ගෝලීය සංවර්ධනයේ සලකුණ ඊශ්‍රායලය

April 18, 2017 | 10:00 am    0   932

ගෝලීය සංවර්ධනයේ සලකුණ ඊශ්‍රායලය

 

පසුගියදා එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන විසදුම් ජාලය විසින් එළිදැක්වීමට යෙදුණු ලෝකයේ වඩාත්ම සතුටින් මිනිසුන් දිවි ගෙවන රටවල් පිළිබද වාර්තාව ලොව පුරා කාගේත් කතාබහට ලක් විය. එහි පළමු වන ස්ථානය ලෙස 7.53ක පමණ අගයක් හිමිකරගත් නෝර්වේ රාජ්‍ය නම් කර තිබූ අතර, පිළිවෙළින් ඩෙන්මාර්කය සහ අයිස්ලන්තය එහි දෙවන හා තෙවන ස්ථාන හිමිකර ගැනීමට සමත් වී තිබුණි. එහි ශ්‍රී ලංකාවට හිමිවී තිබුණේ 120 වන ස්ථානය වන අතර දකුණු ආසියානු කලාපයට අයත් අපගේ සහෝදර රාජ්‍යන් දෙකක් වන භූතානය සහ බංගලාදේශය එම දර්ශකයේ 97 සහ 110 යන ස්ථාන ලබා ගනිමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අභිබවා යෑමට සමත් වී තිබේ. නමුත් මෙහිදී වඩාත් අවධානයට ලක්වනුයේ ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ හෝ ඇමරිකා එක්සත් ජනපදයට මෙහි හිමිව තිබූ ස්ථානයන් පිළිබදව නොව ඇමරිකාව සහ අයර්ලන්තයද පරදා මෙම දර්ශකයේ 11 වන ස්ථානය හිමිකරගත් මැද පෙරදිග රාජ්‍යක් වන ඊශ්‍රායලය පිළිබඳවය.

ඊශ්‍රායලය නිරතුරුව ලෝක අවධානයට ලක්වන්නේ ගාසා තීරය පිළිබදව පලස්තීනයත් සමඟ ඇති කරගෙන තිබෙන අර්බුදය සහ එම නිසා නිරන්තරව දෙපිරිස අතර පැන නගිනා ගැටුම් හේතුවෙනි. එමෙන්ම ඉස්ලාම් රාජ්‍යයන්ගෙන් වටවූ මැද පෙරදිග එකම ඉස්ලාම් නොවන රාජ්‍ය වීම හේතුවෙන් බොහෝ අවස්ථාවන්හීදී අනෙක් රාජ්‍යන් සමඟ ඇති කරගන්නා ගැටුම් නිසාවෙන් ජාත්‍යන්තර මාධ්‍යන් තුළ ඊශ්‍රායලය නිරන්තර කතාබහට ලක්වන්නා වූ රාජ්‍යක් බවට පත්ව තිබේ. ලෝකය හමුවේ යුධකාමී රාජ්‍යක් ලෙස නම් දරා සිටියද ඊශ්‍රායලය තුළ සැඟවුණු සංවර්ධනය, තාක්ෂණික දියුණුව අප මවිත කරවන සුළුය.

පැරණි යුදෙව් බයිබලයට සහ පුරාවිද්‍යා සාධකයන්ට අනුව ඊශ්‍රායලය සහ යුදෙව් ජාතිය වසර 3000ක පමණ ඉතිහාසයකට හිමිකම් කියති. ක්‍රි.පූ 1050 සිට 1012 දක්වා රජකම් කළ “සෝවුල්” රජු පැරණි ඊශ්‍රායල් රාජධානියේ ප්‍රථම රජු ලෙස සැළකෙන අතර ඉන් පසුව පිළිවෙළින් ඉශ්බාල් (ක්‍රි.පූ 1010-1008), ඬේවිඞ් (ක්‍රි.පූ 1008-970), සොලමන් (970-931) සහ රෙහොබෝවම් (931-930) යන රජවරුන් රාජ්‍යත්වයට පත්වූ බවට සැළකේ. නමුත් වර්තමානයේ පවතින ඊශ්‍රායලය බිහිවන්නේ 20 වන සියවසේ මැද භාගයේ පමණය. ඒ 2වන ලෝක යුද්ධයේ හිට්ලර්ගේ ක්‍රියාකලාපය නිසා විනාශ වූ සහ අවතැන් වූ යුදෙව් ජාතිය වෙනුවෙනි. හිට්ලර්ගේ යුදෙව් විරෝධී වැඩපිළිවෙල නිසා යුදෙව් ජාතිකයන් මිලියන ගණනක් මියගිය අතර විශාල පිරිසක් අවතැන් වූහ. එම නිසා 2වන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව ඇමරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශවික රටවල් එකතු වී එලෙස විසිරී ගිය යුදෙව් ජාතිය වෙනුවෙන් වෙනම රාජ්‍යක් ලෙස 1948 මැයි 11 වන දින වර්තමාන ඊශ්‍රායලය පිහිටුවන ලදි.

බහුතර ඉස්ලාම් රාජ්‍යන් අතර යුදෙව් රාජ්‍යක් ස්ථාපිත කිරීම පිළිබදව ආරම්භයේ සිටම මැදපෙරදිග අනෙකුත් රාජ්‍යන් එතරම් කැමැත්තක් දැක්වූයේ නැත. බලෙන් මෙන් මැද පෙරදිග තුළ ස්ථාපනය කළ ඊශ්‍රායලය ද අනෙකුත් අසල්වැසි රාජ්‍යන් කෙරෙහි දැක්වූයේ එතරම් සුහදශීලී ආකල්පයක් නොවේ. ඇමරිකාව සහ බටහිර සමඟ ඊශ්‍රායලය පවත්වනු ලැබූ සමීප සම්බන්ධතාවය නොයෙක් විට මැද පෙරදිග තුළ විවේචනයට ලක්විය. ඒ තුළින් සිදුවූයේ ඊශ්‍රායලය ශක්තිමත් ජාතියක් බවට පත්වීම තම එකම අරමුණ කොටගෙන කටයුතු කිරීමයි. එමෙන්ම 2 වන ලෝක යුද්ධයේ දී මුහුණ දුන් ඒ අමිහිරි අත්දැකීම් විසින් ශක්තිමත් ජාතියක් ලෙස එකමුතු වීමට සහ ගොඩනැඟීමට ඊශ්‍රායලයට අවශ්‍ය පාදම සකස් කර දී තිබුණි.
1949 දී පිහිටවීමෙන් පසු වසර 17ක පමණ කෙටි කාලයකදී ඊශ්‍රායලයට මුහුණ දීමට සිදුවන්නේ ඉතා අපහසු කාල පරිච්ඡේදයකටය. සෙසු මැද පෙරදිග රටවල් මෙම නව රාජ්‍යට අභියෝග කිරීමට පටන් ගන්නේ තවත් යුද්ධයක ආරම්භය සනිටුහන් කරමිනි. ඊජිප්තුව, සිරියාව, ජෝර්දානය, ඉරාකය සහ ලෙබනනය මෙසේ ඊශ්‍රායලයට එරෙහිව යුධ වදින අතර සෙසු මැද පෙරදිග රාජ්‍යන් සහ ලිබියාව, ඇල්ජීරියාව, ඊජිප්තුව වැනි අප්‍රිකානු රටවල්ද ඊශ්‍රායලයට එරෙහි යුද්ධය සදහා අනෙකුත් රාජ්‍යන්ට සහයෝගය ලබාදීමට කටයුතු යෙදුණි. එහිදී වසර 17ක පමණ යෞවනයෙකු වූ ඊශ්‍රායලය මෙම රටවල් සමූහය හමුවේ පරාජය ලබනු ඇතැයි ලෝකයම විශ්වාස කළද, සිදුවූයේ එහි අනෙක් පැත්තය. ඒ ලෝක ඉතිහාසයේ තම නම රන්දමින් ඊශ්‍රායලය විසින් නොසිතූ විරූ ලෙස එම යුද්ධය ජය ගැනීමයි. තම සාමූහික හැගීම, සූක්ෂම සැළසුම් සහ තාක්ෂණික බලය සමඟ උපරිම ශක්තියෙන් යුද්ධයට අවතීර්ණ වූ ඊශ්‍රායලය හමුවේ අනෙකුත් රාජ්‍යන් පසු බසින්නේ ලොවම මවිතයට පත් කරමිනි. මෙම යුද්ධයේදී මැදපෙරදිග රාජ්‍යන්ගේ ගුවන්යානා 452කට අධික ගුවන් යානා ප්‍රමාණයක් බිම හෙළීමට ඊශ්‍රායලය සමත් වන අතර ඔවුන්ගෙන් අහිමිවන්නේ ගුවන්යානා 46ක් පමණි. ඊශ්‍රායලය ලෝක අවධානයට පත්වන්නේ මෙම යුද ජයග්‍රහණයෙන් පසුවය. යුද විශේෂඥයන්ට අනුව මෙම යුද්ධය යුද ඉතිහාසයේ අමතක කළ නොහැකි සංධිස්ථානයකි.

මෙලෙස නොයෙක් අභියෝග හමුවේ තම පැවැත්ම රඳවා ගත් ඊශ්‍රායලය පිළිබදව ලෝක අවධානයෙන් ගිළිහුණු කරුණු විශාල ප්‍රමාණයක් ඇත. වර්තමානය වන විටත් ලොව 4වන විශාලම ගුවන් හමුදාවට හිමිකම් කියන එරට මිලිටරි බලය පිළිබදව අද ලෝකයටම ඇත්තේ නොරහසකි. නමුත් තම බාධක හමුවේ නැඟී සිට සංවර්ධනය උරුම කරගත් රාජ්‍යන් පිළිබද කතාබහේදී ඊශ්‍රායලය එම ගොඩට නොවැටීම තුළම අප තුළ එරට පිළිබදව ඇත්තේ අල්ප වූ දැනීමක් බව පැහැදිලි වේ. ජපානය, සිංගප්පූරුව සහ චීනය අප නිරන්තරව සංවර්ධනය යනු කුමක්ද? යැයි පැහැදිලි කිරීම සදහා යොදා ගන්න නිදසුන්ය. නමුත් වර්තමානය වන විට මේ සියලු රටවල් පාරිසරික අර්බුධයකට මුහුණ දෙමින් සිටින අතර එහි උග්‍ර ඵලය ලෙස චීනය ශ්වසනය සඳහා වාතය කැනඩාවෙන් මිලදීගැනීම දැක්විය හැකිය. එබැවින් අප තව තවත් මෙම රටවල්හි සංවර්ධනය පිළිගත යුතුද යන්න මේ දිනවල නොයෙක් තැන්හි කතාබහට ලක්වෙයි. එහිදී යුරෝපය මෙම තිරසාර සංවර්ධනය යටතට ගැනීමට නොහැකි වීමට හේතූන් විශාල ප්‍රමාණයක් ඇත. පරිසර පද්ධතීන් ඔවුන් ආරම්භයේ සිටම රැගෙන ආ දේවල් වන අතර එම රටවල් සරුසාර පාරිසරික පද්ධතියකින් යුක්තය. නමුත් ඊශ්‍රායලය තුළ ඇත්තේ එයට හාත්පසින්ම වෙනස් වූ වාතාවරණයකි. එය විමසා බැලීම අපට මහත් ප්‍රයෝජනවත් වනු ඇත.

පාරිසරික ගැටළුව මේ වන විට රටවල් බොහෝමයක් මුහුණ දෙන ප්‍රධාන ගැටළුවකි. ජනගහණය ඉහළ යාමත් සමඟ පරිභෝජනය ඉහළ යාමට පටන්ගැනීම නිසා පාරිසරික සම්පත් ක්ෂය වීම සහ මිනිස් ක්‍රියාකාරකම් නිසා පරිසර පද්ධතීන් විනාශවීම මේ සඳහා බලපාන හේතූන් දෙකකි. වර්තමානය වන විට රාජ්‍යන් සංවර්ධන මාවතේ ඉහළට ගමන් කිරීමේදී එයත් සමඟම පාරිසරික යහපැවැත්ම පහළ යාම දක්නට ලැබේ. කාලය ගතවීමේදී පරිසර පද්ධතීන් අහිමි වී යාමක් සියලු රටවල්හි ලක්ෂණයක් බවට පත්ව තිබේ. නමුත් ඊශ්‍රායලය පිළිබදව සැළකීමේදී වඩාත් වෙනස් වූ ස්වාභාවයක් අපට දැකගත හැකිය. භූමි ප්‍රමාණයෙන් ගත් විට ඊශ්‍රායලය ශ්‍රී ලංකාවෙන් 1/4 කි. එනම් මැදපෙරදිගින් 2%ක් පමණ භූමි ප්‍රමාණයකි. වර්තමානය වන විට එරට මිලියන 4ක පමණ ජනගහනයකට හිමිකම් කියයි. 1949 දී එරට පිහිටුවන විට ඊශ්‍රායලය හිමිකම් කියනු ලැබුවේ භූමියෙන් 16%ක පමණ ශාක සහ පරිසර පද්ධතියකටයි. මේ හා සාපෙක්ෂ්ව ගත් විට අප රටෙහි භූමියෙන් 16%කට වඩා වන සංරක්ෂිතයන් ද ඇත. නමුත් මැද පෙරදිග ශුෂ්ක පරිසරය ඊශ්‍රායලයටත් බලපෑවේය. ඔවුන්ට ජලය ඉතාම හිඟ වූ අතර ජලය තිබුණේ භූමියෙන් 2%ක් පමණි. නමුත් 80 දශකය පමණ වන විට ඔවුන් තම වන සම්පත 36%ක් දක්වා වර්ධනය කර ගැනීමට සමත් වී ඇත. එමෙන්ම 20 ශත වර්ෂයෙන් 21 වන ශත වර්ෂයට තම පරිසර පද්ධතිය වර්ධනය කරගනිමින් පැමිණි එකම රට බවට පත්වීමට ඊශ්‍රායලය සමත් වී ඇත.
වර්තමානය වන විට වැඩියෙන්ම ලෝකයේ එළවළු සහ පලතුරු පරිභෝජනය කරන්නන් බවට පත්ව සිටින්නේ ඊශ්‍රායල් ජාතිකයන්ය. එරටෙහි කුඩා දරුවන් හට එළවළු සහ පලතුරු කෑමට අප රටෙහි මෙන් බල කළ යුතු නැත. එමෙන්ම 2013 වර්ෂයේ ලොව විශාලම ගම්මිරිස් අස්වැන්න සමඟින් ගිනස් වාර්තාවට හිමිකම් කීමට ඊශ්‍රායලය සමත් වී ඇත. පසුගිය ආදරවන්තයන්ගේ දිනයේදී යුරෝපය තුළ විකිණීම සඳහා මිලියන 60ක් පමණ මල් ප්‍රමාණයක් ඊශ්‍රායලය විසින් යුරෝපය වෙත යවා ඇත. මෑතකදී විදෙස් මාධ්‍ය වාර්තා කරනා ආකාරයට අනුව ඊශ්‍රායලය මේ වන විට වැසි වනාන්තරයක් නිර්මාණය කිරීම සදහාද කටයුතු යොදමින් සිටී.

පාරිසරික තත්ත්වය එසේ තිබිය දී ව්‍යාපාරික ලෝකය තුළ ද ඊශ්‍රායලය තම අනසක පතුරවමින් සිටියි. ලෝකයේ ප්‍රධානම දියමන්ති මධ්‍යස්ථානය ලෙස සැළකෙන්නේ ඊශ්‍රායලයයි. 3000ක් පමණ වූ අධි තාක්ෂණික ආයතන ප්‍රමාණයකට හිමිකම් කියන එරට මේ වන විට ප්‍රධාන පරිඝණක හා තාක්ෂණික නිෂ්පාදකයෙකු බවට පත් වී සිටියි. මෝට්‍රෝලා සමාගම මඟින් එළිදැක්වුණු ලොව ප්‍රථම ජංගම දුරකථනය, ලොව ප්‍රථම පරිඝණක ආරක්ෂක පද්ධතිය, වෝයිස් මේල් සහ තවත් නූතන තාක්ෂණික නිර්මාණ රාශියක් ඊශ්‍රායලය මඟින් ලොවට දායාද කර ඇත.

ජනගහනයට සාපේක්ෂව වැඩිම උපාධිධාරීන් සිටිනා රට බවට පත්ව ඇත්තේ ඊශ්‍රායලයයි. එමෙන්ම ඉහළම ප්‍රමිතියකින් උපාධීන් ලබාදෙන රට බවට පත් වී සිටින ඊශ්‍රායලය තම ප්‍රධාන විශ්වවිද්‍යාල දෙකක් ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 50 ඇතුළට ඇතුළත් කිරීමට තරම් ශක්තිමත් අධ්‍යාපනයකින් සම්පන්න වී ඇත. ලොව වැඩිම ආචාර්යය උපාධිධාරින්ගෙන් සමන්විත රට බවට පත්ව සිටින එරට වෛද්‍ය උපාධිධාරීන්ගේ ප්‍රමාණය දෙවනි වන්නේ රුසියාවට පමණි. නව තාක්ෂණය ඉතා ඉක්මනින් තම අධ්‍යාපන පද්ධතියේ ප්‍රයෝජනය සදහා යොදාගන්න ඊශ්‍රායලය ලෝකයේ වැඩිම ඒක පුද්ගල පරිඝණක භාවිතය ඇති රාජ්‍ය බවට පත්ව ඇත. ඊශ්‍රාලයේ රාජ්‍ය භාෂාව ලතින් භාෂාව වන අතර මළ භාෂාවක් තම රාජ්‍ය භාෂාව ලෙස භාවිතා කරනා එකම රට ඊශ්‍රායලයයි.

වසර 70ක් පමණ වුවද ඊශ්‍රායලය මේ වන විට නොබෙල් ත්‍යාග 12ක් පමණ දිනා ගැනීමට සමත් වී ඇත. ඉතා විශිෂ්ට සාහිත්‍යකරුවන් පිරිසක් එරටින් බිහිවී ඇති අතර ඬේවිඞ් අවිඩාන්, රූත් අල්මොන්ග් සහ ඬේවිඞ් ග්‍රොස්මන් ඒ අතරින් ප්‍රධාන වේ. විදෙස් වාර්තාවන්ට අනුව ලෝකයේ වැඩියෙන්ම වෙනත් භාෂාවන්ට පරිවර්තනය වනනේ ඊශ්‍රායලයීය පොත්ය. එය ලෝකය කෙතරම් ඊශ්‍රායලයීය සාහිත්‍ය පිළිබඳ අවධානයෙන් පසුවන්නේ ද යන්නට හොඳ නිදසුනකි. එමෙන්ම ජනගහණයට සාපේක්ෂව වැඩිම පොත් ප්‍රකාශනය වන්නේ ද පොත් රචකයන් සිටින්නේ ද ඊශ්‍රාලයේය. යුරෝවිෂන් සංගීත තරගාවලිය තුන් වරක් දිනා ගැනීමට එරටට හැකියාව ලැබී ඇත.

කුඩා භූමියකට, කුඩා ඉතිහාසයකට මෙන්ම විශාල අභියෝගයන් රැසකට හිමිකම් කියූ මෙම කුඩා රාජ්‍ය අද වන විට විශාල රාජ්‍යන්ට පවා අභියෝග කරනා තත්ත්වයකට තම රාජ්‍ය ඉදිරියට ගෙන ගොස් ඇත. සංවර්ධනය පසුපස තරගයක නියැලී සිටිනා රටවල් හට ඊශ්‍රායලය සංවර්ධනය යනු කුමක් දැයි පෙන්වා දී සිටියි. අඩුම මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ අගයකට හිමිකම් කියන මෙම රට පරිසර පද්ධතිය, අධ්‍යාපනය, තාක්ෂණය මෙන්ම ආර්ථිකය ද සමබරව දියුණුවට පත්කර ගනිමින් මැදපෙරදිග එකම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙස අභිමානයෙන් නැඟී සිටියි. අලිඛිත ව්‍යවස්ථාවකින් යුක්ත එරට දේශපාලනය අනෙක් රටවල්වලට මහගු ආදර්ශයක් සපයමින් සිටියි. කාන්තාරය තිරසාර සංවර්ධනයට බාධාවක් නොවන්නක් බව එය ජය ගැනීම තුළින් ඔප්පු කරලීමට එරට සමත් වී ඇත. එය වනාන්තර එළි කරමින්, භූමිය විනාශ කරමින් සංවර්ධනය සඳහා ඉබාගාතේ යන අප වැනි රටවල්වලට ආදර්ශයකි. මෙලෙස සැළකීමේදී සංවර්ධනය යනු කුමක්ද? යන පැනයට ඊශ්‍රායලය යන්න වඩාත් හොද පිළිතුරක් වනු ඇත.
දුලංජය මහගමගේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: