ගාලුමුවදොර ජාතික කොඩියේ නොදන්නා කතාව

March 23, 2017 | 11:00 am    0   393

ගාලුමුවදොර  ජාතික කොඩියේ නොදන්නා කතාව

ශ්‍රී  ලාංකික ජනතාවගේ දෙපා සීරුවෙන් තබන හිස් කෙලින් කරන නහරක් පාසා දුවන ජාතිකානුරාගය හදවතට දනවන හොඳම තැන අපේ ජාතික ධජය. අහසට එසවුණු සිංහ කොඩිය දකින වාරයක් පාසා අපේ හදවතට වචනයෙන් කියන්න බැරි ගාම්භීර හැඟීමක් හීන් සිරුවට ඇති වෙන්නේ උපන් බිමත් එක්ක අපේ තියෙන බැඳීම සිහිපත් වෙන නිසයි. ඒ ජාතිකාභිමානය දවස් 365ක් වුණ වසරක හැම දවසකම ලෝකයාට ප්‍රදර්ශනය කරන එකම තැන ගාලු මුව‍ෙදාරෙහි එසැවෙන ජාතික ධජයයි.

හැමදාමත් වගේ ජාතික උත්සවයකදී විශේෂ රාජ්‍ය උත්සවයකදී එහෙමත් නැතිනම් විශේෂ අවස්ථාවකදී ගරුබුහුමන් මැද ජාතික ධජය ඔසවන්න ශ්‍රී  ලාංකිකයන් අමතක නොකළත් ගාලු මුව‍ෙදාර පිටියෙහි එසවෙන ජාතික ධජය දිනපතාම දෙනෙතේ රැදෙන දෙයක්. ගාලු පාරේ එහා මෙහා යන වාරයක් පාසා ඔබේ නෙත ගැටන ගාලු මුව‍ෙදාරෙන් එන මුහුදු හුළඟට රිද්මයට සෙලවෙන මේ ජාතික ධජය ඔබත් නිරන්තරයෙන් දැක ඇති. ඒත් ඒ ධජය දිනපතා එකම විදියට ලෙල දෙන රිද්මය පිටුපස ඇති වෑයම ඔබ දැක නැතිව ඇති. බොහෝ දුරට අහලත් නැතුව ඇති.

උස අඩි ‍ෙදාළහ හමාරක් වුණ පළල අඩි විසිපහක් තරම් වුණ ලංකාවේ විශාලම ජාතික ධජය ඒ විදියට පොළොවේ සිට අඩි සීයක උසින් දිනපතාම වැජඹෙන්නේ තවත් ශ්‍රමයක දායකත්වයෙනුයි. ඔබ උදෑසනට එහෙම නැතිනම් හවස් වරුවේ ගාලු මුව‍ෙදාර පිටියෙහි සැරිසරන කෙනෙක් නම්, ගාලු පාරේ එහා මෙහා ගමන් කරන්නෙක් නම්, ලංකාවේ විශාලතම ජාතික ධජය අඩි සීයයක් උසට ඔසවන්නත් එසවූ ගෞරවයෙන්ම නැවත පහළට ගන්නත් දරන ආචාරශීලී වෑයම ඇතැම් විට දැක තියෙන්නත් පුළුවන්. හැමදාම කොළඹ අහසේ ලෙලදෙන මේ ජාතික කොඩිය කාටත් සාමාන්‍ය දෙයක් වුණාට ඒ දර්ශනය ඔබට සාමාන්‍ය කරන්නට නිරන්තරයෙන් සේවයෙහි යෙදුණු පිරිසක් ඒ වෙනුවෙන් අපරිමිතව කැප වෙලා ඉන්නවා.

ලාංකිකයන්ගේ මුදුන්මල්කඩ වුණ ජාතික ධජය ඒ විදියට මුදුනෙහි රඳවලා නිරතුරු පවත්වාගෙන යන්න කැපවෙලා ඉන්නෙත් රට මුර කරන්නට කැපවුනු අපේ ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන්මයි. මේ භාරධූර රාජකාරිය ත්‍රිවිධ හමුදාවෙන්ම මාස්පතා කාල සීමා බෙදා හදා ගනිමින් ඉටු කරන රාජකාරියක්. ජාතික කොඩියට ලබා දිය යුතු උපරිම ගෞරව බහුමානයන් ලබා දෙමින් සිදු වෙන මේ රාජකාරියට දායක වෙන්නෙත් සාමාන්‍යයෙන් ජනාධිපතිතුමාගේ සම්මාන මුරයට සහභාගී වන හමුදා නිළධාරින්මයි. මේ වෙන කොට ඒ ගෞරවනීය කාර්යයෙහි නිරතවෙලා ඉන්නේ ශ්‍රී  ලංකා ගුවන් හමුදාවයි. හැම අවුරුද්දකම ජනවාරි මාසේ ඉඳලා මාර්තු 31 වෙනකල් කොඩිය එසවීම හා නැවත පහළට ගැනීමේ රාජකාරිය පැවරිලා තියෙන්නෙ ශ්‍රී  ලංකා ගුවන් හමුදාවටයි. මාර්තු මාසෙන් පස්සේ නැවත මාස හයක් මේ රාජකාරිය පැවරෙන්නේ ශ්‍රී  ලංකා යුද හමුදාවේ නිලධාරීන්ටයි. ඉතිරි මාස තුනේ මේ කාර්යයේ වගකීම ඉටු කරන්නේ ශ්‍රී  ලංකා නාවික හමුදාවයි. අන්න ඒ විදිහටයි ඔබ හැමදාමත් දකින ඒ ජාතික කොඩිය කිසිම වෙනසක් නැතුව සුපුරුදු අභිමානයෙන්ම ලෙල දෙන්නේ. ඒ කාර්ය දිනපතාම ඉටු කරන්න අදාළ බලකායට අයත් නිලධාරීන් තිදෙනෙක් ඒ සඳහාම රාජකාරියේ නිරත වෙලා ඉන්නවා. මේ දිනවල ඒ රාජකාරියේ නිරතවෙලා ඉන්නෙ ශ්‍රී  ලංකා ගුවන් හමුදාව නිසා ඒ වෙනුවෙන් වගකීමෙහි කැපවෙලා ඉන්නේ ගුවන් හමුදාවට අයත් නිලධාරීන් තුන්දෙනෙක්. නායක ගුවන් භටයින් දෙදෙනෙක් හා කෝප්‍රල්වරයෙක්ගෙන් සැදුණු කණ්ඩායමක් තමයි මේ මස 31 වෙනකල් ලංකාවේ විශාලතම ජාතික කොඩියේ උදෑසන එසවීම් හා හවස නැවත පහළට ගැනීමේ කටයුත්තේ නිරත වෙලා ඉන්නේ. මේ රාජකාරිය ත්‍රිවිධ හමුදාවෙන් කොයි ඒකකය යටතේ සිදු වුණත් ජාතික කොඩියට ලබා දිය යුතු ගරු බුහුමන් වගේම ආචාර සමාචාර ලබා දීලයි ඒ ගෞරවනීය කටයුත්ත සිද්ධ වෙන්නේ.

උදාවෙන හැම දවසකම පාන්දර හයටත් සවස හයටත් මේ රාජකාරිය අදාළ නිලධාරීන් තිදෙනා අතින් සාම්ප්‍රදායානුකූල ආචාර උපහාරයන් මධ්‍යයේ සිද්ධ වෙනවා. මීට අමතරව උදේ හයේ ඉඳලා හවස හය වෙනකල් කොඩිය ගැන අවධානයෙන් ඉන්න එකත් කොයි මොහොතක හරි එය එතුනොත් එය නැවත සකස් කරන්නත් මේ නිලධාරීන් තුන්දෙනා දවසේම ඉන්නෙ අවධානයෙන්. හැමදාමත් ගාලු මුව‍ෙදාර පිටියේ අෑත අහසට එසවෙලා තියෙන සිංහ කොඩියේ පහළින් තියෙන ඔබ නොදත් කතාව තමයි මේක. ජාතික කොඩියට ලබා දිය යුතු උපරිම ගෞරවය ලබා දීලා දවස් ගානේ කොඩිය පවත්වාගෙන යන භාරධූර කාර්ය පිටිපස්සෙ තියෙන්නෙත් ත්‍රිවිධ හමුදාවේ වගකීම් සහගත කැපවීමයි. ඒ වගේම මේ ජාතික කොඩිය අවට පරිසරය වගේම ඒ හා බැඳුණු සියලුම නඩත්තු කටයුතු කරන්නේ ශ්‍රී  ලංකා වරාය අධිකාරියයි. වරාය අධිකාරියේ නඩත්තු කිරීම්වලටත් ත්‍රිවිධ හමුදාවේ ආචාර සමාචාරයන්ගෙනුත් ගරුබුහුමන් සැළකිලි- ලබමින් ගාලු මුව‍ෙදාර පිටියෙහි ඉහළ අහසට නැගි ජාතික ධජය ශ්‍රී  ලංකාවේ අනන්‍යතාවය ලොවට  කියන්නට නිහඬ වෑයමක් දරන උදාර සංකේතයක්. 2008 වර්ෂයේ පෙබරවාරි 04 වැනිදා ආරම්භ කරපු මේ කර්තව්‍ය වර්තමානය දක්වා කිසිම අතුරු අන්තරාවකින් තොරව අභිමානයෙන් ඉටු කිරීමේ ගෞරවය  ශ්‍රී  ලංකා ත්‍රිවිධ හමුදාවට හිමි විය යුතු අතර එය නඩත්තු කොට පවත්වා ගෙන යාම වෙනුවෙන් ශ්‍රී  ලංකා වරාය අධිකාරියට ස්තූතිවන්ත විය යුතුයි.

ඉහළට එසවුණ සෑම ජීවිතයකම පහළින් ඇති නොපෙනෙ කතාවක් සේ ලංකාවටම අභිමානයක් ගෙන දෙමින් වැජඹෙන ලංකාවේ විශාලතම ජාතික ධජය පිටුපස රැඳුණු කතාවත් අන්න ඒ විදියයි. ඒ නිසා ගාලු පාරේ එහා මෙහා යද්දී ගාලු මුව‍ෙදාර පිටියෙහි සංචාරය කරද්දී අහස දෙසට නැගුණු අපේ මේ ජාතික ධජය දිහා වෙනදාට වඩා මොහොතක් නැවතී ගෞරව දෑස් දල්වා බලන්න අමතක කරන්න එපා

අචලා පියරත්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: