ්බේ..”

“ඔය නියරවල් අස් ගහලා, මඩ කිරිල්ල තමයි ඉතින් මේකේ අමාරුම කාරිය. වතුරත් ඉතින් අපිට මේ උඩහ වැවෙන් එන විදිහට පහත් බිම් එකෙන් ‍ෙදාරවල් දාලා හරිගස්සලා දීලා තියෙන්නේ. ඒවත් ගෝඨාභය මහත්තයා මූලික වෙලා තමයි පිළිවෙලක් කරලා දුන්නේ. වැස්සට මෙහේ යටවෙනවානේ. ඒකට උඩහින් පොඩි පොඩි වැව් කැපුවා. එතකොට වැහි වතුර ඒවට එක්කාසු වෙනවා. ඒ වැහි වතුරෙන් තමයි මේ කුඹුරු අස්වද්දන්නේ. තව මොරකැටිය, පන්නිපිටිය පැත්තෙන් එන ඇළ මාර්ග දිගෙත් දිය සීරුම ඇවිත් මේවට එකතු වෙනවා.” කවුරු මොන විදිහට හිතුවත් මට මේක නොලියම බෑ. ගෝඨාභය මහත්තයාගේ සිතුවිලි දිහා බලද්දි එදා රට කරවපු, රට ස්වයංපෝෂිත කරවපු පරාක්‍රමබාහු රජ දවස මට මතක් වුණා. රටට අවශ්‍ය ඒ වගේ හිතක්, පපුවක් තියෙන මිනිස්සු තමයි. දැන් නම් ඒක තදටම දැනෙන කාලයක් මේක.

“මේ කුඹුරු ඉඩම් අපට දුන්නට අපෙන් කවදාවත් ඒකේ හිලව්වට කියලා කිසිම දෙයක් අරගෙන නෑ. මුලින්ම කුඹුරකට රුපියල් 1000ක් නියම කළත් පස්සේ ඒක ගත්තෙත් නෑ. පහත් බිම් එක තමයි මේ ගැන බලන්නේ, එයාලට මේකේ බිම් අයිතිය තියෙනවා. අපි ඉතින් මේක වැඩ කරගන්නවා.”
එකක් නෑර හැම එකටම බදු එකතු කරගන්න මේ කාලේ, අපේ පන්තියේ මිනිස්සු වෙනුවෙන් මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා නේද කියලා අහන්නත් හිතට පුදුමාකාර සතුටුයි.

“මේ හාල්වලින් අපි මාසෙකට දාන 03ක් දෙනවා. වෙල මැද පන්සලට – සම්බුද්ධාලෝක විහාරෙට, ඊයම්පෝරුව පන්සලට, සීලවනාරාමෙට. තව මනුස්සයෙකුට පිංකමක් තියෙන වෙලාවකට, කිරි අම්මා දානෙකට අපි එයාලට අපේ අලුත් හාල් දෙනවා. මේවාට තෙල්, පොහොර මොකවත් ගහලා නෑ. කාබනික පොහොරම තමයි යොදන්නේ. ඉතින් මේ හාල් සුද්ධයි. ඒ වාගේ දෙයක් දානෙකට පිනකට පූජා කරද්දි හිතටත් පුදුමාකාර සතුටක් තියෙනවා. අවුරුද්දෙ අන්තිමටම දෙන මුරුතැන් බත් දානෙටත් අපේ අලුත් හාල් පූජා කරනවා.” 

අමරාවතී නෝනා එහෙම කියද්දි චන්ද්‍රසිරි මහත්තයත් ඒ කතාවට එකතු වුණා.

“මෙයා තමයි ඉතින් මාත් එක්ක මේ හැම දේකටම උදව්වට ඉන්නේ.. ඒ හින්දා තමයි මේ දේවල් පහසුවෙන්නේ…” ඒ වෙලාවේ අමරාවතී නෝනගේ මූණට ආපු සිරියාවට පීදුණු මුළු කුඹුරු යායම පරාදයි ඕන්.
“වෙන ආදායම් මාර්ගෙකට කියලා මම කරන්නේ කංකුන් බිස්නස් එක තමයි. පන්නිපිටියේ වවන කොටුවලින් ගෙනැල්ලා කඩවලට දානවා..”
දැහැමින් සෙමෙන් උපයා සපයා ගන්නා දෙයට වටිනාකම බොහෝම වැඩියි.

“උට්ඨාන වීරියාධිගතා බාහා බලපරිචිතා
සෙදාවක්ත්කා ධම්මිකා ධම්මා ලද්ධා”
යනුවෙන් ඒ කරුණ බුදු දහම තුළින් ද මැනවින් විස්තර කර තිබෙනවා.

යම් පුද්ගලයෙකුගේ ආර්ථික සමෘද්ධිය යනු ඔහු හෝ ඇය පදවන වාහනයේ රෝද ගණන නොවෙයි. කල්ක්‍රියාවේ යහපැවැත්ම තමයි ජීවිතයේ වඩාත්ම වැදගත් සමෘද්ධිය. ආන්න එතනදී චන්ද්‍රසිරි මහත්තයාලගේ පවුල ඉතාම සමෘද්ධිමත් කියලා මට හිතෙනවා.
නගරයක් මැද්දේ මේ වගේ දෙයකට අතගහන්න ලේසියෙන් කෙනෙක්ට හිතෙන්නෙ නෑනේ… ඒ ප්‍රශ්නෙට චන්ද්‍රසිරි මහත්තයා හරි අපූරු උත්තරයක් තමයි දුන්නේ.

“මම රුහුණේ පුතෙක්, තිස්සමහාරාමේ. පොඩි කාලේ ඉඳන්ම අපේ පැතිවල මේ දේවල් කෙරුණානේ. ඒ හුරුව ආසාව මට තිබුණා. තමන්ගේ උත්සාහයෙන්, නිදහසේ හරි හම්බ කරගන්නවා කියන ආත්ම තෘප්තිය මට හරිම වටිනවා..”
අපි ඉස්සර ඉඳන්ම ඉතිහාස පොතේ කියෙව්වේ අපි හරි ස්වෛරී ජාතියක් කියලා. ඒත් චන්ද්‍රසිරි මහත්තයා අරහෙම කියද්දි තමයි මටත් කල්පනා වුණේ අනේ ඇත්තටම අපි කී දෙනෙක්ට බාල්දු වෙවී ජීවත් වෙන්න පොරකනවද කියලා.

කොහොම හරි ඔන්න මාගල් ඇරලා වී ටික පේළි ගහනකොට අමරාවතී නෝනා අපිටත් එක්කම තේ කහට උගුරකුත් ලෑස්ති කරලා. ගිනි ගහන අව්ව මැද්දේ ත්‍රීවිල් සෙවණක් අස්සට රිංගලා කහට උගුරක් බොන ගමන් මගේ හිත දිව්වේ අපේ අමුණු වෙල මැද්දට.

මානෙල් නැන්දයි, සෝමා කිරිඅම්මයි හැලප පෙට්ටියත් ඉහ උඩ තියාගෙන, නියර දිගේ සීරුවට අඩි කඩනවා අෑතින් පේනකොටම “හා…. යමල්ලා එහෙනම් ගොඩට, දැං ඇති..” මහ ගොයියා, ටිකිරා මාමා යායටම කෑ ගහනවා.

ඔය අස්සේ අපි හුළඟට පිපිරෙන අමුණු ගෙඩි අවුස්සලා තරගෙට අමුණු මුත්තෝ පිඹිනවා. ඒ අතරේ හොරෙන් හොරෙන් එබෙන්නේ, මානෙල් නැන්දගෙන් හකුරු කෑලි දෙකක් අතට මිට මොළවාගන්න ඉස්පාසුවක් එන්නේ කොයිවෙලේද බලන්නයි..

“හ්ම්… අපි එහෙනම් ගිහින් එන්නම්..”

“හොඳයි තෙරුවන් සරණයි..”
හිත අස්සේ පොදි ගැහිච්ච ගොඩක් දේවල් ආපහු ඔබාගෙන අපි චන්ද්‍රසිරි මහත්තයලට ආයුබෝවන් කියලා එන්ඩ පිටත්වුණා.

විශ්ව ගම්මානයම හූනියමක්, යල මහ කොටාගන්ඩ ඉලංදාරිත් නෑ. ගමේ ඉන්න ඉලංදාරියොයි, ගැටිස්සියොයි නගරේ රහ හොයනකොට හේන් කුඹුරු එහේ පාළු වෙලා ඇරිලා ගිහින්. අපේකම්, මිත්‍රකම් හැමදේම එහෙම්මම ඉදිරිලා, හේ බාලා ගිහිං..

ඒ වුණාට මේ දිවිල්ලවත් හති වැටිල්ලවත් නතර කරගන්න දැං පරක්කු වැඩියි. අපි හැමෝම කොටි වලිගේ එල්ලිලා ඉවරයි. දැන් ඉතින් හැල්මේ දුවනවා දුවනවා දුවනවා. චන්ද්‍රසිරි මහත්තයලා වගේ කිහිපයක් විතරක් ඒ අස්සෙන් බේරිලා.. විශ්ව ගම්මානයම හූනියමක්!

අනුපමා ගල්කඩවල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: