ගීතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම ගැලවෙන ලකුණු

March 16, 2017 | 11:00 am    0   285

ගීතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීකම ගැලවෙන ලකුණු

ඉකුත් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවන අවස්ථාව වන විට ස්විස්ටර්ලන්ත පුරවැසියකු වූ ගීතා කුමාරසිංහ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත් වීමට හෝ කටයුතු කිරීමට සුදුසු නැති බව නීතිපතිවරයා පසුගියදා (14) අභියාචනාධිකරණයට දන්වා සිටියේය.

එබැවින් පාර්ලිමේන්තු වරප්‍රසාද පනත අනුව හිමිකම් ලැබීමට ඇයට නොහැකි බවද ද්විත්ව පුරවැසිභාවය ලබා සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා මහතා සඳහන් කෙළේය.

එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ – ස්විස්ටර්ලන්ත පුරවැසිභාවයෙන් ඉවත් වී ඇති බවට ප්‍රකාශ කළද ඒ බව ලිඛිතව ඉදිරිපත් කිරීමට හෝ ඒ බව තහවුරු කිරීම සඳහා ලිපි ලේඛන ඉදිරිපත් කිරීමට අපොහොසත්ව ඇතැයි නීතිපතිවරයා පසුගියදා (14) අභියාචනාධිකරණයට තවදුරටත් දන්වා සිටියේය.

පසුගියදාාළ ලිපි ලේඛනද ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාගේ උපදෙස් මත ආගමන විගමන පාලකවරයා ගීතා කුමාරසිංහ මහත්මියට දැනුම් දී ඇතත් ඊට කිසිදු ප්‍රතිචාරයක් මේ වන තෙක් ඇය දක්වා නැතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය ‍සොලිසිටර් ජනරාල් ජනක් ද සිල්වා මහතා කියා සිටියේය.

වෙනත් රටක පුරවැසියකු මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීම නීති විරෝධී සහ මැතිවරණ පනතට පවා පටහැනි බව හෙතෙම සඳහන් කෙළේය. පෙත්සම පිළිබඳ තීන්දුව මැයි 03 වැනිදා ප්‍රකාශයට පත් කෙරෙන අතර ඒ පිළිබඳ ලිඛිත දේශන අප්‍රේල් 05 හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුය.

ස්විස්ටර්ලන්ත පුරවැසිභාවය ලබා තිබියදී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත්වීම සහ කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ බව කීය.

අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියෙහි මෙම පෙත්සම පසුගියදා(14) කැඳවන ලදී.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම ප්‍රශ්නගත කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ ස්ථාවරය පැහැදිලි කෙළේය.
ආගමන විගමන දෙපාර්තමේන්තු වාර්තා අනුව 2006 අගෝස්තු මස 29 වැනිදා ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය ස්විස්ටර්ලන්ත පුරවැසිභාවය සඳහා අයදුම් කර ඇති අතර සැප්තැම්බර් මස 19 වැනිදා එම පුරවැසිභාවය 17096 දරන අංකය යටතේ ඇයට ලැබී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කීය. එසේ තිබියදී තමන්ට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් නිකුත් කරන ලෙසද ද්විත්ව පුරවැසිභාවය එහි සඳහන් ‍නොකරන ලෙසද ඉල්ලා ඇය ආගමන විගමන පාලකවරයාට 2015 ඔක්තෝබර් මස 30 වැනිදා ලිපියක් යොමු කර ඇති බව හෙතෙම කීය.

මෙම ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නඩුවක් විභාගවන බව දැන සිටි ආගමන විගමන පාලකවරයා ඒ සම්බන්ධව ලැබුණු නීතිපතිවරයාගේ උපදෙස් මත ද්විත්ව පුරවැසිභාවය ඉවත්කරගැනීම සනාථ කරන ලෙස ඇයට ලිඛිතව දැනුම් දුන් බවද හෙතෙම කීය.
ඒ අනුව තමා තවදුරටත් ස්විස්ටර්ලන්ත පුරවැසියකු නොවන බව සඳහන් ලිපියක් සහ එම පුරවැසිභාවය ඉවත් කර ගත් ලිපි ඉදිරිපත් කරන ලෙස ඇයට දැන්වූ බවද හෙතෙම කීය.

එහෙත් පසුගියදා වන තෙක් ඊට ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සැබෑ ලෙසට ඇය ස්විස්ටර්ලන්ත පුරවැසිභාවය ඉවත් කර ගත් බව සනාථ කිරීම සඳහා කිසිදු සාක්කියක් ඉදිරිපත් කිරීමට ඇය අපොහොසත්ව ඇතැයිද සඳහන් කෙළේය.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වෙනත් රටක පුරවැසියකුට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි කටයුතු කළ නොහැකි අතර ඒ අනුව ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද ලැබීමට සුදුසුකම් නොලබන බව හෙතෙම සඳහන් කෙළේය.

ගාල්ල ප්‍රදේශයේ ඡන්ද දායකයන් පිරිසක් වන එන්.ඩබ්ලිව්.ඊ. බුවනෙක, ජේ.කේ. අමරවර්ධන, ජේ.කේ. විජේසිංහ, එච්.එල්.පී. දීප්තිලාල් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබුණි.

ගීතා කුමාරසිංහ, ආගමන විගමන පාලකවරයා, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයා, පාර්ලිමේන්තු මහලේකම්වරයා මෙහි වගඋත්තරකරුවෝ වෙති.

දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කරන ගීතා කුමාරසිංහ මහත්මිය ඒ සඳහා සුදුසු නොවන බවට ප්‍රකාශයක් කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබුණි.

නීතිඥ ජේ.සී. වැලිඅමුණ මහතා පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහතා වගඋත්තරකාර ගීතා කුමාරසිංහ මහත්මිය වෙනුවෙන් පෙනී සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: