ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත දිවියෙන් සමුගනී…

June 8, 2017 | 5:06 pm    0   268

ගායන ශිල්පී ප්‍රින්ස් උදය ප්‍රියන්ත දිවියෙන් සමුගනී…

පෙම්වතුන් සිනාසෙද්දි කඳුළු වෙනුවට ජීවිතය ඉල්ලු ප්‍රින්ස් උදය ප්‍රියන්ත අද යළි නොයෙන්නම ගිහින්ය…

1990 දශකයේ මුල් අවධියයි. 88-89 අඳුරු සෙවණැලි මතින් ආලෝකයේ නැවුම් හිරු ධාරාවන් සොයාගිය තාරුණ්‍යය ප්‍රේමයේ හාංකවිසිය සොයන්නට විය. නාමල් උඩුගම, ප්‍රින්ස් උදය ප්‍රියන්ත, විජේබණ්ඩාර වැලිතුඩුව වැනි නැවුම් කටහඬවල් කිහිපයක් එවකට තාරණ්‍යයේ හදවත් කොනිත්තද්දී එයින් හදවත සනහාගන්නටද, රිදවාගන්නටද තරුණ තරුණියන් රොද බැඳ ගන්නට විය. එදවස mp3, mp4, CD පට නොමැති වුවත් කැසට් පටයක දෙපැත්තකින් රොද බැඳ ගත් තරුණ තරුණියෝ උමතුවට පත්වූහ. ඒ උමතුවට පත්වූ ලක්ෂ සංඛ්‍යාත කොල්ලන් කෙල්ලන් අතර සිටි බොහෝදෙනා ප්‍රින්ස් උදය ප්‍රියන්ත නම් ඒ තාරුණ්‍යයේ ආදරණිය කලකරුවා සිය ජීවන විජිතයෙන් මිට සුළු මොහොතකට පෙර යලි නොයෙන්නම නික්ම ගිය බව නම් විස්වාස නොකරනු ඇත. ඒ තරම්ම ප්‍රින්ස් එකල තාරුණ්‍යය සමග බද්ද වී සිටියේය. ඒ නිසාවෙන්ම එම වියෝව ප්‍රින්ස්ගේ රසිකයන්ට දරාගන්නට නොහැකි වනු නොවනුමානය.

 

මේ කලාකරුවගේ ශෝචනීය ඉරණම පිලිබඳ මිට සති දෙකකට පෙර අපී “ඉරිදා ඇපල්” පුවත්පත් මගින් රටටම අනාවරණය කළෙමු..
එහිදී අසාධ්‍ය තත්වයේ පසුවූ ප්‍රින්ස් උදය ප්‍රියන්ත අපත් සමගින් අමාරුවෙන් වචන පටලව පටලවමින් අදහස් හුවමාරු කරගත්තේ මෙලෙසිනි.
“මල්ලිලා කොහෙන්ද ආවේ. බොහොම ස්තූතියි මම බලන්න ආවට, ජීවිතේ කියන්නේ මේකට තමයි. සතුට කියන එක දැන් මට මතකවත් නෑ. මට දැන් ඉන්නෙ නංගි විතරයි. එයා තමයි, මගේ අම්මා. මට කවන්නෙ, පොවන්නෙ, ‍ෙදාට්ට පිලට එක්ක යන්නෙත් එයා. එයා මගේ කාර් එක ඩ්‍රයිව් කරගෙන මාව බෙහෙත් ගේන්න එක්කං යනවා. මට ආස කෑම බීම කන්න එක්ක යනවා. අපි දෙන්න අලුත් සිංදුවක් කරනවා.”

ඔහු කියූ නොතේරෙන වචන මැද ඉතිරිවූ අර්ථ තුළ ඔහුගේ මුහුණ දෙස බලා සිටි අපට එහෙමවත් බලන්නට ප්‍රින්ස් අද නැත.
පෙම්වතුන් සිනාසේ, වෙරළ කොනක සිට, නිල්වන් ගුවන්ගැබේ, සංගීත සාගරේ, සඳරේණු වෑහෙනා වැනි ගීත අපේ පරම්පරාවේ හදවත් තුළ ඉතිරි කළ ඒ අසහාය ගායකයාගේ පණ නල ගිලිහුණු දේහය දෙස බලමින් අපට ඉතිරිව ඇත්තේ සෝ සුසුම් හෙලීමට පමණි.

මේ සියල්ල මෙසේ සිදුවීමට පෙර මේ සොඳුරු ගායකයාගේ ඉරණම වෙනුවෙන් අපට කල හැකි දේ කරන්නට අප සැලසුම් කර තිබිණි. ඒ වෙනුවෙන් අප පුවත්පත ක්‍රියාත්මක වන අතරතුර සඳහා කුමාරයා නොකියම යන්න ගිහින්ය…


“මල්ලි මගේ පොටෝ එක පත්තරේ දානකොට ලස්සනට දාන්න. වටේම මල් තියන්න. ලස්සන කරන්න.”
ඔහු වෙනුවෙන් ඇස් අගට ඉනූ කඳුළු එදා ආයාසයෙන් සිරකරගත්ත ද අද ඒවා නිම හිම නැතිව ඔහේ ගලාගෙන යයි.


ආදරණිය සහෞදයාණෙනි… ඔබට නිවන් සුව….!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: