කෝකිල සමුළුව

March 27, 2017 | 5:00 pm    0   169

කෝකිල සමුළුව

 

එන්න කියලා වෙලාව දන්වලා තිබ්බේ හවස දෙකට උනත් එක හමාර වෙනකොටත් අපේ උං විසි පහක් තිහක් විතර ගඟ ළඟ බෙලි ගහේ අතු ඉති වෙන් කර ගෙන කච කච ගගා හිටියේ. කෙවිලියෝ හිටියේ හරියට ම දහ තුන් දෙනයි. වැඩි හරියක් නාකි හම්පඩ. මේ සැරේ වාර්ෂික සමුළුවට සහභාගී නොවුණොත් මරණ සහනාධාරේ කපා හරිනවා කියලා කාරක සභාව රැස් වෙලා කල් ඇතිව ම තීරණය කරලා කියලා කණින් කොණින් ආරංචි වෙච්චි හින්දමයි මං අකමැත්තෙන් උනත් බෙලි ගහ පැත්තට හොටේ දාන්න ඕන කියලා හිතුවේ. නැත්තං මේ වෙලාව උනත් කොච්චර වටිනවද ගංසූරිය ගොල්ලේ කෙවිලි නඟාට ඇහෙන්න හොඳ සද්දයක් දාගන්න. ඒ ළමයා නාන්න එළි පහළියට එන්නෙත් මේ වෙලාවටම. චැඃ.. අපරාදේ!

මූලාසනේ බාර වෙලා තිබ්බේ නාරංදෙනියේ වත රතු මල් කොහා උන්දැට. රතු දත්ත පොතට ඇතුළත් උනාට පස්සේ උන්දැලගේ සනුහරේ ම හිටියේ බොහෝම ආඩම්බරෙන්. ඉතිං
අපි උනත් උන්දැලට විශේෂයක් කරන්න එපාය මේ වගේ වෙලාවකවත්. ගුරු කොහා,කවුඩු කොහා,උකුසු කොහා,පතන මල් කොහා, ,වයිර ගුරු කොහා,නිල් මල් කොහා,පුංචි කොහා,ගෝමර කොහා ආදී එකී නොකී කෝකිලයන්,කෙවිලියන් වැඩි පිරිසක් දෙක හමාර විතර වෙනකොට ඇවිත් හිටිය හින්දා සමුළුවේ කටයුතු පටන් ගන්න උන්දැ රැල් බුරුල් ඇරලා ටිකක් උස බෙලි අත්තක වැහුවා.

ලොකු ම මාතෘකාව උනේ එළඹෙන වසන්ත උත්සව සමය වෙනුවෙන් කෝකිලයන් වශයෙන් අපගේ කාර්යභාරය මොකක් ද කියන එක ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕන ය කියන එක. පෙබරවාරි මැද ඉඳං මධුර මනෝහර ලෙස නාද පැවැත්විය යුතු බවට පරණ කාලේ ඉදං ආව සිරිත බවත් දැන් දැන් ඒ තත්ත්වය ගොඩක් ම දුර්වල බවත් එය කෝකිලයන් වශයෙන් අපගේ විශාල පසු බෑමක් බවත් වත රතු මල් කොහා උන්දැ බොහොම බැරෑරුම් මූණක් හදාගෙන කිව්වා. ඒ හින්දම අද ඉඳන් සෑම ගම් දනව්වක් ම ආවරණය වන පරිදි අඩු ම පැය දෙකකට වතාවක් හෝ මධුර නාද පැවැත්විය යුතු බවට උන්දැ යෝජනා කලා. ඒක සභා සම්මත කර ගන්නනං සෑහෙන කතන්දර ගොඩක් අහ ගෙන ඉන්න උන්දැට සිද්ද උනා. අන්තිමේ දී නියමිත විදිහට නාද පවත්වන කොවුලන් හට කෙවිලියන් හා සංවාසයේ යෙදීමට වැඩි අවස්ථාවන් ලබා දෙන බවට කරන ලද උන්දැගේ අදහසට කෙවිලියන්ගේ පාර්ශවයෙන් කැමැත්ත ලැබුණ නිසා ඒ ප්‍රශ්ණෙ කෝකිලයන් අතර උද්යෝගිමත් බවක් ඇති කරමින් සමථයකට පත් වුණා.

වින්නඹුකම් කරන හිඹුටු ගාලේ කෝකිල නැන්දා තටු හොටෙන් පීර පීර නැඟිට්ටේ ඊට පස්සේ. උන්දැ කාන්තා පාර්ශවයට මූණ දෙන්න වෙන භයානක අවධානමක් ගැන කතා කරන්න මාස ගාණක ඉඳං තදියමකිං හිටපු බව පැහැදිළි ව ම පේන්න තිබ්බා. කපුටු කූඩවල බිත්තර දාද්දි කපුටන්ගෙන් එල්ල වෙචිචි ප්‍රහාර හින්දා පසු ගිය
අවුරුදු වල දී කෙවිලියන් කීප දෙනෙක් බොහෝම අවාසනාවන්ත විදිහට මැරුණ බවත් ඒ හින්දා කපුටු කූඩුවල බිත්තර දාන එක ගැන කපුටො එක්ක එකඟතාවයකට එන්න පුළුවන් නම් ඒක සෑහෙන්න වටිනවා කියලයි උන්දැ උන්දැගේ අත්දැකීම් ආශ්‍රයෙන් කිව්වේ. ඒ කතාවටනම් දෙමලිච්චොන්ට කෑමක් හම්බුණා ම වගේ සභාවම ඇවිස්සුණා. පිරිමි ටික රතු ඇස් එළියට පනින සයිස් එකෙන් ගෑණු ටික දිහා බැළුවා.

” අපේ අප්ප මුත්තගේ කාලේ ඉඳං ගෑණු කෙරුවේ කපුටොංගෙ කූඩු ඔල හොරෙං බිත්තර දාන එක. දැන් තොපි කියන්නෙ ලැජ්ජ නැතුව ගිහිං ඕක කොරන්ට කපුටොංගෙං අවසර ඇරං දියවු කියලද. ගොං ගෑණු! සනුහරේට ලැජ්ජ නොකර ඉඳපියව්. යකෝ ‘පරපුටු’ කියන නම්බු නාමේ අපිට දීලා තියෙන්නේ මෙච්චර තාක් කාලයක් ඕක හරියට කොරපු හින්දා. පිරිමි අපි කපුටො එළවන වැඩේ කොරඤ්ඤං. ගෑණු තොපිට තියෙන්න බිත්තර දාන්ට. බිත්තර රකින වැඩේ කපුටියෝ කොරයි. එච්චරයි…”

පේරදෙණිය පැත්තේ වයසක කොහෙක් කෙළ විසික්කා කොර කොර කෑ ගැහුවා. එතැනින් එහාට ඒ ගැන කතා කරන්න දෙයක් තිබ්බේ නෑ. ගෑණු ටික හොට බිමට හරවගෙන මුණු මුණු ගගා සෑහෙන වෙලාවක් හිටියා. සභාව අතරමැද සංග්‍රහයක් විදිහට හැමෝමට කන්න තිබ්බ මාදන්,හිඹුටු,අඹ එක ගෙඩියකටවක් ගෑණු නෙවෙයි හොට ගැහුවේ.

කෙවිලියන් ගහනය ගොඩක් ම අඩු හින්දා කෙවිලියන් ආරක්ෂා කර ගන්න එක වගේ ම පෝෂණය කරන එකත් කොවුලන්ගේ වගකීමක් කියලා නාරංදෙනියේ වත රතු මල් කොහා උන්දැ සද්දේ ටිකක් අඩු වෙනකල් ඉඳලා කිව්වා. අන්න ඊට පස්සේ තමයි හොට බිමට
නමාගෙන හිටපු ගෑණු ටික ඔළුව උස්සලා පිරිමි දිහා ඔළොක්කුවට වගේ බලන්න ගත්තේ. කපුටන්ගේ ප්‍රහාර වලින් බේරිලා කපුටු කූඩෙක බිත්තර දාන හැටි ගැන අලුත් කෙවිලියන්ට හොඳ පුහුණුවක් දෙන්නත් කට්ටියම තීරණේකට ආවා. ගෑණු ටික මාදං අහුරු අහුරු ඇරගෙන කුචු කුචු ගගා ඒවා කන්න ගත්තා එතැන ඉඳලා කෙළවරක් නැතුව.

ඒ සිද්ධියෙන් පස්සේ විශේෂ දේශණයක් කරන්න ආව නිට්ටඹුව පැත්තෙ මැදිවියේ කොහෙක් ” නූතන තරුණ කෝකිල පරපුර හා කෝකිල අනාගතය ” කියලා පැය භාගයක් විතර අඹ ගෙඩියකට හොටෙන් ඇන ඇන විකාර දෙඩෙව්වා. තරුණ කෝකිල කොල්ලන් රිගිං ටෝන් කම්පැණි එක්ක ගිවිසුම් ගහලා කෝකිල හඬ විකුණා දමන්නට උත්සාහ කරන බවත් ‘ කොවුල් ස්ටාර් ‘ වගේ විගඩම් වල විතරක් කට අරින්නට උන් තීරණය කර තියෙන එකත් කෝකිල පරපුරේ අනාගතය ගැන මහා ව්‍යසනයක ආරම්භයක් කියලා තමයි ඒ කොහා කිව්වේ.

පහු ගිය අවුරුදු කාලවලදි අහස් ගුංඩු,රතිඤ්ඤා වගේ දෙවල් හින්දා මැරිච්ච වගෙම තටු,කකුල් අහිමි වෙච්චි කෝකිලයන් වෙනුවෙන් විශේෂ උපහාර දැක්මක් තිබ්බා අන්තිමේටම විනාඩි කීපෙක නිශ්ශබ්දතාවෙකුත් එක්ක. ගිය අවුරුද්දේ මේ වගේ කාලෙක දාවලේ පේර ගහක ඉඳං හිත ගිය කෙවිලියක් දැපනේ දාගන්න සිංදු කිය කිය ඉද්දි ඇට්ටර කොල්ලො ටිකක් එවපු අහස් ගුංඩුවක් ඇඟේ පිපිරිලා අකාලේ මියදිච්ච එක්කුස උපං මගෙ ම මලයා මතක් උනා. ඇස් තෙත් වුණා නොදැනිම. හොඳ තැනක ඇති!

හැන්දෑවේ පහ හමාර විතර වෙනකොට ගෑණු ටික එහෙං මෙහෙං ඇඹරෙන්න ගත්තා. පිරිමි ටික වුණත් හිටියේ හිඹුටු ගෙඩි එහෙට මෙහෙට විසික්කා කොර කොර. එක ගෙඩියක් නාරංදෙනියේ වත රතු මල් කොහා උන්දැගේ ඔළුවෙම වැදුනම උන්දා දැන ගත්තා දැං
අයේ කොච්චර වැදගත් දෙයක් කතා කෙරුවත් වැඩක් නෑ කියලා. කට්ටියම තප්පරේකට සංසුං කරපු උන්දැ සමුළුව අවසන් කරන බවට නිල නිවේදනේ නිකුත් කලා. ගෑණු ටික සර බර ගාලා තටු ගහගෙන හිඹුටු ගාලේ කෝකිල නැන්දාවත් පෙරළගෙන බෙලි අතුවලින් අහසට පැන්නා. උන්දා කකුල් අත ගගා අමාරුවෙන් අත්තෙන් අත්තට මාරු වුණා.පිරිමි ටික ඒ වෙනකොටත් සෑහෙන්න දුරක් පියඹලා හිටියේ. හැන්දෑ වෙලා තිබ්බත් ගංසූරිය ගොල්ලේ කෙවිලි නඟාට ඇහෙන්න හොඳ සද්දයක් දාගෙනම යන්න ඕන කියලා හිතපු මං ඒ පැත්තට ඉගිලෙන්න ගත්තා.

 

තිසර නන්දන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: