කෝට්ටේ නාග විහාරයේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ වුණ හැටි

November 27, 2017 | 1:04 pm    0   721

කෝට්ටේ නාග විහාරයේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ වුණ හැටි

මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ කියන්නේ රට හදන්න මුල් පුටුවේ ඉඳන් සමාජයේ සුබවාදී වෙනසක් කරන්න ඇප කැප වුණු ශ්‍රේෂ්ඨ  චරිතයක්. ඉතින් ඒ හිමි නම විහාරාධිපතිව වැඩ වාසය කළ කෝට්ටේ නාග විහාරය කියන්නෙත් සිව් දෙසින්ම ජනතාව එක්රැස් වුණු, සහජීවනයේ සංකේතයක් වුණු ස්ථානයක්. නමුත් පසුගිය දිනෙක කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ අයිතිය සම්බන්ධව පැනනැඟුණු එක්තරා මතභේදාත්මක සිදුවීම හරහා සහජීවනයේ පරමාදර්ශය වුණු කෝට්ටේ ශ්‍රී නාග විහාරය පිළිබඳව නොයෙකුත් කතාවන් සමාජය තුළින් පැන නැගුණා.

මේ සිදුවීමේ සුලමුල සත්‍ය වශයෙන්ම සමාජයට අනාවරණය කිරීමේ අරමුණින් කෝට්ටේ නාග විහාරයේ දැනට භාරකාරීත්වය ගෙන කටයුතු කරන නාරද ස්වාමීන්වහන්සේ සමඟ ඉරිදා ඇපල් සිදුකළ සාකච්ඡාව.

ඔබවහන්සේ ගැන විස්තරයක් කියලා අපි කතාව පටන් ගමු?
මම මාදුළුවාවේ සෝභිත හිමිපාණන්වහන්සේගේ ශිෂ්‍යයෙක් විදිහට කෝට්ටේ නාග විහාරයේදී පැවිදි දිවියට ඇතුළු වුණේ. පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙනෙන් උසස් අධ්‍යාපනය ලබලා දැන් කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිය සම්පූර්ණ කරමින් ඉන්නවා.

 

ඔබවහන්සේගේ වයස පැවසුවොත්?
මට දැන් අවුරුදු 23ක් වෙනවා.

 

පන්සලේ ඉතිහාසය ගැන කෙටියෙන් කිව්වොත්?
ඇත්තෙන්ම කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ ආරම්භය ගැන කතා කළාම මේ විහාරය ආරම්භ වෙන්නේ ක්‍රි.ව. 6 වන සියවසේ කෝට්ටේ රාජධානි සමයේ, කොට්ටේ රජමහා විහාරය නමින් හඳුන්වනවා. දන්ත ධාතූන්වහන්සේ තිබුණු මාලිගාව තමයි රාජමහා විහාරය ලෙස හඳුන්වන්නේ. පසුව පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණත් එක්ක මේ රාජධානිය බිඳ වැටෙනවාත් සමඟ දන්ත ධාතූන්වහන්සේ මහනුවරට වැඩම කරවනවා. මෙතැන නාග විහාරය කියලා හඳුන්වන්න එක් හේතුවක් තමයි උපසම්පදා ලබන භික්ෂුවක් උපසම්පදාව ලැබීමට පෙර නිලමේ ඇඳුමෙන් සැරසිලා අලි ඇතුන් පිට කෝට්ටේ රජමහා විහාරයට පෙරහැරේ යනවා. ඒ පෙරහැරට කියන්නේ නාග පෙරහැර කියලා. ඉතින් ඒ නාග පෙරහැර පටන්ගන්නේ මේ පන්සලේ ඉඳලා නිසා මෙතැන නාග විහාරය බවට පත් වුණා.

 

උන්වහන්සේ ඉන්න කාලයේ ශිෂ්‍ය හිමිනමක් විදිහට ඔබත් එක්ක තිබුණු සබඳතාවය කොහොමද?
මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ කියන්නේ ඉතාමත් කාර්යබහුල චරිතයක්. උන්වහන්සේ අවදි වෙන්නේ පාන්දර 4ට. නැගිටලා කොපමණ වැඩ තිබුණත් පන්සලේ වැඩ කටයුතු, අපේ වැඩ කටයුතු සොයා බලනවා. ඒ වගේම උන්වහන්සේගේ දෛනික චර්යාව උදෑසන හදාගන්නවා. කාලසටහනකට අනුව තමයි උන්වහන්සේ වැඩ කටයුතු කළේ.

 

හාමුදුරුවනේ ඇත්තටම මොකක්ද මේ පසුගිය දවසක සිදුවුණු ගැටලුව?
ඇත්තටම නැති ආරවුලක් ඇති වීමක් තමයි වෙලා තියෙන්නේ. මේකට හේතුව බල තණ්හාව, මුදල් පිළිබඳ කෑදරකම. ඒ වගේම නැති චින්තනයක් ගොඩනැගිලා තියෙනවා නාග විහාරය මුදල් තියෙන තැනක් විදිහට. ඒ වගේම කටකතා පතුරනවා. කෝටි ගණන් සල්ලි එන තැනක් කියලා. ඒවට අහුවෙච්ච සමහර ප්‍රධාන ගණයේ භික්ෂූන්වහන්සේලා මෙතැනට පොර කනවා. ඇත්තටම මේක ගමක පුංචි විහාරස්ථානයක් වුණා නම් මම හිතන්නේ නෑ ඔය දඟලන හිමිවරු මේකට කෑ ගහයි කියලා.

 

ඇත්තටම ඔය සෝරත ස්වාමීන්වහන්සේටද මෙහි විහාරාධිපති හිමි විය යුත්තේ?
මෙහෙමයි. සෝභිත හාමුදුරුවන්ගේ ප්‍රධාන ගෝලයා වෙන්නේ වතුරවිල සිරි සුජාත හාමුදුරුවෝ. උන්වහන්සේ 1983 තමයි පැවිදි බිමට ඇතුළත් වෙලා තියෙන්නේ. උන්වහන්සේ ශ්‍යාමරාජ සම්මානය පවා හිමිකරගෙන තියෙනවා. 2011 වර්ෂයේ විතර සුජාත හාමුදුරුවෝ පිළිබ¼දව යම් කේලම් පැතිරෙව්වා විහාරස්ථානයක සිවුරු හැරලා නැවත සිවුරු හැඳගත්ත පිරිසක්. ඇත්තටම ලොකු හාමුදුරුවන්ගේ ජාතික කාර්යභාරයත් සමඟ පන්සලේ වැඩ කටයුතු කළේ වතුරවිල සුජාත හාමුදුරුවෝ. ඉතින් මේ කේලම් බස් නිසා ලොකු හාමුදුරුවෝ වගේම නිකායේ සංඝ සභාවේ ආශිර්වාද ඇතුව උන්වහන්සේට ලැබෙනවා පිරිහිච්ච විහාරස්ථානයක් ගොඩනගන්න. රාජගිරියේ සුධර්මාරාම විහාරස්ථානය තමයි ඒ විහාරස්ථානය. ඒ විහාරස්ථානය මේ වනවිට සාර්ථක ලෙස ගොඩනගලා තියෙනවා. නමුත් සෝභිත හාමුදුරුවන්ගේ අභාවය සමඟ අප විහාරස්ථානයේ නියම භාරකාරයා බවට පත් වෙන්නේ වතුරවිල සුජාත හාමුදුරුවෝ. නමුත් ඛේදජනක සිදුවීම නම් සෝභිත හාමුදුරුවන්ගේ ආදාහන උත්සවයට පවා වතුරවිල සුජාත හාමුදුරුවන්ට එන්න බැරි වෙන්න තහනම් නියෝග ගත්තා සංඝ සභාව මඟින් ඔය නායක කියලා කියාගන්න සමහර හාමුදුරුවරු.

 

ඇයි උන්වහන්සේට මෙම ස්ථානය තහනම් කළේ?
ඒගොල්ලෝ ලොකු මානසිකත්වයක හිටියා මෙතන ලබාගන්න. ඒක ලොකු හාමුදුරුවෝ රෝහල්ගත වෙච්ච කාලයේ ඉඳලම ඒගොල්ලෝ සිහින මවලා තියෙනවා. අපේ ලොකු හාමුදුරුවන්ගේ කාමරයෙ යතුරු පවා අරන් ඒක වෙනස් කරන්න ඒ අදාළ මිනිස්සු උත්සාහ කළා. දේශපාලන බලපුළුවන්කාරකමින් තහනම් නියෝග අරගෙන පන්සල ලබාගන්න කටයුතු කරගෙන ගියා. තාත්තා මැරුණම හිරේ ඉන්න පුතාටත් තාත්තගෙ මරණෙ බලන්න එන්න දෙනවනේ. ඒත් අපේ සුජාත හාමුදුරුවන්ට සෝභිත හාමුදුරුන්ගේ අවමඟුලට පවා එන්න තහනම් කරනවා. සම්බුද්ධ ශාසනය මත පදනම් වෙච්ච මේ මෛත්‍රීය, දයාව, කරුණාව ගැන කතා කරන භික්ෂූන්මයි ඔය තහනම් නියෝගය පනවන්නේ. මේක මෑත කාලයේ සිදුවෙච්ච ශාසනයේ පරිහානිය යැයි කියන්න පුළුවන් සිද්ධියක් විදහට හඳුන්වන්න පුළුවන්. මේකේ ලොකුම කනගාටුව තමයි මේ රටේ මහා යතිවරයාණන්වහන්සේලා යැයි හඳුනාගන්න පිරිස්ම මේ වැඩේට මුල් වෙච්ච එක.

 

ඉන් අනතුරුව සුජාත හාමුදුරුවෝ මේකට නෛතික පියවර ගන්නේ නැද්ද?
උන්වහන්සේගේ ශිෂ්‍යභාවය සම්බන්ධයෙන් නෛතික පියවර ගත්තා. යම්කිසි භික්ෂුවක් සම්බන්ධයෙන් විනය පිළිබඳ ගැටලුවක් කතා කරද්දි ඒකේ යම් ක්‍රමවේදයක් තියෙනවා. බුදු රජාණන්වහන්සේ ඒ පිළිබඳව විනය නීතියක් පනවලා තියෙනවා. සාරිපුත්ත සිහනාද සූත්‍රයේ මේ පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම බුදුන්වහන්සේ පනවපු ඒ තීන්දු තීරණ විනය කාරණා ඒ විදිහටම පිළිපදිනවා නම් අද කාටවත් පොලිස් ගානේ අධිකරණ ගානේ යන්න ඕනි නෑ. නමුත් අගතිගාමි අන්තවාදී වෙනවා නම් අපිට නීතියේ පිහිට පතන්න වෙනවා. විනය මණ්ඩල සංඝ සභාවල් හරියාකාරව සිදුවුණා නම් කිසිම හාමුදුරුවො කෙනෙක්ට පොලිසි ගාණේ යන්න ඕනි නෑ. හැබැයි මෙතැනදී වුණේ සුජාත හාමුදුරුවෝ සම්බන්ධයෙන් චෝදනාව එල්ල කරන අයත් සංඝ සභාවේ වෙලා විනිශ්චය කරන අයත් සංඝසභාවේ අය වෙච්ච එක. අන්න ඒ නිසා සුජාත හාමුදුරුවන්ට සිදුවුණා. නෛතික රාමුවකට පිවිසෙන්න. ඉන් අනතුරුව දින 07ක යන්නට කලියෙන් ගංගොඩවිල දිසා අධිකරණයෙන් දුන්නා වාරණයක් වතුරවිල සුජාත හිමියන්ට හැරෙන්න කිසිඳු භික්ෂුවකට කෝට්ටේ නාග විහාරයේ භාරකාරිත්වයට හෝ විහාරාධිපති නිලයට හෝ පත්කිරීම තහනම් කරලා.

 

මෙතන වතුරවිල සුජාත හිමියන්ගේ වැරැද්දක් නැහැ නේද?
නැහැ. උන්වහන්සේ නීත්‍යානූකූලව ගත්ත ක්‍රියා මාර්ගයක්. ඉන් අනතුරුව වස් සමාදන් වෙන්න අපේ විහාරස්ථානයට පැමිණි හිමිවරු පිරිසක් ගිහිල්ලා පොලිසියේ පැමිණිල්ලක් දානවා. 66 වගන්තිය යටතේ නඩුවක් දානවා සුජාත හාමුදුරුවෝ ඉවත් කරන්න. හරි ලස්සනට පොලිසියත් ඒවට ක්‍රියාත්මක වෙනවා ඉක්මනට. ඒත් සුජාත හාමුදුරුවෝ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරලා ඒ තහනම ඉවත් කරගෙන අද වෙන තුරු හරි ලස්සනට පන්සලේ වැඩකටයුතු කරනවා. රජයකටවත් කරන්න බැරි වුණු මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ පිළිමය, ඒ වගේම සෝභිත හිමිපාණන්වහන්සේගේ කෞතුකාගාරය විවෘත කළා.

 

එතකොට කැලණියේ සෝරත හිමි විහාරාධිපති වෙන්නෙ කොහොමද?
ඒක වෙන්නේ සංඝ සභාවේ අත්තනෝමතික තීරණය නිසා. ඊට පස්සේ තමයි සංඝ සභාවේ අනුමැතිය අනුව කැලණියේ සෝරත කියන කෙනා අප පන්සලේ විහාරාධිපති ලෙස පත් වෙන්නේ. බෙල්ලන්විල විමලරතන හාමුදුරුවෝ විනාඩි 45ක් කතා කළා, උසාවියක වාරණ නියෝගයක් තියෙද්දි එහෙම පත්වීම් කරන්න බෑ කියලා කිව්වා. එතකොට එතැන හිටපු නායක හිමිනමක් කියලා තියෙනවා මේක නීති උපදෙස් මත කරන්නෙ කියලා. නමුත් වාරණ නියෝගයක් තියෙනවා වෙන කෙනෙක් පත් කරන්න බෑ කියලා. ඊට පස්සේ අපි නඩුවක් දැම්මා උසාවියට අපහාස කිරීමට විරුද්ධව. අවසානයේ කැලණියේ සෝරත හිමි පත්වුණාට පස්සේ ආපහු කණකොකා හැඬුවා. පස්සේ ඒ හාමුදුරුවෝ තේරුම්අරන් මේක උන්වහන්සේට කරන්න බෑ කියලා පස්සේ සුජාත හාමුදුරුවන්ට කියලා යතුරු වාහන හැමදේම නීතිඥයෝ, නොතාරිස්ලා ඉදිරියේ අත්සන් කරලා භාර දුන්නා.

 

එක්තරා පාර්ශ්වයක් ඔබවහන්සේවත් ඉවත් කරන්න සූදානම් වුණා කියන්නේ ඇත්තද?
ලොකු හාමුදුරුවෝ අපවත් වෙන්නේ 2015 නොවැම්බර් 08 වැනිදා. එතකොට ඔය කියන සංඝ සභාවෙන් මාව ඉවත් කරන්නැයි කියලා නිර්දේශයක් අරන් ඇවිල්ලා තියෙනවා. විනිශ්චකාර සභාවේ තීරණයක් අනුව 2015 දෙසැම්ර්බර් 29 වැනිදා තීරණයක් ගත්තා කියලා 2016 ජනවාරි 18 වැනිදා අධිකරණයට ලියුමක් යනවා. ඒකට මම අභියෝග කරනවා මාගේ ගුරුවරයා අපවත් වී තිබෙන අවස්ථාවක යම් ආකාරයක ලොකු හාමුදුරුවන්ගේත් අකමැත්තක් තියෙනව නම් ඒකත් නිශේධය වෙනවා ලොකු හාමුදුරුවො අපවත් වීමත් සමඟ. එතකොට එහෙම අවස්ථාවක කාගේ අනුදැනුමක් පිටද මේක සිදුවෙන්නේ කියන එකට මම අභියෝග කරනවා. ඇත්තටම අනෙකුත් සංඝ සභාවල් සහ හිමිවරු මේක දැනගන්නෝනි කොයි තරම් නම් තරුණ හිමිවරු සමඟ කේ‍රා්ධයක් තියෙනවද මේ ආයතන/බලයට තියෙන තෘෂ්ණාවට. ඒ හිමිවරු නැවත මේ යෝජනාව කළාට පස්සේ මම ඒක අභියෝගයට ලක් කරලා ලියුමක් යැව්වා. ඒත් ඔවුන් ආපසු ලියුමක් එවනවා. “නෑ. අපි ඔයාව ශිෂ්‍ය භාවයෙන් ඉවත් කරනවා කියලා. පස්සේ මම බුද්ධ ශාසන අමාත්‍යංශයට ලිවුමක් යවනවා මගේ නීතිඥවරු හරහා මට මේ වගේ අකටයුතුකමක් වෙනවා කියලා. ඉන්පසු මම මිරිහාන පොලිසියේ පැමිණිල්ලකුත් දැම්මා. පසුව ඔවුන් 2017 ජූලි මාසේ සූදානම් වෙනවා මාව ශිෂ්‍ය භාවයෙන් අයින් කළා කියලා බුද්ධ ශාසන අමාත්‍යංශය හරහා ලියුමක් එවන්න. ඇත්තටම ඒකට මිනිස්සු කොට්ඨාසයක් ඉන්නවා අගමැතිතුමාගේ ජනාධිපතිතුමාගේ නම විකුණලා වැඩ කරන ශ්‍රමන වේශධාරියෝ ඉන්නවා. ඇත්තටම සංඝ සභාවේ ඉන්න සමහර ශ්‍රමන වේශධාරියෝ ගැන කතා කළාම ඒකේ ඉන්නවා තායිලන්තයේ රත්තරං හොරකමට සම්බන්ධ අය, කාන්තාවන් සමඟ සම්බන්ධකම් තියෙන අය. ඇත්තටම සංඝ සභාවේ විනයක් බලාපොරොත්තු වෙන්න බෑ. යම්කිසි භික්ෂුවක් භික්ෂූත්වයෙන් ඉවත් කරන්න නම් පාරාජික 4 කඩන්න ඕනි. හැබැයි මේ සංඝ සභාවේ ඉන්න අෑයෝ සේරම මේ පාරාජිකාවන් සිද්ධ කරල ඉවරයි. මේ වගේ හාමුදුරුවරු තරුණ භික්ෂුන්වහන්සේලාගේ අනාගතේ නැත්තටම නැති කරලා දානවා. ඒ මොකටද පන්සලකට, බැංකු පොත්වලට, යානවාහනවලට, තණ්හාවට.
අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනි සිටි මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ගේ පන්සලටම, උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසටම මේ විදිහට කරනවා නම් තව මොන කතාද?

 

එක්තරා අවස්ථාවක මැර ප්‍රහාරයකට පන්සල ලක් වුණා කියන කතාව ඇත්තද?
එදා මේ සිදුවීම් වෙච්ච වෙලාවේ මැර කණ්ඩායමක් ඇවිල්ලා පන්සලේ සියලු දේවල් විනාශ කළා. ‍ෙදාරවල් කැඩුවා, වාහනවලට පහර දුන්නා. ඒ මැර කණ්ඩායම සමඟ එන්නේ පොලිසියේ ප්‍රධානියෙක්. ඇවිල්ලා ගේට්ටු වහනවා දායකයන්ට එන්න බැරි වෙන්න හාමුදුරුවරු නිවාස අඩස්සියට ගන්නවා. පන්සලේ හාමුදුරුවරුන්ට කුණුහරුපෙන් කතා කරන්නේ. ඒ වගේම පන්සලේ යතුරු ඉල්ලන්නේ කතෝලිකයෙක්. මේ ඔක්කොම වෙනකොට පොලිස්පතිවරයාට ගත්තම ඔහු දුරකතනයට ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මොකද මගේ අංකය එතුමා දන්නවා. ඒ නිසා එතුමා ඒකට ප්‍රතිචාර දක්වන්නේ නෑ. 119 ගත්තා 15 වතාවක්. ඒත් ප්‍රතිචාර නෑ. ඒක සමථයට පත් වුණේ ඉහළ නායකයෙක්ගේ අනුදැනුමෙන්. ස්වාමීන්වහන්සේලාගේ වැඩමකිරීම සමඟ මැර පිරිස පලා යනවා. එහෙම නොවුණ නම් නාග විහාරය විනාශයට පත් වෙන්න තිබුණා. යහපාලනය පත් කරන්න මුල් වෙච්ච තැනටම ඔහොම වුණා නම් රට ගැන කවර කතාද?

නීත්‍යානුකූල අයිතිය සුජාත හිමිපාණන්වහන්සේටනේ. එතකොට ඔබවහන්සේට මෙතැන භාරකාරිත්වය ලැබෙන්නේ කොහොමද?
මම පත්වීමක් නෙවෙයි. සුජාත හාමුදුරුවො තමයි දිගටම ඉන්නේ.

 

එතකොට සෝරත හාමුදුරුවෝ යද්දි යතුරු කැරලි අරන් ගියා කියන්නේ ඇත්තද?
යතුරු කැරලි අරන් ගියා නෙමෙයි බලෙන් ඉල්ල ගන්න ආවා. ඔවුන් අතුරු තහනම් නියෝගයක් ගෙනාවා පන්සලේ පිංකම් කටයුතු නවත්වන්න. ඔවුන් නියෝගය 8 වැනිදා තමයි ගන්න හිටියේ. එහෙම කළා නම් අපිට දානෙ දෙන්න වෙන්නෙ නෑ. කෞතුකාගාරය විවෘත කරන්න වෙන්නෙ නෑ. කොහොම හරි ඔවුන්ට ඒක සිදුකරගන්න බැරි වුණා. ඒ අතුරු තහනම් නියෝගයට අනුව අපිට වැසිකිලි යන්නයි දානේ වළඳන්නයි විතරයි ඉඩ සලස්වලා තිබුණේ. හැබැයි ඔවුන් ඔය ප්‍රචාරය වුණු කිසිම තැනක කියල තිබුණේ නෑ යතුරු ඉල්ල ගත්ත කියලා නම්.

 

ඒ වෙලාවේ ඔබවහන්සේ ද ඒකට මැදිහත් වුණේ?
නෑ. සුජාත හාමුදුරුවෝ කිව්වා අපි අධිකරණ තීරණයට හිස නමන්න ඕනි. ඒ නිසා අතුරු තහනම් නියෝගය අපි පිළිගමු කියලා. ඒකේ යතුරු ලබාදීමක් හෝ වාහනවල යතුරු ලබාදීමක් ගැන සඳහනක් නෑ. ඒක පැහැදිලිව කියන්න ඕනි.

 

එතකොට වතුරවිල සුජාත හිමිපාණන්වහන්සේ ද මෙතැන නව විහාරාධිපති?
ඔව්. දැනට පන්සලේ නියම උරුමක්කාරය සහ විහාරාධිපතිවහන්සේ වතුරවිල සුජාත හිමිපාණන්වහන්සේ. ඒ වගේම අධිකරණ ක්‍රියාමාර්ගයෙන් කුමන හෝ තීරණයක් එනතුරු හිමිකාරීත්වය ලැබෙන්නේ කොරියාවේ විනීත හිමිපාණන්වහන්සේට උන්වහන්සේත් මාදුළුවාවේ සෝභිත හිමිපාණන්ගේ ශිෂ්‍යයෙක්.

 

මේ වෙනකොට මේ දේවල් සමථයකට පත් වෙලා තියෙනවද?
සමථයකට පත් වෙලා කියන්නෙ කිසිම ප්‍රශ්නයකින් තොරව අපි දායකයන්ට අපෙන් විය යුතු යුතුකම් සිදුකරනවා. ඒ වගේම මට මේ සංඝ සමාජය ගැන ලොකු කලකිරීමක් තියෙනවා. අත්දැකීමෙන් කියන්නේ ඒ කලකිරීම නායක හාමුදුරුවන්ටත් තියෙනවා කියලා පේනවා. ඒකට හොඳම උදාහරණය බෙල්ලන්විල නායක හාමුදුරුවෝ අනුනායක පදවියෙන් ඉවත් වීම. මම සෝභිත හාමුදුරුවන්ගේ අවසන් ගෝලයා, ඒ වගේම මම ආඩම්බර වෙනවා බෙල්ලන්විට හාමුදුරුවො ගත් ක්‍රියා මාර්ගය උන්වහන්සේ මගේ උපාධ්‍යයන්වහන්සේ. ඒ වගේම අවසානයට කියන්න ඕනි පන්සලේ කටයුතු හොඳින් කෙරෙනවා වතුරවිල සිරි සුජාත හිමි තමයි මෙතැන විහාරාධිපති මම උන්වහන්සේට සහය දක්වමින් ඉන්නවා.

 

මේ සංඝ සමාජය ගැන ඔබවහන්සේට මොකද හිතෙන්නේ?
ඇත්තටම දැන් සිවුරු දාගෙන බල තණ්හාවෙන්, මැරකම් ජඩකම් කරන පිරිසක් ඉන්නේ. පහුගිය කාලෙක බැඳුම්කර වංචාකරුවන් බේරගන්න පවා ඉදිරිපත් වුණේ හිමිනමක්. උන්වහන්සේත් මේ සිද්ධියට සම්බන්ධයි. හොරු බේරගන්න සංගම් පවා හදන්නේ හිමිවරු, සංඝ සමාජය ගැන තව මොන කතාද ඉතිං.

සංවාදය – අනුපමා ගල්කඩවල
සටහන – හෂාන් අනුරාධ
ඡායාරූප – ප්‍රමොත් විජේවන්ත

ඉරිදා ඇපල් පුවත්පතෙන් උපුටා ගන්නා ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: