ගැහැණු ගුණ මර්ධනය නොකර වර්ධනය වෙන්න – වරුණි අමුණුගම ප්‍රනාන්දු කළමනාකරණ අධ්‍යක්ෂිකා – Triad

March 13, 2017 | 4:00 pm    0   355

ගැහැණු ගුණ මර්ධනය නොකර වර්ධනය වෙන්න – වරුණි අමුණුගම ප්‍රනාන්දු කළමනාකරණ අධ්‍යක්ෂිකා – Triad

ඇඩ්වර්ටයිසින් කියන්නේ කලාවක්. ජීවිතේ ඕනම දේකට ගළපගන්න පුළුවන් කලාවක්. නිර්මාණශීලීත්වය තියෙන ඕනම ඔළුවකට මේ ක්ෂේත්‍රය තුළ යන්න පුළුවන් දුර බොහොමයි. ඒකට ඔබ පිරිමියෙක්ද කාන්තාවක්ද කියන එක අදාළ වෙන්නෙ ඒ ක්ෂේත්‍රය ඇතුළේ ඔබට ඔබේ විනය පවත්වා ගෙන යන්න බැරි නම් විතරයි. එහෙම නැති නම් ඇඩ්වර්ටයිසින් කියන්නේ පිරිමින්ටත් වඩා කාන්තාවන් උපතින්ම අරගෙන එන හැකියාවක්. ඒ හැකියාව සුන්දර ගැහැණුකම හා ජීවන ගුණයන් එක්ක ගළපවාගෙන මේ ක්ෂේත්‍රය තුළින් දුර ගමනක් ගිය ඇය කියපු මේ අදහස්වල තිබුණෙ විශාල ඇඩ්වර්ටයිසින් ආයතනයක හිමිකාරිනියකගේ අදහස් නොව සාමාන්‍ය කාන්තාවගේ ජීවන දැක්මක්. සිතුවිලිවල සුන්දරත්වය වචනවලින් හෙළි කළ හදවතේ සුන්දරත්වය මුහුණෙන් පෙනෙන ඇය වරුණි අමුණුගම ප්‍රනාන්දු. ඇඩ්වර්ටයිසින් තුළ දුර ගමනක් ආවත් ජීවිතය තුළ තාමත් මැදිහත් ගමනක් යන ඇගේ ජීවිත කතාව වෘත්තියෙනුත්, ජීවිතයෙනුත් සාර්ථක වන්නට හීන දකින කාන්තාවන්ට ආදර්ශයක් වේවි.

මිනිස්සුන්ට දැනෙන වෙනසක් කරන්න ඕන වුණා
මම ඉගෙන ගත්තෙ නීතිය. ඒත් විශ්විවිද්‍යාලයේ ඉගෙන ගන්න කාලෙ ඉඳලම මට ඕන වුණේ නීතියෙන් ඉදිරියට යනවට වඩා මිනිස්සුන්ට දැනෙන වෙනසක් කරන්න. ඒ උවමනාවෙන් මගේ ගමන පටන්ගත්තා කීවොත් හරි. නිර්මාණශීලී වැඩ කරන්න තිබුණ ආසාවත් එක්ක මම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න අතරතුර ෆීනික්ස් ඇඩ්වටයිසින් ආයතනයට සම්බන්ධ වුණා. ඒ හරහා ලැබුණ අත්දැකීමුත් එක්ක මේ ව්‍යාපාර පටන්ගන්න යම් කිසි අදහසක් ලබාගන්න පුළුවන් වුණා. අනිත් දේ තමයි දැන්වීම්කරණය වගේ ව්‍යාපාරයක් පටන් ගන්න මුදල් පදනමක් තියෙන්න ඕන නෑ. අපි විකුණන්නෙ අදහස්. ඒ නිසා මේ ව්‍යාපාරය අපි පටන් ගත්තා. පටන් ගන්නකොට හිටියේ තුන්දෙනයි. අද විශාල ප්‍රමාණයක් මේ ආයතනය තුළ සේවය කරනවා.

සන්නිවේදනයට නීතීඥවරියකට වඩා දෙයක් කරන්න පුළුවන්
සන්නිවේදනය කියන්නේ මින්ස්සුන්ව හරි පැත්තට පොළඹවගන්න පුළුවන් මාධ්‍යයක්. ඒ හරහා තමා සමාජයට පණිවිඩ අරන් යන්නේ. ඉතින් මේ කාර්යයට සම්බන්ධ වෙලා සුබවාදීව මිනිස්සුන්ට ජීවිතේ විඳින්නෙ කොහොමද කියන එක කියල දෙන්න මේ ක්ෂේත්‍රය තුළින් පුළුවන්. ඒ නිසයි නීතීඥවරියක් නොවී මේ ක්ෂේත්‍රය තුළම රැඳී ඉන්න තීරණය කළේ. මම හිතන්නේ මම මේ කරන දේ ව්‍යාපාරයක් විතරක්ම නෙමේ. ව්‍යාපාරයක් කියන අදහස සමාජ සිතුවිල්ලක් විතරයි.

දේශපාලනයට මගේ කිසිම ආසාවක් නෑ
මට නම් දේශපාලනය කියන්නේ බොහොම අප්‍රසන්න දෙයක්. තාත්තව වුණත් මම දකින්නේ තාත්තා කෙනෙක් විදියට විතරයි. ඒ නිසා දේශාපලනය පිළිබඳව මගේ කිසිම නැඹුරුතාවයක් නෑ.

හවුල් ව්‍යාපාර තමයි සාර්ථක වෙන්න හොඳම මාර්ගය
හවුල් ව්‍යාපාර කියන්නෙ මම නම් දකින විදියට වටිනාම දෙයක්. සාමාන්‍යයෙන් ඕනෙම දෙයක් හවුලෙ කරන්න හරිම අමාරුයි. අපි හැමෝම කැමති අපි හිතන විදියට අපේ අනන්‍යතාවය රැගෙන වැඩ කරන්න. ඒත් මේ ව්‍යාපාරය තුළ අපි සාර්ථකත්වයක් ලබලා තියෙනවා නම් ඒ partnership එක නිසා. ඇත්තටම ඒ දර්ශනය මට කියල දුන්නේ දිලිත්. ඒ නිසා මම විශ්වාස කරන්නේ හවුල් ව්‍යාපාර තමයි සාර්ථකත්වයේ ඉහළටම යන්න හොඳම විදිය. අපි හැමෝගෙම තියෙන විවිධාකාර හැකියාවන්වලින් හවුල් ව්‍යාපාරයකට වෙනස් දේවල් කරන්න පුළුවන්. හවුල් ව්‍යාපාරයකදී තියෙන්නෙ ඕන ගුණාංග කිහිපයක් තියනවා. කණ්ඩායමක් විදියට වැඩ කරන්න අදාළ සාමාජිකයන් අතර හොඳ විශ්වාසයක් තියෙන්න ඕන. ඒ වගේම ඒ විශ්වාසය අපි බලාපොරොත්තු වන එකම දෙයක් වෙනුවෙන් යොමුවෙන්න ඕන. අනිත් දේ තමයි අපි කරන හැමදේකින්ම ලාබයට එහා ගියපු දෙයක් අපි දකින්න ඕන. ඒ විදියට අපි වැඩ කරනවා නම් හවුල් ව්‍යාපාර කරන්න පුළුවන්.

ජීවිතේ කඩා වැටුණොත් අපි ඒකෙත් හවුල්කාරයෝ
මගේ ජීවිතෙත් වැරදුණු තැන් බිඳ වැටුණු තැන් තියනවා. ඉස්සරහටත් වරදින්න පුළුවන්. ජීවිතේ හැටි එහෙමයි. හැබැයි වරදින හැමදේම නිවැරදි කරගන්නත් පුළුවන් විදියක් තියෙනවා. බිඳ වැටෙන හැම වෙලාවකම නැඟිටින්නත් විදියක් තියෙනවා. ජීවිතේ වැරදුණත්, බිඳ වැටුණත් ඒකෙන් නිදහස් වෙන්න අපිට බෑ. මොකද අපි ඒවගේත් හවුල්කාරයෝ. ඒ නිසා වරදින, කඩා වැටෙන හැම වෙලාවකම වැරදුණ තැන නිවැරදි කරගත්ත නම් හරි.

වැරදි නිවැරදි කරගන්න ඉගෙන ගත්තෙ තාත්තගෙන්
මගේ ජීවිතේ ගොඩක් දේවල්වලට වැඩි බලපෑමක් ඇවිත් තියෙන්නේ තාත්තගෙන්. වැරදුණු තැන්වලදි ආයෙත් නිවැරදි වෙන්න මම ඉගෙන ගත්තෙ තාත්තගෙන්. ඒවගේම පොතින් පතින් ලබාගත්ත දැනුමෙන්.

මම තෘප්තිමත්
මම අද මං ඉන්න තැන ගැන ගොඩක් තෘප්තිමත්. ඒත් මේ දේවල් සදාකාලික නෑ. අද මෙහෙම වුණාට හෙට කොහොම වෙයිද දන්නේ නෑ. හැබැයි ඒ දේවල් කොහොම වුණත් මට ඒවට මුහුණ දෙන්න පුළුවන් වේවි. මං මට ලැබිලා තියෙන දේවල් ගැන තෘප්තිමත් වෙනව වගේම ඒ දේවල්වලට කෘතඥ වෙනවා.

ක්ෂේත්‍රය කුමක් වුණත් ස්වයං විනයයි වැදගත්
දැන්වීම්කරණය කියන්නේ කාන්තාවන් විශාල වශයෙන් නිරතවෙලා ඉන්න ක්ෂේත්‍රයක්. කාන්තාවට ඒ හැකියාව උපතින්ම උරුමයි. හැබැයි කොයි ක්ෂේත්‍රයක හිටියත් ස්වයං විනයක් පවත්වාගෙන යනව නම් ඕනම ක්ෂේත්‍රයක ඉන්න පුළුවන්. කාට වුණත් යම් වැරැද්දක් වෙනව නම් වෙන්නෙ ක්ෂේත්‍රයේ තියන අවුලක් නිසා නෙවේ තමන්ට විනයක් නැතිකමිනුයි.

ගැහැණියක් බහු අරමුණු තියන කෙනෙක්
අද ඉන්න ගොඩක් තරුණියන් හිතන්නේ පවුල් ජීවිතයට වඩා වැදගත් රස්සාව කියල. ඒත් ගැහැණියකට ලැබෙන ලොකුම වරම තමයි මවක් වීම. ඒ වගේම බිරිඳක් වන එක. එහෙනම් ඇයි අපි ඒ දේවල් අතහැරලා වෘත්තියට විතරක් කොටු වෙන්නේ? කාන්තාවක් කියන්නේ විවිධ අරමුණු තියන කෙනෙක්. ඒ අරමුණුවලට ගැළපෙන ගුණාංගයන් ඇය අරගෙන එන්නේ උපතින්මයි. ඒ නිසා පවුල් ජීවිතය වගේම වෘත්තියත් දෙකම කොහොමද හරියට පවත්වාගෙන යන්නේ කියල බලන එකයි වැදගත්.

මම මිනිස්සුන්ට උදව් කරනවා
මං ගොඩක් කැමති මිනිස්සුන්ට උදව් කරන්න. මටත් ගොඩක් අය මේ තැනට එන්න උදව්ු කරලා තියෙනවා. හැබැයි උදව්ව කියන සංකල්පය මම දකින්නේ වෙනම විදියකට. අපි කාටහරි උදව් කරන්න ඕන ඉදිරියක් ඇතිව. නිකම්ම සල්ලි දීලා උදව් කළාට වැඩක් නෑ ඒ මනුස්සයාවත් දියුණු කරන්න ඕන ඉදිරිය වෙනුවෙන්.

රූපලාවන්‍ය හා සෞඛ්‍ය කියන්නේ දෙකක්
ගොඩක් අය මම දැන් බැඳලා, වයසයි කියලා හිතලා තමන් ගැන අමතක කරනවා. ඒ රූපලාවන්‍ය පැත්තෙන්. ඒත් සෞඛ්‍ය කියන්නේ වෙනම දෙයක්. අපි වයසට යනකොට අපිට දැනගන්න ඕන අපේ සෞඛ්‍ය තත්ත්වය පාලනය කරගන්න. ඒකට මම නම් සතියකට දවස් 5ක් 7ක් ව්‍යායාම කරනවා. ශරීරයට වගේම ආධ්‍යාත්මයටත් අවශ්‍ය දේවල් කරනවා. සතුටින් ජීවත් වෙනවා. මේ මොහොතෙ අපිට දුක්වෙන්න ඕනතරම් හේතු තියෙන්න පුළුවන්. හැබැයි හිතලා බැලුවොත් සන්තෝෂ වෙන්න ඊටත් වඩා හේතු තියෙන්න පුළුවන්. ඒ නිසා සතුටින් ඉන්න. සෞඛ්‍ය සම්පන්න වෙන්න. ඒකෙන් ඔබව නිරායාසයෙන්ම ලස්සන වේවි.

ගැහැණු ගුණ මර්ධනය නොකර වර්ධනය විය යුතුයි
කාන්තාවකට අවශ්‍ය නම් පිරිමින් හා සම තැන විතරක් නෙමේ ඔවුන්ට ඉදිරියෙන් ඉන්නත් පුළුවන්. හැබැයි ඒ ඉදිරිය තියෙන්න ඕන බලයෙන් ශක්තියෙන් නෙමේ මනසින්. ඒක තම තමන් තීරණය කරන්න ඕන තමන් ඉන්නෙ කොතනද කියලා. පිරිමින්ට සමව ඉන්නවද, ඉදිරියෙන් ඉන්නවද, එහෙම නැතිනම් පිරිමියාට පසුපසින් ඉඳලා එයාට උදව් කරනව ද කියලා. මම නම් හිතන විදියට ගැහැණිය කියන්නේ සුන්දර කෙනෙක්. අපි අපේ ශක්තිය පෙන්නන්න ගොරෝසු චරිතයක් විය යුතු නැහැ. අපිට ස්වභාවධර්මයෙන් ලැබුණු ගැහැණු ගුණ තියනවා. කාන්තාවක් හිතන්න ඕන කොහොමද තමන්ට ලැබුණු ගුණ පාවිච්චි කරලා තමන්ගේ හොඳ මර්ධනය නොකර වර්ධනය කරගන්නේ කියලා.

සුබවාදීව ජීවත් වෙන්න
අපිට පහුවදාට නැඟිටගනන් පුළුවන් වුණා නම් ඒකම අපට ලැබෙන ලොකු භාග්‍යයක්. ඒ හින්දා මේ ලැබුණු ජීවිතේ සන්තෝෂයෙන් සුබවාදීව අනිත් අයට උදවු කරමින් ජීවත් වෙන්න. ඒක ලේසි දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි තමන්ට හිතින් හිතලා සතුටු වෙන්න පුළුවන් විදියට ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමා ජීවිතේ කියන්නේ.

අචලා පියරත්න
ඡායාරූප – ජගත් නානායක්කාර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: