කොළඹ සරසවියෙන් උපාධි ලැබ මන්නාරමේ කරවල වේලන අහමඩ්

March 24, 2017 | 5:00 pm    0   330

කොළඹ සරසවියෙන් උපාධි ලැබ මන්නාරමේ කරවල වේලන අහමඩ්

දේශපාලනය සියලු කාරණාවලට පදනම සපයන බව ප්‍රායෝගික සත්‍යයක් වන වකවානුවක මගහැර යා නොහැකි සාක්ෂියක් මෙසේ ඔබ හමුවේ තබන්නෙමු.

උපුටාගැන්ම : සත්හඬ

කෙටි පටුනක් නොවන කතාව

ජීවිතය කියන්නේ රේල් පීලි මත දුවන දුම්රිය ගමනක් මෙන් සැලසුම් කළ එකක් නොවෙයි. ඒ වගේම ඒක අත්පන්දු ක‍්‍රීඩාවේ දී මෙන් සීමා පැනවූවක් ද නොවේ. සත්‍ය වශයෙන්ම ජීවිතයට මුහුණ දීමේ දී හතරේ හයේ සීමාවන් අබිබවා පිටියෙන් ඉවත ක‍්‍රීඩා කරන්නට සිදු වනු ඇත. එය බැරෑරුම්ය. දුෂ්කරය. අතිශය කටුකය. පරාජයන් සහ ජයග‍්‍රහණවල සාපේක්ෂ පරිමාව තක්සේරු කරනු ලබන්නේ අත්පත් කරගෙන ඇති ඉරණමෙන් මිස බලාපොරොත්තු හෝ ප‍්‍රාර්ථනාවලින් නොවන වග අහමඩ් හුසේන් (36) අපට කියා දී ඇත.

අහමඩ් හුසේන් කල්පිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි. සරසවියෙන් ලැබූ උපාධිය එසේම තිබිය දී ජීවිතයේ මුණ ගැසෙන, ලැබෙන සහ මුහුණ පෑමට සිදු වන මහා දුෂ්කර මාවත මැද ජීවිතය සොයාගැනීමේ උපාධිය දැන් ඔහුට ලැබී ඇත.

බැලූ බැල්මට බොහෝ දෙනකු අනුමත නොකරන, අපේක්ෂා නොකරන රැකියාවක මේ උපාධිධරයා නිරතව සිටින්නේය. කිහිර`ගුරු මෙන් ඇවිළෙන තලෙයි මන්නාරම වෙරළේ ළවැලිතලය මත අහමඩ් හුසේන්ගේ ජීවිතය අහසටත් පොළොවටත් නිරාවරණය වී ඇත්තේය. ගෙවා දමන සෑම දිනකම ධවල හිරු රශ්මියෙන් ජීවිතය කර වෙමින් ඇත්තේය. අහමඩ් හුසේන්ගේ ජීවිතය ඇත්තේ එතැනය. වැල්ලේ වේළෙන උපාධිධරයාගේ කතාව මේ පිටු අතර ලියැවෙන කෙටි පටුනක් නොවේ. ඔහුගේ කතාව පොත් ගණනාවකින් පිරුණු පුස්තකාලයකි.

ඒ සියල්ලම නැතත් ඔහුගේ ජීවිතයෙන් අහුලාගත් වැදගත් පරිච්ඡේද කිහිපයක් අපි ඔබ හමුවේ තබන්නෙමු. මේ ”සැබෑ මිනිසෙකුගේ කතාවක්ය”. ජීවත් වීම සඳහා ”වානේ පන්නරය” ලැබූ මිනිසෙකුගේ කතාවක්ය.

අවසන් කළ රැකියාව
අහමඩ් හුසේන් කල්පිටිය ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය ලබා එම විද්‍යාලයෙන්ම අ.පො.ස. උසස් පෙළ විභාගයට මුහුණ දී විශිෂ්ට ලෙස සමත් වූවෙකි. මව්පියන්ගේ ආශිර්වාද මැද 2002 වසරේ ඔහු කොළඹ සරසවියේ උපාධි අපේක්ෂකයකු ලෙස ඊට ඇතුළත් වන්නේය.

2006 වසරේ ඔහු ඉන් පිට වන්නේ විද්‍යාවේදී උපාධිධරයකු ලෙස ජීවිතයේ මහත් බලාපොරොත්තු ඇතිවය. නමුදු සරසවි දොරටුවෙන් මෙහා ලෝකයේ අහමඩ් හුසේන්ගේ උපාධියට සරිලන රැකියාවක් සොයාගැනීම පහසු වූයේ නැත. 2007 වසරේ අවසන් භාගයේ (USඇඓඪ්) ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ ව්‍යාපෘති සහකාර ලෙස අහමඩ් සිය ජීවිතයේ පළමු රැකියාව ලබන්නේය. ගිවිසුම් කාලය අවසන් වීමත් සමඟ අහමඩ්ගේ සේවය තවදුරටත් අදාළ ආයතනයට වලංගු වූයේ නැත. 2009 වසරේ කල්පිටියේ රජයේ පාසලක ගුරු පත්වීමක් ලැබ දරුවන්ගේ ඇස් පෑදීමේ මෙහෙවරක නිරත වූ අහමඩ් ගුරු වෘත්තියට ආයුබෝවන් කීවේ ඉතා කෙටි කලකිනි. ඊට හේතු වී තිබුණේ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඒ වන විට මුහුණ පා තිබූ ආර්ථික දුෂ්කරතාය. අහමඩ්ගේ මව්පියන් සහෝදරයන් ඇතුළු සියල්ලෝම බලාපොරොත්තු තබා සිටියේ අහමඩ්ගේ ජීවිතය තුළින් පිහිටක් ලැබෙනු ඇතැයි කියාය. ගුරු වෘත්තියෙන් එවකට ලැබූ වැටුප ප‍්‍රමාණවත් නොවීමත් පවුලේ ප‍්‍රශ්න විසඳීම සඳහා අසීමිත ලෙස නිවාඩු ලබා ගැනීමට සිදු වීමත් අහමඩ්ගේ ජීවිතය වෙනස් පියවරක් වෙත තල්ලූ කර දැමුවේය. දෑස් හරියට නොපෙනෙන මව්පියන්ගේ දෑස් පෑදීමටත් පවුලේ සහෝදර සහෝදරියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහාත් ප‍්‍රමාණවත් මුදලක් ඉපයීම සඳහා සාධාරණ දුෂ්කර මාවතක් අහමඩ් හුසේන් තෝරා ගත්තේය.

වැල්ලට ගිය උපාධිධාරියා
හිතවත් ව්‍යාපාරිකයකු මාර්ගයෙන් 2011 වසරේ තලෙයි මන්නාරම් වැල්ලට ආ අහමඩ් හුසේන් කරවල වාඩියක කරවල වේළීමේ අත්උදව්කරුවකු ලෙස දැනුම රැස්කර ගත්තේය. මෘදු මොළොක් ශරීරය අව්වේ දැවුණේය. සිනිඳු අත් පා රළු වූයේය. රෝස පැහැයෙන් තිබූ මුහුණ පවා කාල වර්ණ වූයේය. ගුරුවරයකු ලෙස ලැබූ වැටුපට මඳක් වැඩි වැටුපක් ලබා ගැනීම වෙනුවෙන් අහමඩ් දිවා රැය නොබලා වෙහෙසුණේය. මේ දුෂ්කරක‍්‍රියාවෙන් ලැබූ මුදල් රැගෙන මුල් වරට අහමඩ් සිය නිවසට ගොඩවැදුණු මොහොතේ පවුලේ සාමාජිකයන් හඬා වැලපුණේය.

කරවල කටු ඇනුණු දෑත ගොරෝසු වී ඇති බව දෙනෙත් නොපෙනෙන අය කීවේ ඒ දෑත සිනිඳුවට ස්පර්ශ කරමිනි. පවුලේ අය හඬා වැටුණත් අහමඩ් සිනාසුණේය. ජීවිතය ඇත්තේ මේ රළු බව තුළම බව පසක් කරමින් 2012 වසරේ අහමඩ් හුසේන් තමන්ටම අයිති කරවල වාඩියක් තලෙයි මන්නාරම් වැල්ලේ ආරම්භ කළේය. ‘ලයිට් හවුස් වාඩිය’ මාස කිහිපයකින්ම තලෙයි මන්නාරම් වැල්ලේ උතුරු කොටසට ස්ථානගත කළේය. වැරදුණේ නැත. අහමඩ් හුසේන් තරුණයා, උපාධිධරයා සාර්ථක කරවල ව්‍යාපාරිකයෙක් වූයේය.

වාසනාව ජයග‍්‍රහණය පසුපසින් අවාසනාව පරාජයන් හා බිඳවැටීම් ද ඇති වන වග කුමට නම් කියමුද? මේ සියල්ලම දරාගන්නා මිනිසා මිනිසෙකි. ඔහු උදාකරන ඉරණමෙන් පරාජය කළ නොහැකිය.
පිළිකාව හා මිත‍්‍රත්වය
2013 වසරේ පෙබරවාරි මාසයේ අහමඩ් හුසේන් හිටි හැටියේ රෝගාතුර වන්නේය. අහමඩ්ගේ රෝග තත්ත්වය පරීක්ෂා කළ වෛද්‍යවරු ඔහු වහාම කොළඹ මහරගම ජාතික පිළිකා රෝහල වෙත යොමු කළේය. හුසේන්ට පිළිකා රෝග තත්ත්වයක් වැලඳී ඇති බව වෛද්‍යවරු ප‍්‍රකාශ කළේය. මේ පුවත සඟවා සිටින්නට අහමඩ් උත්සාහ කළත් ඔහු සමඟ මහරගම පිළිකා රෝහලට පැමිණි ඥාතීන් ඒ බව දැනගත්තේය.

අවුරුදු අටක දරු පැටියකු සිටින අහමඩ් විවාහකයෙකි. මව්පියන්ගේ සහෝදර සහෝදරියන්ගේ සහ බිරිඳ දරු පැටියා ඇතුළු සියලූ බර කරට ගත් යෝධයාට පිළිකාවක් වැලඳී ඇති බව දැනගත් සියල්ලෝම තියුණු වේදනාවක ගිලූණේය. ”බය නැතුව ඉන්න මට සනීප වෙයි” ඔහු ඒ සියල්ලෝම අස්වසාලීය. 2013 වසරේ සිට 2015 වසර වන තෙක් පිළිකා රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන්නට අහමඩ් හුසේන්ට සිදු විය. මේ කාලය තුළ තවත් අපූරු මිත‍්‍රත්වයක් ගොඩනැගෙන්නේය.

ඉරණමේ හමුවීම
කන්දසාමි ශෂිකුමාර් (30) මස්කෙළිය ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහුගේ අක්කා ලලිතා කන්දසාමිය. ඇයට ද වැලඳී ඇත්තේ පිළිකාවකි. අක්කාට ප‍්‍රතිකාර ගැනීමට පැමිණි ශෂිකුමාර්ට අහමඩ් හුසේන් පිළිකා රෝහලේ දී මුණගැසෙන්නේය. කෙටි කතාබහ දිග්ගැසුණේය.

පිළිකා රෝහලේ ප‍්‍රතිකාර ලබන සිය අක්කා බැලීමට එන ශෂිකුමාර්, අහමඩ් හුසේන් මුණගැසී යන්නට අමතක නොකළේය. මේ හමුවීම මස්කෙළියේ වතුකම්කරුවකු ලෙස සේවය කළ ශෂිකුමාර්ගේ ඉරණම ද වෙනස් කළේය.

”මං සනීප වෙලා ආවාම උඹ වරෙන් මගේ කරෝල වාඩියට. අපි දෙන්න බිස්නස් එක කරමු. ලැබෙන ලාබේ අපි දෙන්නා බෙදාගමු. එකට කට්ට කාගෙන වැඬේ කරමු. පාඩු වෙන්නෙ නෑ.” අහමඩ් හුසේන්ගේ යෝජනාවට ශෂිකුමාර් එකවරම එකඟ වූයේ නැත.

කාලය ගෙවී ගියේය. අහමඩ් හුසේන් 2015 වසරේ පෙබරවාරියේ පිළිකා රෝහලේ නේවාසික ප‍්‍රතිකාරවලින් මිදී නිවසට පැමිණියේය. එහෙත් සෑම මසකම 28 වන දින ඔහුගේ රෝගී තත්ත්වය සඳහා එන්නත ලබා ගැනීමට පිළිකා රෝහලට එන්නට සිදු විය. කන්දසාමි ශෂිකුමාර් සිය අක්කාට එන්නත විදගැනීම සඳහා ද පැමිණියේ සෑම මසකම 28 වන දිනය. දිනක් මේ දෙපිරිස එකට මුණගැසුණහ. හුසේන්ගේ යෝජනාවට ශෂිකුමාර් කැමැති වූයේය.

අනතුරු මැද ජීවිතය
වතු කම්කරුවකු ලෙස සේවය කළ ශෂිකුමාර්, හුසේන් සමඟ තලෙයි මන්නාරම කරවල වාඩියට ගියේය. තේ වත්තේ වැඩ වෙනුවට කරවල වාඩියේ වැඩට හුරු වන්නට සිදු විය. නමුදු හුසේන්ට මෙන් කාෂ්ඨක අව්වට හුරු වෙන්නට ශෂිකුමාර්ට වැඩි කලක් ගතවූයේ නැත.

දෙමිතුරන්ගේ කරවල බිස්නස් ලාභ උපයන සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වූයේය. එහෙත් 2016 පෙබරවාරි මාසයේ එක් දිනක දී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි අහමඩ් හුසේන් හදිසි අනතුරකට ගොදුරු වූයේය. දකුණු පාදයේ අස්ථි පුපුරා ගියේය. මාස තුනක් එක්තැන් වූ අහමඩ්ට සහ අහමඩ්ගේ පවුලේ උදවියට වියපැහැදම් සොයා දුන්නේ ශෂිකුමාර්ය. කරවල වාඩිය පවත්වාගෙන ගියේ ශෂිකුමාර්ය. පිළිකාවකින් පෙළුණු අහමඩ් හුසේන්ගේ ජීවිතය දෙවැනි වරට ගලවා ගත්තේ සිය මිතුරා වූ ශෂිකුමාර්ගේ දෑතේ වීර්යයෙනි. දැන් සාමාන්‍ය සුවයෙන් පසුව මේ දෙමිතුරෝ මන්නාරම් වැල්ලේ කරවල වාඩියේ වැඩය. මේ දැනුත් මේ මොහොතේත් දැවෙන අව්රශ්මිය මැද ඔවුන් වැඩය. උපාධිය අහිමි, පාසල් නොගිය ශෂිකුමාර් සහ විද්‍යාවේදී උපාධිය ලබාගත් උපාධිධාරී අහමඩ් හුසේන් එකම කරවල වාඩියේ වැඩය. ජීවත් වීම වෙනුවෙන් මුදල් අවශ්‍ය වන්නේය. ඒ වෙනුවෙන් ශ‍්‍රමය වැගිරිය යුතුය. කිලිටි අත්වලින් උපයන ධනය තරම් පිරිසිදු ධනයක් තවත් නැත්තේය. මුදලක් නැත්තේය. වැටුපක් නැත්තේය. ඒ කිලිටි බව යනු භෞතික තත්ත්වය ය. හිත හොඳින් උපයන ධනය ය. මී මැස්සා මලෙකින් රොන් ගන්නා සේ උපයන ධනය ය. කැපුණු කෙටුණු, කටු ඇනුණු අත්ලය. පිලී ගඳ අරක්ගත් දෑතය. කල්පනාවන් විසින් පවිත‍්‍ර කරන ලද මනස්ය. ජීවත් වීමට අන් කවරක් නම් අවැසි ද?

මිය ගිය ශරීර කූඩු මැද ප‍්‍රාණය පමණක් ඉතිරිව ඇති බලාපොරොත්තු බිඳවැටුණු, අහිමි වීම් ගැන වැලපෙන නොලැබීම් ගැන දුක් වන ආත්ම ලාභය පිණිස වංක ලෙස ධනය උපයන, අයුතු ලාභ උපයන සමාජයක අහමඩ් හුසේන්ගේත් ශෂිකුමාර්ගේත් ජීවන අරගලය බොහෝ පාඩම් කියා දී ඇත්තේය. ඉතින් මේ මිනිසුන් වානේ පන්නරය ලබා නැතැයි කිව හැකිද? සැබෑ මිනිසුන් නොවන්නේයැයි කිව හැකිද? කොළඹ නගරයේ ශීත කාමර තුළ සාමය සංහිඳියාව සහෝදරත්වය පිළිබඳව පහන් සංවේගය උපදවන කතාය. එහෙත් ඒවා අපට හමුවන්නේ වැලි දූලි මතින්ය. පයට පෑගෙන දෙපා යටින්ය. දැන් සියල්ල විනිශ්චය කරන්නට ඔබට බාර කරමි. එතැන් සිට සියලූ පරිච්ඡේද කල්පනා කරන්නට ඔබටම බාර කරමි.

දයා නෙත්තසිංහ
ඡායා – අජිත් සෙනෙවිරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: