ගිනිගැණුනු බඩගින්න

March 14, 2017 | 2:00 pm    0   477

ගිනිගැණුනු බඩගින්න

නූතන ලෝකයේ මුළු මහත් සමාජයම වෙලාගෙන තියෙන දැවැන්ත අර්බුදය තමයි යුද්ධය සහ බඩගින්න. යුද්ධයේ අතුරු ප්‍රතිඵලයක් වුණු සාගතය මේ වෙනකොට උණ්ඩ සහ බෝම්බ නොකළ දේ සිදුකරමින් තිබෙනවා. මේ සාගතය විසින් ඇස් පනා පිටම අනුභව කරන්නේ මුලු ලෝකයේම අනාගතය වූ දරුවන්වයි. විශාල දරුණු ගණයේ යුධ කෝලාහලවලදී සාමාන්‍ය ජනතාව බෝම්බ, උණ්ඩ ප්‍රහාරවලට ලක්වී මරණයට පත් වන අතර මෙවන් යුධමය අවස්ථාවලදී සිදුවන වෙනත් වක්‍රාකාර හේතුන් නිසාද විශාල ජනතාවක් මරණයට පත් වෙනවා. මෙයට හොඳම උදාහරණය සපයන්නේ මුලු ලෝකයටම ඛේදවාචකයක් කළ දෙවන ලෝක යුද්ධයයි. දෙවන ලෝක යුද්ධයේදී ආසන්න වශයෙන් සිදුව තිබෙන සියලු හමුදා මරණ සංඛ්‍යාව මිලියන විස්සක්. ඒ හා සමගාමීව ලෝකය පුරා මිලියන විස්සකට වඩා විශාල ජනතාවක් සාගතය සහ ඒ ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් වද වේදනා විඳිමින් අන්ත දුක්ඛදායක තත්ත්වයෙන් මරණයට පත්ව තිබෙනවා. මිනිසා විසින් නිර්මාණය කරන ලද කල කෝලාහලයක ප්‍රථිපල නිසා බලාපොරොත්තු නොවූ ව්‍යසනයකින් මිය පරලොව ගිය අහිංසක ජනතාව මේ අතරේ සිටිනවා.කොටින්ම කියනවනම් දෙවන ලෝක යුද්ධය මිනිස් ජීවිත පාවුණ ලෝක යුද්ධයක්.

මෑත ඉතිහාසයේ දරුණුතම ඛේදවාචකය වුණු 2004 භූමිකම්පාවෙන් සහ සුනාමි උවදුරෙන් මියගිය සමස්ත ජනතාව ආසන්න වශයෙන් 280,000ක් පමණ වෙනවා. නමුත් එවකට ලෝකයේ ජීවත් වූ බිලියන 2.8 ජනතාවගෙන් 3%ක් ඒ කියන්නේ දශලක්ෂ 60ක ජනතාවක් මිනිසාගේම නිර්මාණයක් වුණු දෙවන ලෝක යුද්ධය හේතුවෙන් ලෝකයට අහිමි වුණා.

ඉතිහාසය පුරා ලෝකයේ විවිධ රටවලින් පාරිසරික හේතුමත ඇතිවන දරුණු ස්වභාවික විපත් පිළිබඳව අපට අසන්නට, දකින්නට ලැබෙනවා. එහෙත් මනුෂ්‍යයන් සාගතයෙන් මියයාම කියන දරුණුම විපත්තියේ ආරම්භය සිද්ධ වෙන්නේ 1958 වසරේ චීනයෙන්. එය ස්වභාවික විපතක් නොව මිනිසා විසින්ම ඇතිකරගනු ලැබූ විපතක් කිව්වොත් නිවැරැදියි. 1958 වසරේ මහජන චීන සමූහාණ්ඩුව පිහිට වූ මාඕ සේතුං එරට තුල කඩිනම් ආර්ථික සංවර්ධනයක් ඇති කිරීම උදෙසා විශේෂ ප්‍රතිසංස්කරණ කටයුතු කිහිපයක් සිදු කිරීමට තීරණය කරනවා. ඒ අනුව මහජන සෞඛ්‍ය රැක ගැනීමට සහ කෘෂිකාර්මික භෝග වගාව ආරක්ෂා කරගැනීම සඳහා සතුන් වර්ග 4ක් සම්පූර්ණයෙන්ම වඳ කිරීමට ඔහු තීරණය කළා. ඒ අනුව ගේ කුරුල්ලන්, මදුරුවන්, මැස්සන් සහ මීයන් යන සතුන් සම්පූර්ණයෙන්ම වඳකර දැමීමට නියෝග කෙරුණා. මේ අතරින් ධාන්‍ය වර්ග කෑමට වැඩි කැමැත්තක් දක්වන යුරේසියානු ගේ කුරුල්ලන් (Urasian Tree Sparrow) වඳ කිරීම ගැන විශේෂ අවධානයක් යොමු කෙරුණා. මෙය හැඳින්වුනේ ‘ගේ කුරුල්ලන් වඳ කිරීමේ ව්‍යාපෘතිය’ ලෙසටයි. අද වැනි කාලයක පරිසර හිතකාමී සතුන් සමූල ඝාතනය දෙවරක් සිතා බැලිය යුතු කරුණක් වුණත් එදා එය එසේ සිදුවුණේ නෑ. මේ ව්‍යාපෘතියේදී දස ලක්ෂ ගණනින් ගේ කුරුල්ලන් මරා දැමුණා. 1960 වසරේදී මෙහි සෘජු ප්‍රථිපලයක් විදිහට මිනිසුන් දස ලක්ෂ ගණනක් සාගතයෙන් මිය යන්නට වුණා. එයට හේතුව වුණේ ධාන්‍ය පමණක් නොව වගාවන්ට අහිතකර කෘමි සතුන් ආහාරයට ගත් ගේ කුරුල්ලන් සමූල ඝාතනයෙන් කෘමි උවදුරු සීඝ්‍රයෙන් ඉහළ යාම ජන ජීවිතයට තර්ජනයක් වීමයි. ඒ අනුව දස ලක්ෂ 36කට අධික ජනතාවක් මේ සාගතයෙන් මිය ගියා. සාගතය කොතරම් දරුණුද කියතොත් මිනිසුන් විසින් මිනිසුන් කා දැමීමේ සිද්ධින් පවා දහස් ගණනින් වාර්තා වුණා. මේ තරම් විශාල මිනිසුන් සංඛ්‍යාවක් මියයාමට හේතු වූ සාගතය ගේ කුරුල්ලන් වඳ කිරීමේ ව්‍යාපෘතියෙන් ආරම්භ වන අතර අදටත් චීනයේ මේ කාලය හැඳින්වෙන්නේ ‘අවුරුදු 3ක දුෂ්කර කාල සීමාව’ ලෙසටයි.

දැන් මේ කතා කරන්නේ නියඟයක් හෝ දැඩි නියඟයක් ගැන නෙවෙයි. වර්තමානයේ සාගතයක් නිසා සිදුවීමට යන බලවත් ඛේදවාචකයක් ගැනයි. මොනතරම් වෑයම් කලත් මුලු ලෝකය පුරාම මිනිසුන් මිලියන ගණනින් තවමත් දුගී දුප්පත් කමෙන් පෙළෙනවා. එක්සත් ජාතීන් විසින් ප්‍රකාශ කරන ආකාරයට මේ වෙනකොට අධික සාගතයෙන් සහ බඩගින්නෙන් පීඩා විඳින රටවල් 4ක් වශයෙන් යේමනය, දකුණු සූඩානය, සෝමාලියාව සහ නයිජීරියාව හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව යේමනයේ මිලියන 14.1 ජනතාවක් ද, දකුණු සූඩානයේ මිලියන 4.9ක ජනතාවක් ද, සෝමාලියාවේ මිලියන 2.9ක ජනතාවක් ද, නයිජීරියාවේ මිලියන 1.8ක ජනතාවක් ද වර්තමානයේ මේ කටුක ආහාර අර්බුධයට මුහුණ දෙමින් සිටිනවා. ඒ අනුව මුලු ලෝකයේම අවධානය පිණිස මේ රටවල්වල පවතින අධික ආහාර අර්බුධය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර අවසන්.

එක්සත් ජාතීන් විසින් සාගතය යන්න අත්‍යවශ්‍ය අවස්ථාවලදී අර්ථ දැක්වීමට 20%ක ගෘහස්ත ජනතාවකට අවම ආහාර සංචිතයක් පවත්වා ගැනීමට තියෙන නොහැකියාව, 30%කට වඩා වැඩි මන්දපෝෂණ තත්ත්වයක් ඉක්මවීම, 10,000ක ජනතාවකගෙන් මන්දපෝෂණය හේතුවෙන් දවසකට මරණ 2කකට වැඩි ගණනක් සිදු වීම යන තත්ත්වයන් හඳුනාගෙන තිබෙනවා. සරල අර්ථයෙන් මරණය, මන්දපෝෂණය සහ බඩගින්න යන තුනම එකට එකතු වූ විට මෙම සාගතය යන තත්ත්වය නිර්මාණය වනවා. මීට අමතරව සමාජ තත්ත්වයේ කඩා වැටීම, රෝග පැතිර යාම, දිලිඳුකම, යුද්ධයක් හෝ විශාල ආපදා තත්ත්වයකින් සිදු වන මහා පරිමාණයේ අවතැන්වීම් යනාදියත් සාගතයකට හේතු වශයෙන් පෙන්වා දිය හැකියි.
මේ මොහොත වනවිට යේමනයේ අනාගත දරුවන් සාගතය විසින් ඇස් පනා පිට අනුභව කරමින් සිටිනවා. 2015 වසරේ සන්නද්ධ කණ්ඩායම් විසින් යේමන් රජය පෙරලා දැමීමෙන් අනතුරුව යේමනයේ ජන ජීවිතය බිඳ වැටුණු බිඳ වැටිල්ල කොතරම්ද කියනවනම්, මේ වෙනකොට ඒ රටේ අතීතය, වර්තමානය සහ අනාගතය යන තුනම පසුවෙන්නේ කුසගින්නෙන්. එරට 3,500කට වැඩි සාමාන්‍ය වැසියන් පිරිසක් මේ දක්වා යුද්ධයෙන් මිය ගොස් තිබෙන අතර ඉතුරු ජනජීවිත මේ සාගතය අභිමුඛයේ විනාශවෙමින් තිබෙනවා.

මිලියන 12ක් පමණ වූ දකුණු සූඩාන් ජනතාවගෙන් හරි අඩක්ම මේ ඛේදවාචකයට මුහුණ දෙමින් සිටිනවා. යුධ ගැටුම් හේතුවෙන් මිලියන 2ක පමණ ජනතාවකට සිය නිවෙස් අතහැර පලා යාමට සිදුව තිබෙන අතර ලක්ෂ ගණනක පිරිසක් අසල්වැසි රටවල්වලට පලාගොස් තිබෙනවා. මනුෂ්‍යත්වය ඉදිරියේ බලලෝභයෙන් මත් වී සිටින දකුණු සූඩානයේ නායකයන් ජනතාවගේ යහපත නොතකා දිගින් දිගටම සටන් වැදීම දකුණු සූඩානයේ මිලියන 2.5කට ආසන්න ජනතාවක් දරුණු සාගතය අභිමුඛයේ සිටීමට ප්‍රධාන හේතුවයි.

ඉතිහාසයේ සූඩාන සාගතයේ දරුණු බව කියැවෙන ලෝක ප්‍රසිද්ධ ඡායාරූපයක් ගැන ඔබ අසන්න, දකින්න ඇති. 1993 වසරේ මාර්තු මාසයේ එවකට සූඩාන සංචාරයේ නිරතව සිටි දකුණු අප්‍රිකානු ඡායාරෑප ශිල්පී කෙවින් කාටර් මෙම දර්ශනය පියවි ඇසින් දැක ඡායාරූපයට නැගූ පුද්ගලයායි. සූඩාන සාගතය විසින් ඉතා දරුණු ලෙස හාමතින් පෙළන ලද හිස තබා අතක් පයක් එසවීමට තරම්වත් වාරු නොමැති කුඩා දරුවෙකු ගිනි අව්වේ පිච්චෙමින් හෙමිහෙමින් බිම දිගේ ඇදී ඇදී යන්නේ කිලෝමීටරයක දුරින් පිහිටි යාබද එක්සත් ජාතීන්ගේ ආහාර බෙදා දීමේ මධ්‍යස්ථානය කරා ළඟා වීමටයි. සත්ත්ව මළකුණු ආහාරයට ගැනීම මත යැපෙන ගිජුලිහිණියෙකු රහසින් කුඩා දරුවා පසු පසින් ඇවිදිමින් යන්නේ කිනම් හෝ මොහොතක මස් නැතිවුණද, මස්කොට ගිලදමන්නට මසින් තොර මේ සිඟිති සිරුරේ අන්තිම පණ බිඳුව ගිලිහෙන තුරුය. එයයි එම ඡායාරෑපයේ පෙනෙන කතාව.

‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතට විකිණුනු මෙම ඡායාරූපය පසුව වෙනත් බොහෝ පුවත්පත් හරහා ලොවම කම්පා කරමින් සීග්‍රයෙන් ප්‍රසිද්ධියට පත්වීමත් සමගම මෙම ඡායාරූපය වෙනුවෙන් ඔහු  පුලිස්ටර් සම්මානයෙන් පිදුම් ලැබුවා. ඡායාරූප ශිල්පී කෙවින් කාටර් ඇතුලු ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත්පත නිරුත්තර කළ පැනය වූයේ මේ කුඩා දරුවාගේ අවසන් ඉරණම කුමක් වීද යන්නයි. කුඩා දරුවාට ඉන් අනතුරුව සිදු වූ දෙය ඡායාරූපය ගත් සැණින් එතැනින් ඉවත්ව ගිය කෙවින් ඇතුලු කිසිවෙකුවත් දැන සිටියේ නෑ. සාගතයේ දරුණු බව කියැවෙන එවැනි දර්ශන ඡායාරූපයට නැගීම පමණක් ඔහුගේ රාජකාරිය වුණත් රෝග සම්ප්‍රේෂණය සිදු විය හැකි නිසා එවැනි දුර්භීක්ෂයෙන් පීඩා විඳින දරුවන් කිසිවිටෙකත් ස්පර්ශ නොකිරීමට ඔහුට උපදෙස් ලැබී තිබුණා.

නමුත් සම්මානයෙන් පිදුම් ලැබ මාස තුනකට පසුව ඔහු සිය දිවි නසා ගනිමින් තම ජීවිතයෙන් සමුගන්නේ ඒ මොහොත වෙනුවෙන් තම ජීවිතයෙන් වන්දි ගෙවීමට තීරණය කරමින්. ආර්ථික දුෂ්කරතා මැද මොහොතකට හෝ තම හෘද්‍යසාක්ෂිය වල දමා මෙවන් ඡායාරූපයක් ගැනීමට පෙළඹුනු කෙවින්ට එවන් මොහොතක් මොහොතක්ම නොවන බව පසුව සිතෙන්නට ඇති.

වර්තමානය ගත් කළ ඉතියෝපියාවේ සාගතය මේ කල්පයේදී නිමා වෙන්නේ නැහැ. සදාකාලික බඩගින්න මුළු ඉතියෝපියාව ආක්‍රමණය කරගෙන තිබෙනවා. ගවයන්ගේ සහ කොටළුවන්ගේ මූත්‍රා බොමින් අන්ත දුක්ඛදායක තත්ත්වයකින් දිවි ගෙවන අනාගත පරපුර ඒ රටේ සාගතයේ නාමයෙන් දවසින් දවස මැරි මැරි උපදිනවා.

දශක ගණනාවකට පසු සෝමාලියාවට මේ දිනවල දරුණු නියං සහ සාගත තත්ත්වයක් හටගෙන තියෙනවා. සෝමාලියාවේ මේ දැඩි නියඟයට නැගෙනහිර සහ දකුණු අප්‍රිකානු ස්වභාවික කාළගුණික සංසිද්ධිය බලපා ඇති බවයි විශේෂඥයන් ප්‍රකාශ කර සිටියේ. දැනට වසර තුනකින් ඔවුන්ට වැසි ලැබී නෑ. මීට වසර පහකට කලින් පැවතුනු නියං තත්ත්වයෙන් 260,000කට ආසන්න ජනතාවක් මියගොස් තිබෙන අතර මෙවර ඒ ඛේදවාචකයට මුහුණ දෙමින් සිටින සංඛ්‍යාව මීට වඩා ඉහළ මට්ටමක් වන බවයි වාර්තා වෙන්නේ. මේ වනවිටත් මිලියන තුනක ජනතාවක් දැඩි ආහාර අර්බුධයකට මුහුණ දෙමින් සිටිනවා.ඉකුත් මාසයේ දවස් දෙකක් ඇතුලතදී මිනිසුන් 110ක් මරණයට පත්ව තිබෙනවා. කෘෂිකර්මාන්තයෙන් දිවි රැකගන්නා මේ ජනතාවට ඔවුන්ගේ ජීවනෝපාය පවා මේ වෙනකොට අහිමි වී අවසන්. එළුවන්, ඔටුවන් වැනි ගොවිපල සතුන් පිපාසයෙන් මියගිහින් ඉරි තලා ගිය කර්ශක පොළොවටම දිරාපත් වෙලා. ගොවියන් විශාල ගණනක් මේ වෙනකොට නවාතැන් ගන්නේ අනාථ කඳවුරු වල. මේ ජනතාව ආහාර නොමැති කමෙන් විජලන තත්ත්වයකින්ද පෙළෙනවා. මොවුන් යන්තමින් හෝ ජීවත් වීමේ බලාපොරොත්තුව කැටි කරගනිමින් ලෝකයේ විශාලතම සරණාගත කඳවුර පිහිටි අසල්වැසි කෙන්යාවට පලා යමින් සිටිනවා. මේ රටවල අති බහුතරයක් ජනතාවගේ ජීවනෝපාය මාර්ගය කෘෂිකර්මාන්තය වන අතර යුද්ධය හේතුවෙන් කෘෂිකර්මාන්තයට සිදුව තිබෙන පීඩාව මේ රටවල ජනතාවට ජීවත් වන්නට තිබෙන එකම ආදායම් මාර්ගයත් අහිමි කර තිබෙනවා. කෙසේ නමුත් වර්තමානයේ ලෝකයේ පවතින මෙම උඝ්‍ර ආහාර අවශ්‍යතාවය දැන් දැන් වේගයෙන් පැතිර යාමේ අවධානම් තත්ත්වයක් පෙන්නුම් කරනවා.ගෝලීය වශයෙන් බලපෑම් ඇති කරමින් තිබෙන මේ සාගත තත්ත්වය මැඩලීමට එක්සත් ජාතීන් ප්‍රකාශ කරන ආකාරයට දැනට ඩොලර් බිලියන 4.4ක හදිසි ආධාර අවශ්‍යතාවයක් තිබෙන නමුත් මේ වන විට ලැබී තියෙන්නේ ඩොලර් මිලියන 90ක ආධාර ප්‍රමාණයක් පමණයි.

යුද්ධයක් නොමැතිව රටක ආර්ථිකයක් කිසිදා මේ තරම් බලවත් කඩාවැටීමකට ලක් වෙන්නේ නැති බව සරල සත්‍යයක්. රටේ දේශපාලන නායකයින්ට විවිධ ජනවාර්ගික කණ්ඩායම් සමඟ බලය සහ සම්පත් බෙදාගැනීමේ ගැටුමේ තරඟය හේතුවෙන් පැන නැගී ඇති යුධමය තත්ත්වය ජන ජීවිතවලට මේ ආකාරයේ ඛේදනීය තත්ත්වයක් ඇති කරන්නට සමත්ව තිබෙනවා.

2017 වසරේ කිසිවකුත් සාගතයෙන් මිය යා යුතු නෑ. ලෝකයාට ප්‍රමාණවත් තරමේ ආහාර පාන තිබෙනවා. මනුෂ්‍යත්වයේ නාමයෙන් ඒවා බෙදා හදාගෙන ජීවත්වනවා නම් කිසිවකුත් සාගතයෙන් මිය යායුතු නෑ. කිසිවිටෙකත් ආහාර නාස්ති කරන්නටවත් තව කෙනෙකුට කෑම ටිකක් දෙන්නටවත් මැලිවෙන්න එපා. බඩගින්න තරම් අපිට උහුලන්නට බැරි වෙනත් ගින්නක් නොමැති තරම්. අපිට තවමත් අපේ අන්තිම හුස්ම පොද ආහාර එක්ක කිසිදු සම්බන්ධයක් දක්වනවා ඇතැයි නොසිතුණත් මේ මොහොතේ ජීවිතයේ එකම අවශ්‍යතාවය ආහාර වෙලා තියෙන අනන්තවත් ජීවිත මේ මහපොළොවේ දැඩි කුසගින්නෙන් වේදනාවෙන් පෙළෙමින් යන්තම් හෝ කුසට ආහාර බිඳක් ලැබෙනතුරු, නික්මෙන්නට තනතන අන්තිම හුස්ම පොද අමාරුවෙන් හරි රැකගන්නට වෙරදරනවා. මොහොතකට සිතන්න ඒ අය වෙනුවෙන් අපට කරන්න තියෙන්නේ මොනවද?

ගිනිගැණුනු බඩගින්න

එෆ්. ෂර්මිලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: