ගල්කිස්ස අධිකරණයෙන් සොයාගත් ගිනි අවි සම්බන්දයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 20ක් රිමාන්ඩ්

March 2, 2017 | 3:34 pm    0   483

ගල්කිස්ස අධිකරණයෙන් සොයාගත් ගිනි අවි සම්බන්දයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 20ක් රිමාන්ඩ්

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ දී ගිනි අවි සහ උණ්ඩ සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 20 දෙනා මෙම මස 13 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ සැකකරුවන් අද දින(02) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේ අධිකරණ භූමියේ රැදී සිටි පුද්ගලයින් 09 දෙනෙකු සහ අදාළ සිදුවීම වන අවස්ථාවේ අධිකරණ භූමියට පැමිණි පුද්ගලයින් 11 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ බවයි.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ බෑගයක දමා තිබියදී පිස්තෝලයක්, රිවෝල්වරයක් ඇතුළු එම ගිනි අවි සඳහා යොදාගන්නා උණ්ඩ 10ක් ඊයේ(01) පෙරවරුවේ පොලීසිය විසින් සොයාගනු ලැබීය.

එම ගිනි අවි වෙඩි තැබීම සඳහා සූදානම් තත්ත්වයේ තිබී ඇති බවට පොලීසිය සිදුකළ විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් හා සැකකරුවන් භාරව පැමිණි බන්ධනාගාර නිලධාරීන්ගෙන් මෙන්ම අධිකරණයේ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් 16 දෙනෙකු රත්මලාන , වැටකෙයියාවත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් බවත්, ඉන් එක් පුද්ගලයෙකු විසින් අධිකරණ භූමියට ගිනි අවි රැගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණව වී තිබේ.

එම පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට  පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

සොයාගන්නා ලද ගිනි අවි දෙක ඇඟිලි සළකුණු දත්ත වාර්තා ලබාගැනීමට සහ විද්‍යාත්මක පරීක්ෂණයන්ට ලක් කිරීම සඳහා අපරාධ වාර්තා කොට්ඨාශයට භාර දී තිබේ.

මෙම ගිනි අවි රැගෙන එන ලද්දේ කුමන අපරාධයක් සිදුකිරීම සඳහාද, ගිනි අවි රැගෙන ආ පුද්ගලයින් කවුරුන්ද යන්න පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

– අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: