ගයාන්ගේ අම්මා කියන අපි නොදන්න කතාව

නීල අහසට සඳත් ඇවිදින් තරුත් හිනැහෙත්, ඒ අහස යට ගෙයි පහන ළඟ එළිපත්ත උඩ අම්මලා දරුවන් එනතුරු දෑස නොපියා මග බලාගෙන අදත් නිදිවරාගෙන සිටිත. අම්මලා ගෙයි තනිවෙත. දරුවන් ජීවිතේ සොයා උදයේම පිටත්ව හවසට පැමිණෙත. තවත් සමහරු ගමත් හැරදා මව්ත් තනිකර නගරයේ තනිවී ඇත. අම්මලා තනි වුණේ ඇයි? ඒක ප්‍රශ්නයක් තමයි. ඒත් ඒ ප්‍රශ්නයට පිළිතුර අම්මලා ළඟ නැත. උත්තරය ඇත්තේ දරුවන් ළඟම පමණකි.

ඇය ද පුතු එනතුරු නිවසට වී බලා සිටින අම්මෙකි. තනිකමක් ඇතත් එය කියන්නේ නැත. තම ලේ නහර දියකර කිරි කර පෙව් පුතුන් එනතුරු ඇය ද තනිවම නිවසේය. වටපිටාවේ ආදරණීය මිනිසුන් මේ අම්මා වටා රැස් කති. ඇය ඒ සියල්ලන්ටම ආදරය බෙදන්නට ඇය රුසිය. තම පුතු දොරකඩින් ගෙට ඇතුළුවන්නේ මේ වෙලාවටය. ඉන් තප්පරයක් එහාට පරක්කු වුව ද ඒ හිත තිගැස්සෙන්නේය. ඒ අම්මලාගේ හැටිය. දරුවා ඇගේ ඇඟේ කෑල්ලකි. මේ අම්මා පුතුන් දෙදෙනෙක් වැදුවාය. ලොවක් දන්නේ ඒ පුතුන්ගෙන් බාල පුතුය. ඒ ගයාන් සේනානායකය. ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අපූර්වතම දිරිගන්වන්නාය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලිගේ විවාහ මංගල්‍යයට මෙරටින් ආරාධනා ලැබූ එකම පුද්ගලයාය. ඔහු ලොවක් ඉදිරියේ ජීවිතය දිනූ අපූර්ව ධෛර්යයක් ඇත්තෙකි. මේ ඒ රටක් වෙනුවෙන් හඬ නගන පුතුගේ අම්මාගේ ධෛර්යවන්ත කතාවයි.

චිත්‍රානි ද සිල්වා ඇය ගාල්ලේය. ගිංගං කොමළිය මහා සාගරය වැලඳගන්නා ගිංතොට ගමේ ඉපදුණු ඇය සොහොයුරන් දෙදෙනෙකුගේ ලොකු අක්කාය. ඇය මව් පදවිය ලබන්නේ දරුවන් වදන්නට කලින්ම සොහොයුරු පෙමට ඇති සෙනෙහෙවන්ත කමින් බැව් අපට වැටහුණේ මෑතකදී මියගිය සොහොයුරා ගැන ඇය හෙළු කඳුළු කැටවල බර අපේ නෙත් ඉදිරියේ දුටු බැවිනි.

අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්නටය. ඉන් එපිටට ද දුක් ගන්නේ ඒ පුතුන් රජුන් කරන්නටය. මේ එහෙව් අම්මා කෙනෙකි. අම්මලාට දරුවන්ගේ බර බරක් නොවුණි. එය මේ පොළෝතලයේ ඇරඹුමේ පටන් අද දක්වාත් ඉන් එපිටටත් එසේම වනු ඇත. මේ අම්මා ද බර ඉසුලුවේය. තනිවම දරු දෙදෙනෙකුගේ බර ඉසිලුවේය.

ගිංතොට ඉපදුණු ඇය 1976දී කොළඹ කළුබෝවිලට එන්නේ විවාහයෙන් පසුවය. අලුත්ගමින් ඇයට විවාහයක් කරගන්නට ලැබෙන්නේ තම නැන්දනියගේ යෝජනාවක් අනුවය. ඔහු සරලය. සුගමය. තමන්ට බොහෝ ලැදියාවෙන් ආදරය ලබා දෙන්නේය. ඒ මේ අම්මාට දරු දුන් අලුත්ගම තාත්තාය. අලුත්ගම රෙදිපිළි ව්‍යාපාර කටයුතු කරන තම මනමාල මහතා යෝජනාව අනුව මනමාලිය දකින්නට නිවසට පැමිණ මසක් යද්දී මේ සාඩම්බර මව් සමග විවාහ වන්නේය. එතකින් ඒ ජීවිත දෙක තමන්ගේ අලුත් ජීවිතයේ කප්පරක් සිහින පොදි බැඳගෙන කොළඹට සැපත් වන්නේය.

කළුබෝවිල පදිංචි වී සිටින අතර අම්මාට 1978දී කළුබෝවිල රෝහලේම සාත්තු සේවිකා රැකියාව ලැබෙන්නේ මේ යුවළට උපන් බිලිඳුන්ගේ වාසනාවට මෙනි. දින සති මාස ගෙවී යමින් පුංචි ගයාන්ට වයස අවුරුදු හතර ලබද්දී ඒ රත්තරන් තාත්තා හෘදයාබාධයකින් මෙලොව හැර යන්නේ දරු දෙදෙනෙකුගේ අනාගතය තම ආදරණීය බිරිඳගේ සෙනෙහසේ තුරුළු කර තනිකර දමාය. “ජීවිතේ ඔහොමයි… මරණේ කොයි වේලාවේ ද දන්නේ නෑ… එයා ගෙනා ආවුස ඉවර වෙන්න ඇති…” එය උපේක්ෂාසහගත දෑසකි. තම ජීවිතයේ ආදරණීය සහකරුවාගේ නික්ම යාම ඛේදවාචකයක් බවට පත්කර නොගෙන ජීවිතය දිනූ ඇය ධෛර්යවන්ත අම්මාය.

ඒ ආදර කතාවේ ඇතුළට රිංගීමට අපහසුය. එවිට ඒ දෑසින් කඳුළු කඩා හැලේවිදෝ බයක් අපේ හිතට දැනුණු නිසා නිහඬ වීමු. එහෙත් ඇය හඬ අවදි කළාය. “රත්තරන් මනුස්සයා.. අපිට හරි ආදරෙයි. නුගේගොඩ ලොකු රෙදි කඩයක් තිබුණා. ඒකේ තමයි ගයාන්ලගේ තාත්තා වැඩ කළේ. ඉතින් කඬේට එන අලුත් ජාතියේ ඇඳුම්වලින් මුලින්ම මේ අයියටයි මල්ලිටයි ඇඳුම් දෙකක් ගන්න එක තමයි එයා කරන්නේ. ගයාන් අයියට වඩා හරි දඟයි. තාත්තා ආදරෙයි. අයියට වඩා එයා තමයි තාත්තා එක්ක කඬේ දුවන්නේ. කරේ එල්ලිලා එහෙට මෙහෙට පනින්නේ. ඔය ලෙඩ වෙන්න කලින් දවසෙත් අපට අලුත් අවුරුද්දට ඇඳුම් අරගෙන ආවා.

එදා දවල් මං හොස්පිටල් එකේ ඉන්නකොට නර්ස් කෙනෙක් ඇවිත් එන්න කියල මාව එක්කරන් ගියා. එතකොට මෙයා හොස්පිටල් එකට අරගෙන ඇවිල්ලා. එතකොටත් නහරයක් පුපුරලා. දොස්තර මහත්තය මට කිව්වා ඔයාට තත්ත්වය තේරුම් ගන්න පුළුවන් නේද කියල… අනේ එදා එයා අපිව දාලා ගියා…

අපි අවුරුදු විසිපහක් හිටියෙ කළුබෝවිල. පස්සේ තමයි මෙහෙට ආවේ..” ඒ අප ඇය සොයාගෙන ගිය පිළියන්දල නිවසයි. අද ඇය ගයාන් සමග එම නිවසේ ජීවිතයේ සැන්දෑ සමය විඳිමින් සතුටින් සිටිනු දකිනවිට කාට වුව නැගෙන්නේ අපූර්ව වූ සෙනෙහෙවන්ත හිතවත්කමකි.

ගයාන්ගේ වැඩිමහල් සහෝදරයා විවාහ වී වෙනමම ජීවත්වන අතර අම්මාගේ උණුහුම විඳිමින් ගයාන් මෙම නිවසේ රැඳී සිටි. දරුවන්ට කවරදාක වුව උණුහුම දෙන්නට අම්මලා ලෝභ නැත. මේ අම්මා ය. ඇය ද එසේමය. රටක් දිනා ලොවක් හඳුනන පුතු ඇයට තවමත් තමන්ගේ දෝතේ පපුවට තුරුළු වී කිරි සුවඳට නිදියන ලේ කිරි කැටියාය.

“මම ඉතින් වැඩට ගියාම මෙයාලා ඉන්නේ මගේ පුංචි අම්මත් එක්ක. එතකොට පුංචි අම්මා හිටියේ මොරටුවේ පදිංචි වෙලා. ඉතින් මෙයාල බලාගන්න අපේ ගෙදර එනවා.” අදටත් ඇගේ නිවසට දවසට හතර පස් වතාවක් ගොඩවන ගමේ හිතවතුන්ය. මිනිසුන්ට සෙනෙහස උවමනාය. කුළුපඟ හිතවතෙකු උවමනා ය. මේ අම්මා ය. ඒ සඳහා මීට වඩා වෙනත් තැනක් කොතැනකවත් නැත.
“අම්මා හිතුව ද ගයාන් කවදහරි ලෝකයක් දන්නා හඳුනන කෙනෙක් වෙයි කියලා…?”

“මට ඕන වුණේ මොකක්හරි බිස්නස් එකක් කරන්න හුරු කරන්න. මෙයා පුංචි කාලේ ඔය ඇඟේ තියෙන වෙනස මොනවත් තිබුණේ නෑ.. කල්ගත වෙනකොට තමයි පෙන්නුම් කළේ.. ඉතින් මම දොස්තරවරු කීපදෙනෙකුටම පෙන්නුවා… එතකොට මෙයාගේ වයස දඟකාරයි. ඔපරේෂන් කරන්න ඕන කිව්වා.. ඒත් ඒක පොඩිම කාලේ කරන්න ඕන එකක්. දැන් මෙයාගේ වයසත් එක්ක අමාරුයි කිව්වා.. ඉතින් මේ දරුවා දඟලලා කරලා හොඳට ඉන්නවනේ.. ශරීරෙ කපල කොටලා දුක්දෙන්නේ මොකටද කියල මමත් ඒක පස්සේ යන එක නතර කළා…” ඒ අම්මලාගේ හැටිය. අම්මලාගේ අවසන් හුස්ම තෙක් තම දරුවා කවා පොවා නහවා ආදරේ ගිලවා ජිවිතේ ජීවත් කළ හැකිය. අම්මලා එහෙමය.

“ඔහොම ඉන්නකොට අපේ නෑදෑ කෙනෙක්ගෙම තැනක ලොකු පුතාට රස්සාව හම්බුණා. එයා ඉගෙන ගන්න දක්ෂයා.. මෙයා කට්ටි පනිනවා.. ඒ දවස්වල ඉඳලම ක්‍රිකට්වලට කැමතියි. තාත්තා ඉන්නකොට ගෙදර මැච් එක අහනවා. පස්සේ අපි ගත්තා කළු සුදු ටීවී එකක්. ඒ කාලේ තිබුණේ ඒවනේ.. ඉතින් තාත්තා මැච් බලනවා මටත් බැලෙනවා.

කොහොමහරි ඉස්කොලේ යනකොට මැච් බලන්න යන්න පටන් ගත්තා යාළුවොත් එක්ක. ඔය සාමාන්‍ය පෙළ ලියන කාලේ තවත් යාළුවෙක් එක්ක ගල්කිස්සේ ගිහිල්ලා වැටිලා තුවාල කරගෙන ඇවිත් දවස් පහක් හොස්පිටල්. මට ඒ වෙලාවේ හොස්පිටල් එකේ අපේ යාළුවෝ ගොඩක් උදව් කළා. 1994 වෙනකන් මම කළුබෝවිල වැඩ කළානේ.

ඔය ජේවීපී කලබල කාලේ වැඩ කරන්න තහනම් කළානේ. මම ඒ දවස්වලත් වැඩ කළා.. මමයි අපේ තව යාළුවෝ කීපදෙනෙකුයි පාට ඇඳුම් ඇඳගෙන වැඩ කළේ.. ඉතින් රෑට ලියුම් එහෙම දාලා යනවා… අපි ජීවත් වෙන්න එපැයි.. ඉතින් අපි වැඩ කළා…” ඒ අම්මා දරුවන් රක්ෂා කරන හැටිය. ඇයට ඇකයේ හොවා හදන දරුවාට වඩා ජීවිතයවත් වටින්නේ නැත..

“මට කළුබෝවිලින් අයි.ඩී.එච්. එකට මාරුවක් හම්බුණා.. ඉතින් එහේ ක්වාටස් හම්බෙනවනේ. මම ඉතින් මෙයාට පුංචි කඩයක් දාලා දුන්නා දැන් මේක කරමු කියලා.. කොහෙද මැච් එකක් තියෙන දවසට කඬේ වහල යාළුවෝ එක්ක මැච් බලන්න යනවා.. නැත්නම් මාව කඬේ නවත්වනවා. ඔහොම ගිහින් තමයි දැන් මේ හැමදාම ලංකාව වෙනුවෙන් යන්න ලැබුණේ.” ඇගේ මඳහස ඒ පුතුන් ගැන හදවතේ ඇති මහා දාරක ස්නේහයේ පිළිඹිබුවයි. එය වචන කරන්නට තරම් අප පොහොසත් නැත.

පුතුන්ට රජ ගෙවල් තනනවා විනා අම්මලා රජ ගෙවල්වල සිට සැප විඳින්නට ආසාවක් නැත. අම්මලාගේ සැප තමන් හැදූ දරුවන්ගේ සතුටු මුහුණ බැලීම පමණකි. ඒ අම්මලාගේ හැටිය.

“මටත් ඔය මැච් බලන්න යන්න කතා කරනවා. මට ඉතින් ඕවයි ගිහින් ඉන්න බැහැනේ.. පස්සේ දඹදිව එක්ක යන්න හැදුවා.. දැන් මේ වයසත් එක්ක ඔය ගමන් බිමන් අපට බෑ.. මම මේ යන මැච් ටීවී එකෙන් බලනවා.

මුලින්ම ඉතින් යාළුවෝ තමයි කොළඹ මැච් බලන්න ටිකට් අරන්දීලා එක්කරගෙන යන්නේ. ඔහොම යනකොට ජයන්ත ධර්මදාස මහත්මයා හමුවෙලා එතුමා හිතවත් වෙලා තමයි මෙයාට දිගටම මැච් බලන්න හම්බුණේ. මුලින්ම 2005දී ගියේ බංගලිදේසෙටනේ.”

“ඉතින් අම්මා දැක්කද ගයාන්ව ටීවී එකෙන්?”

“ඔව් ඔව් මම බලාගෙන හිටියේ මේකේ..” ඇය ටීවී එක දෙසට අත දික්කරමින් කියයි. “මටත් පුදුමයි. මෙයාව පෙන්නුවා ටීවී එකේ.. ටීම් එකේ අයත් පුදුම වෙලා තිබුණා මෙයා දැකලා කොහොමද මෙයා ආවේ කියලා.” ඒ හfඬ් ඇත්තේ බොහෝ සෙයින්ම අහිංසක ආඩම්බරයකි. මේ ඇය නොපැතූ සිහිනයකි.

ඒ සිහිනය පුතුට උදා කළ ධෛර්යවන්ත අම්මාගේ සෙනෙහස ගැන තවත් බොහෝ දේ කීමට ඇතත් කඩදාසි අවකාශයේ අකුරුවලට ඇති ඉඩ මෙතෙකින් අවසන්ය. ඉතින් අපි තවත් අම්මා කෙනෙකුන් සොයා යමු…

කසුන් ගනේවත්ත

What do you think of this post?
  • නියමයි (0%)
  • වටිනවා (0%)
  • සතුටුයි (0%)
  • දුකයි (0%)
  • තරහයි (0%)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 2 =